2022 ජුලි 31 වන ඉරිදා

ශ්‍රී ලංකා ටෙස්ට් පිටියේ ආලෝකය ඇන්ජලෝ මැතිව්ස්

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 99

ඇන්ජලෝ මැතිව්ස් යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවූ සුවිශේෂි ක්‍රීඩකයකු බව අමුතුවෙන් කිවයුතු නැත. මැතිව්ස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසගත ජයග්‍රහණ රුසක් ලබා තිබීමෙන් ඔහුගේ දිස්නයෙන් ශ්‍රී ලංකාව ආලෝකවත් විය.

මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ එදා මෙදාතුර බිහිවූ වඩාත් කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩකයා කිවහොත් එහිද වරදක් නැත. තමන් නොව කණ්ඩායම යන ප්‍රතිපත්තියෙන් ක්‍රීඩා කරන මැතිව්ස් කණ්ඩායම අපහසුතාවට පත්වූ බොහෝ අවස්ථාවලදී සිය ආබාධයට හෝ වේදනාවට වටිනාමක් නොදුන්නේය.

එංගලන්තයේදී 2019 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරගයේදී තීරණාත්මක අවස්ථාවේදී පන්දු යැවීමට කිසිවකු නොමැති වී නායක දිමුත් කරුණාරත්න අසරණව සිටි අවස්ථාවේදී මැතිව්ස් පන්දු යැවීමට ඉදිරිපත් වීම බොහෝ දෙනකුගේ මතකයේ තිබෙනවාට සැක නැත. ආබාධයකට ලක්ව මාස හතකින් පන්දු යවා නොතිබුණු මැතිව්ස් තම පළමු පන්දුවේදීම නිකලස් පූරන් දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා රුගෙන ආවේය.
පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය බ්‍රහස්පතින්දා අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගය ඇන්ජලෝ මැතිව්ස්ට සුවිශේෂි තරගයක් බවට පත්විය. එම තරගය මැතිව්ස්ගේ 100 වැනි ටෙස්ට් තරගයයි. දකුණත් පිතිකරුවකු සහ දකුණතින් වේග පන්දු යවන්නකු වන 35 හැවිරිදි  මැතිව්ස් මේ වනවිට වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකි. මැතිව්ස් 2015 වසරේ අයි.සී.සී. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද සම්මාන ලැබීය.

මැතිව්ස් මෙම තරගයට ක්‍රීඩා කිරීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කළ හයවැනි ක්‍රීඩකයා බවට පත්විය. මහේල ජයවර්ධන (149), කුමාර් සංගක්කාර (134), මුත්තයියා මුරලිදරන් (131), චමින්ද වාස් (111) සහ සනත් ජයසූරිය (110) මීට පෙර ටෙස්ට් තරග සියයේ සීමාව ඉක්මවා තිබුණි.

මැතිව්ස් පසුගිය බදාදා වනවිට ටෙස්ට් තරග 100 කදී ලකුණු 6,953 ක් රුස්කරමින් ශ්‍රී ලංකා වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රුස්කළ ක්‍රීඩකයන් අතර සිව්වැනි ස්ථානයට පත්ව සිටියේය. ඔහුට ඉදිරියෙන් කුමාර් සංගක්කාර (12,400), මහේල ජයවර්ධන (11,814) සහ සනත් ජයසූරිය (6,973) සිටිති.

මැතිව්ස්ගේ නම ඉදිරියෙන් ටෙස්ට් තරගවලදී හයේ පහර 75ක් සටහන්ව ඇති අතර එය ශ්‍රී ලංකා පිතිකරුවකු ටෙස්ට් තරගවලදී වාර්තා කළ ඉහළතම හයේ පහර සංඛ්‍යාවද වේ. පාකිස්තානයට එරෙහිව දෙවැනි ඉනිමේදී මැතිව්ස් ගැසූ හයේ පහර ඔහු ගාල්ල ක්‍රීඩාංගණයේදී ගැසූ 25 වැනි හයේ පහර වන අතර එය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයකු එක ක්‍රීඩාංගණයක වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව බවද විය.  

ඇන්ජලෝ මැතිව්ස් 2013 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ ටෙස්ට් තරග 34 කදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරමින් එහිදී ටෙස්ට් තරග 13ක් ජය ලබා තරග 15ක් පරාජයට පත්ව තිබේ. ජය ලැබූ ටෙස්ට් තරග 13 ට සුවිශේෂි ජයග්‍රහණ රුසක් ඇතුළත්ව තිබේ. එංගලන්තයේ 2014 වසරේ ශ්‍රී ලංකාව ලැබූ පළමු සහ එකම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය මැතිව්ස්ගේ නායකත්වයෙන් ලැබූ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව 2016 වසරේ ශ්‍රී ලංකාවේදී ලැබූ 3-0 ක පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයද මැතිව්ස්ගේ නායකත්වය යටතේ ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩායම සමබර කරන පන්දු යවන්නකු වූ මැතිව්ස් ටෙස්ට් කඩුලු 33ක් ද දවාගෙන තිබේ. මැතිව්ස් ලෝක එක්දින සහ විස්සයි20 ක්‍රිකට් පිටියේද කැපී පෙනෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අතර ඔහු මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 218 කදී ලකුණු 5,835 ක් රුස්කරමින් කඩුලු 120 ක් දවාගැනීමට සමත්ව සිටියි.

මැතිව්ස් නිතැතින්ම ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනාගත් නිරන්තරයෙන් සිනාමුසු මුහුණින් පසුවන සුහදශීලි චරිතයකි. කෙසේ වෙතත් ඔහුට ඊට වඩා වෙනස් ආදරයක් ගාල්ල ටෙස්ට් තරගය අතතුරදී මහනුවර ප්‍රදේශයේ යුවතියකගෙන් ලැබුණු බව වාර්තා විය.

''මම ඔයාව ඉස්සෙල්ලම දකින්නේ 2008 දී සිම්බාබ්වේ එක්ක තිබුණ මැච් එකේදි. එදා ඉඳන් අද වෙනකන් මගේ ලෝකයේ මම කැමතිම එකම ක්‍රිකටර් ඔයා විතරමයි... හරියටම බැලුවොත් අවුරුදු 13ක්... ඔයා ඇරෙන්න මගේ ළඟ ඉන්න හැමෝම දන්නවා මගේ ජීවිතේදී මැතිව්ස් කියන්නේ කොච්චර වැදගත් කෙනෙක්ද කියන එක..” ලෙස ඇය මැතිව්ස් මුණගැසී ඔහුගෙන් තිළිණ ලැබීමෙන් පසුව දීර්ඝ ෆේස්බුක් සටහනක් තබා තිබුණි.

මරදාන ශාන්ත ජෝශප් විදුහලෙන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පැමිණි මැතිව්ස්ට තවත් වසර කීපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කෙත අස්වැද්දීමේ හැකියාව තිබේ.

 සටහන: යොහාන් භාසුර