2022 මාර්තු 13 වන ඉරිදා

ක්‍රිකට් ලෝකය ඒකාලෝක කළ අසිරිමත් මිනිසා

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 245

ෂේන් වෝන් හිටිහැටියේම මියගිය පුවත ක්‍රිකට් ලෝකය පුරා ප්‍රකම්පිත රුල්ලක් මෙන් හමා ගියේය. මෙය සැබැවින්ම සිදුවූ දෙයක්ද නැතහොත් මහ රූ සිහිනයක් දකින්නෙමිදැයි තවමත් මම කල්පනාවේ නිමග්න වී සිතා බලන්නෙමි.

වෝන් ජීවිතය පරයා විශිෂ්ඨත්වයට පත් වූවෙකි. ඔහු සැබවින්ම ක්‍රීඩාවේ පතාක යෝධයෙක් වූයේය. හෙතෙම සදාකාලිකව සිය ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කීර්තියට පත්වනු නියතය. සියුම් විචක්ෂණශීලී බුද්ධියකින් හෙබි ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඔහු, ඔස්ට්‍රේලියාවට කිසිදා නොලැබුණු විශිෂ්ඨතම නායකයන්ගෙන් එක් අයෙකි. ඕනෑම මොහොතක තරගය වෙනස් කොට, තමාට වාසිදායක ප්‍රවණතාවකට එය හරවාගැනීමේ කුසලතාව ඔහුට තිබිණි. 

මුළු මහත් පරපුරක පා දඟ පන්දු යැවීමේ ආසාව ඔහු තනිවම දල්වාලූයේය. පා දඟ පන්දු යැවීම අන් සිත් ග්‍රහණය කර ගැනීමට අනුගත විය හැකි කලාවක් බවට ඔහු පත් කළේය. බොහෝ පිතිකරුවන්ට සිය ක්‍රීඩා මහිමයෙන් කොන්දේසි පැනවූ ඔහු ප්‍රධානියකු සේ සිය අණසක පා තරගය පාලනයකට නතු කර ගත්තේය. ඔහුව අනුගමනය කිරීම හෝ අනුකරණය කිරීම යළිත් කළ නොහැකි අසීරු කාර්යයක් බව පෙන්වා දෙමින් ඔහු නික්ම ගියේය.

වෝන් සමඟ එකම කෙළිබිමේ වැටී පිටිය බෙදා හදා ගැනීමේ වාසනාව මට හිමි විය. ඔහු සමඟ සටන් වැදීමේ සතුට මම භුක්ති වින්ඳෙමි. කලින් කලට ඔහුගේ ප්‍රාතිහාර්යයන් මුදාහරින හැටි මම බලා උන්නෙමි. 2004 සුනාමියට ගොදුරු වූ බොහෝ ශ්‍රී ලාංකිකයනට ජීවිත අහිමි වූයේය. පවුල් පිටින් විනාශ වී ගියේය. යළි පිළිසකර කළ නොහැකි තරමට දේපළ සුනාමියෙන් වනසා දැමිණි. එකී ව්‍යසනය සිදු වී සතියක් යන්නට මත්තෙන් වෝන් මෙම දිවයිනට ආවේය. සුනාමියෙන් පහර කෑ පවුල්වල උදවිය හමු වී වෝන් ඔවුන් අස්වසාලූයේය. ඔවුන්ගේ දරුවන් සිප සනසා ''හැමදේම නැවත හරියාවි'' යැයි ඔවුන්ට කීවේය. 

ජීවිත ගොඩනැගීමට සහ ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ගොඩනැගීමට හෙතෙම දැවැන්ත අරමුදලක් ඒකරාශී කිරීමේ කටයුතු දියත් කළේය. ඔහු සිදු කළ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ නිසා ඔස්ට්‍රේලියාවේ බොහෝ පෞද්ගලික හා රජයේ පරිත්‍යාගශීලීන්ද ලෝ පුරා ධනවත්හුද එම අරමුදලට දායක වූහ. ජීවිත යළි ගොඩනැගීමට ඔහු හදවතින්ම කැප වූයේය. ඔහුගේ ක්‍රියා කලාපය සදහටම ශ්‍රී ලාංකිකයන්ගේ මතකයේ රඳා පවතින බව මට සහතිකය.

ජනහිතකාමී හිතවතකුත් දක්ෂයන් පුහුණු කර ඉහළට ගෙන ඒමේ අභිරුචියකුත් වෝන් සතු විය. අයි.පී.එල්. තරගාවලියේ පළමු වාරයේදී රාජස්ථාන් රෝයල් සමඟ හවුල්ව කටයුතු කිරීම නිසා අද දවසේ හිනිපෙත්තට නැග ක්‍රීඩාව හසුරවන ඉන්දියානු ක්‍රීඩකයන්ට එදා දොරගුළු විවර වූයේය. රවීන්ද්‍ර ජඩේජා හා රෝහිත් ෂර්මා ඔහු පෞද්ලිකවම මැදිහත් වී තෝරාගත් ක්‍රීඩකයන් දෙදෙනෙකි. අනාගත විශිෂ්ටයන් ලෙස ඔහු ඔවුන් දෙදෙනා එදා වෙසෙසින් හඳුනා ගත්තේය.

නොබෝදා නිමාවට පත්වුණු ඔස්ට්‍රේලියාවේ පැවති ක්‍රීඩා තරග පෙළේදී ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටයකු ලෙස වනිඳු හසරංග ඔහුගේ අවධානයට පාත්‍ර වූයේය. ක්‍රීඩාවෙන් අනතුරුව අපගේ ක්‍රීඩකයන් හමුවූ ඔහු ඔවුන් සමඟ කාලය ගත කරමින් ඉතා උද්‍යෝගයෙන් හා විශ්වාසයෙන් යුතුව අදහස් බෙදා හදා ගත්තේය. තමා කරන දෑ දැඩි විශ්වාසයකින් යුතුව, නොබියව විශිෂ්ට ලෙස කිරීමට වෝන් සමත් වූයේය. එය ඔහුගේ ජාන ගතියක් විය. 

කිසිවිටක සටන අත්නොහළ ඔහු පසුබැස්සේද නැත. ආත්ම විශ්වාසය හා මනස එක්කොට නිපුණතාවයෙන් ඔහු තරග වදින විට ඔහු ගැන වටහා ගැනීම ඉතාමත් අසීරුය. ක්‍රීඩා පිටියේදී ඔහු ඔබ අභිබවා යන්නට මාන බලයි. ඒ තුළ තම ආධිපත්‍යය තහවුරු කර ගන්නා බව සහතික කර ගත්තේය. ඊට ප්‍රතිචාර ලෙස ප්‍රතිවාදියා තමා වෙත ගරු කළ යුතු බව ඔහු ඉල්ලා සිටියේය.

ක්‍රීඩා පිටියෙන් පිටතදී ඔහු මානුෂීය ගුණයෙන් හෙබි උතුම් මිනිසෙක් වූයේය. සමූහය තුළ ජීව ගුණය ඔහු විය. ජය සමරන තැන ඔහු රජකු මෙනි. වෙහෙස වී වැඩ කිරීමේ හා දැඩි අධිෂ්ඨානයේ වෙලී ක්‍රීඩා කිරීමේ ප්‍රතිඵලය ඔහු හොඳින් දැන සිටියේය. ඔහු හාස්‍යයට අතිශය සංවේදී අයෙක් විය. තමා දන්නා හඳුනන සෑම අයකු සමඟම හෙතෙම විහිළුවෙන් තහළුවෙන් කල් යැව්වේය. ඉන්ද්‍රජාලිකයකු වන් ෂේන් වෝන් ළඟපාත ඉන්නා විට නීරස මොහොතක් ඇත්තේම නැත.

ඔහු ඉතිරි කොට ගිය රික්තය මිනිය නොහැකි තරම්ය. ඔහුටම ආවේණික ගතිලක්ෂණ, ඔහු බෙදා දුන් දැනුම එතරම් පරාසයක විහිදී තිබිණි. ඔහු ඉන්නා තැන සැවොම ප්‍රබෝධමත්ය. එතැන ඉන්නා සියල්ලන්ට දැනෙන්නේ තමන් පෙර නොවිඳි වික්‍රමාන්විත අත්දැකීමක් විඳින්නා සේය. ඔහු ගැන එක පරිච්ඡේදයකින් තතු කියා නිම කළ නොහැකිය. හෙතෙම අප නෙත හමුවේ පෙනී සිටි මිනිසාට වඩා විශිෂ්ට මානව ගුණාංගයන්ගෙන් හෙබි අයෙක් වූයේය.

මෙවන් වික්‍රමාන්විත ක්‍රීඩකයකු පිටිය තුළ දකින්නට අපි වාසනාවන්තයෝ වීමු. ඔහු ''අපේ කාලයේ වීරයෙකි'' ක්‍රීඩාවේ දූතයකු සේ ඈත දුර රටින් රට ගිය ඔහු මතු අනාගතය පුරාත් දිවිගෙවන, පුරාවෘතයකින් අපට උරුම වූ වීරයකු සේය.

ජීවිතය අප කොහේ ගෙන යාද යන්න හෝ ජීවිතය කොයි වේලේ අප හැර යාද යන්න සැබවින්ම අපි නොදනිමු. එහෙත් අප ජීවත්ව සිටියදී හිස් මිනිසකු සේ නොඉඳ පරිපූර්ණ මිනිසකු සේ දිවි ගෙවිය යුතුය. මනා සිහින හිත රඳවාගෙන අරමුණු හඹා යා යුතුය. කිසිවිට සටන අත්නොහැර අවසාන ජයග්‍රහණය කරා ශූරයකු සේ යා යුතුය. ඒ ෂේන් වෝන් කියා දුන් පාඩමයි. ඔහු එසේ කළේය. විශ්වාසය ඔහු කිසිවිට අත් නොහළේය. උත්සාහය ඔහු කිසිවිට අත් නොහළේය. කිසිවිට තමා යොමු වූ අරමුණ අතහැර ඉවත නොගියේය.

ඔහුගේ සුන්දර, සිත්ගන්නා සුළු ආත්මය අප යළි හමුවන තුරු සාමදානයේ සැතපේවා!

රසල් ආර්නල්ඩ් (හිටපු ටෙස්ට් ක්‍රීඩක සහ වත්මන් විස්තර ප්‍රචාරක)

සන්ඩේ ටයිම්ස් ලිපියේ පරිවර්තනය  

  සමන් පුෂ්ප ලියනගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00