2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

චමරි ඇත්තටම රට දාලා යනවද?

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 442

සිම්බාබ්වේහිදී පැවැත්වෙමින් තිබූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ සාමාජිකාවන් හත් දෙනෙක් කොවිඩ් ආසාදිතයක් බවට පත්වීම, ශ්‍රී ලංකාව එළඹෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීම සහ නායිකා චමරි අතපත්තු ජාතික කණ්ඩායමෙන් ඉවත්වීමේ සූදානම යන කරුණු හේතුවෙන් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රය තරමක් කැළඹී තිබුණි.

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම ක‍්‍රීඩිකාව වන චමරි අතපත්තු ශ්‍රී ලංකාව හැරයෑමේ සූදානම ඉතාමත් අවාසනාවන්ත තත්වයකි. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය කාලය තුළ ලැබූ ජයග‍්‍රහණවලින් සියයට 99 කටම චමරිගේ ඉහළම දායකත්ව ලැබුණේ යැයි කිවහොත් කිසිවෙක් එයට විරුද්ධ නොවනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය වසර දෙකකට අධික කාලයක් ජාත්‍යන්තර තරගවලට සහභාගී නොවීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම පිළිබඳව කණස්සල්ලට පත්ව ඇය මෙම තීරණයට එළඹ ඇති බව කාන්තා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ‘වට්ස්ඇප්’ සමූහයට ඇය මුදාහැර තිබූ පණිවුඩයකින් කණ්ඩායමේ සාමාජිකාවන් සහ නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත් කර තිබුණි. ඇය ඕස්ට්‍රේලියානු පදිංචියට යෑමට සැලසුම් කරමින් සිටින බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මෙම සටහන තබන මොහොත වනවිට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇයට එම තීරණය සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව දැනගන්නට තිබේ. 
ලෝක වාර්තා රුසකට හිමිකම් කියන තුන් ඉරියව් ක‍්‍රීඩිකා චමරි අතපත්තු එක්දින ජාත්‍යන්තර තරග 84 කදී ශතක 5ක් සහ අර්ධ ශතක 14ක් සමගින් ලකුණු 2625ක් ද, විස්සයි20 ජාත්‍යන්තර තරග 85 කදී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 1646ක් රුස්කිරීමට සමත්ව සිටින්නීය. ඇය පිට දඟපන්දු යවන්නියක් ලෙස එක්දින ජාත්‍යන්තර කඩුලු 23 ක් සහ විස්සයි20 ජාත්‍යන්තර කඩුලු 26 ක්ද, දවාගෙන සිටින්නීය.
ඕස්ට්‍රේලියානු ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘බිග් බෑෂ්’ ලීග් තරගාවලියටද සහභාගි වන චමරිට ලෝක මටට්මේ හොඳ ඉල්ලුමක් පවතී. ඇයගේ මෙම වටිනාකම නිසාම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කොන්ත‍්‍රාත්තුවේදී ද ඇය සෙසු ක‍්‍රීඩිකාවන්ට වඩා සියයට 300කටත් වැඩි වටිනාකමක් ලබන්නීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ ඇයගේ ඉල්ලා අස්වීමක් පිළිබඳව මේ දක්වා කිසිදු නිල දැනුම්දීමක් කර නොමැති බවත් ‘කොවිඩ්’ තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර තරගාවලිය පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්කිරීම පිළිගත නොහැකි බවත්ය.

පාකිස්තානු කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ සංචාරයක් සූදානම් කර තිබුණද රට වසා දැමීම නිසා එයද අවලංගු කළ බවත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සමඟ සාකච්ඡා කරන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා කීය. කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට වසර දෙකකට අධික කාලයක් තුළ ජාත්‍යන්තර තරග නොලැබීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමනාකරුවන් දෙදෙනකුට සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකුට චෝදනා එල්ල වන බවද දැනගන්නට තිබේ.

සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00