2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

කොදෙව් පිලේ තඩියා සහ සුද්දා

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 504

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක විශාල ශරීරයක් මෙන්ම උදරයක් සහිත ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කරන අවස්ථාවලදී ඩිවිෂන් ත‍්‍රී මැච් එකක්* වගේ යැයි බොහෝ දෙනා කියති. මෙය ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පොදු වචනයකි. තෙවැනි පෙළ ක‍්‍රිකට් තරගවලට මුහුකුරාගිය ක‍්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් සහභාගි වන නිසා වෙනත් තරගයක වුවද එවැනි විශාල ශරීරයක් මෙන්ම උදරයක් සහිත ක‍්‍රීඩකයන් සහභාගි වනවිට යම්කිසි නුහුරැ ගතියක් දැනේ.

එයත් හේතුවක් බවට පත්වෙමින් ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ දැවැන්ත ක‍්‍රීඩක රකීම් කොන්වෝල් පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීහු දැඩි උනන්දුවකින් පසුවෙති. රකීම් කොන්වෝල්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන්ට තරමක ආධුනික චරිතයක් වුවද ලෝක ක‍්‍රිකට් පිටියට නම් ඔහු ආධුනිකයෙක් නොවේ. එයට හේතුව කොන්වෝල්, කැරිබියන් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රවේගකාරී ආරම්භ පිතිකරුවෙක් ලෙස නමක් දිනා සිටීමය.

කැරිබියන් ලීග් 2017 තරගාවලියේදී කොදෙව් පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක කිරන් පොලාඩ් සහ රකීම් කොන්වෝල් අතර ඇතිවූ බහින්බස් වීමේ සිද්ධියත් සමඟ ලෝක ක‍්‍රිකට් ලෝලීන්ගේ අවධානය කොන්වෝල් වෙත යොමුවිය.
යගුලිය විසිකිරීමේ ක‍්‍රීඩකයකුට යෝග්‍ය ශරීරියකට හිමිකම් කියන කොන්වෝල් කිලෝ 143ක අසාමාන්‍ය බරකින් යුත්ත වේ. තවමත් 28 වැනි වියේ පසුවන ඔහු මීටර 1.96ක් හෙවත් අඩි 6 යි අගල් 5 ක උසකින් යුක්ත වීම නිසා තවත් ක‍්‍රීඩා රුසකට එකතු වීමේ සුදුසුකම් තිබේ. ඔහුගේ පපුවේ පළල අඟල් 60 ක් වන අතර ඉන අඟල් 50 කි.

රකීම් රෂාවන් ෂේන් කොන්වෝල් 1993 වසරේ පෙබරවාරි මස 1 වැනිදා ඇන්ටිගුවාහිදී උපත ලැබූ අතර ඇන්ටිගුවා ඇතුළත් ලීවර්ඩ් දූපත ලෝක ක‍්‍රිකට් පිටියේ පතාක යෝධයන් වන විවියන් රිචට්ස්, ඇන්ඩි රෝබට්ස්, කර්ට්නි ඇම්බ්‍රෝස් සහ රිචී රිචඩ්සන් බිහිකළ දූපත වීම නිසා කොන්වෝල්ට ක‍්‍රිකට් ක‍්‍රීඩාව බහුලව ඇස ගැටෙන පරිසරයක් උරැම විය.  

ඔහු 2014 වසරේ ලීවර්ඩ් අයිලන්ඩ් කණ්ඩායමෙන් පළමු පෙළ ක‍්‍රිකට් වරම් දිනාගත්තේය. පිට දඟපන්දු යවන්නෙක් මෙන්ම දකුණත් පිතිකරැවෙක්ද වන කොන්වෝල් පළමු තරගයේ සිටම තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමේ ස්ථානය ලැබීය. ඔහු පළමු පෙළ වරම් ලැබීමට පෙර 2011 වසරේ ජනවාරි මස ලීවර්ඩ් අයිලන්ඩ් කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි20 තරග බිමට පිවිසියේය.

කොන්වෝල්ගේ ජීවිතය වෙනස් කිරීමට පළමු පියවර බවට පත්වෙමින් බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් ආයතනය 2016 වසරේ ජූලි මස ඉන්දීය පිලට එරෙහිව පැවැති පුහුණු තරගයට කොන්වෝල් ඇතුළත් කළේය. එම තරගයේදී ඔහු ලකුණු 41ක් රැස්කරමින් සභාපතිවරයාගේ පිලේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දුවෙන්ද දස්කම් දක්වමින් කඩුලු 5ක් දවාගත්තේය. කොන්වෝල් කොදෙව් 2018-19 පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ තරග නවයකදී කඩුලු 54ක් දවාගනිමින් දක්‍ෂතම පන්දු යවන්නා බවට පත්විය. 

ඔහු එතැන් සිට දැක්වූ දස්කම් හේතුවෙන් කොදෙව් ක‍්‍රිකට් ආයතනය 2019 වසරේ අගෝස්තු මස වසරේ ක‍්‍රීඩකයා ලෙසද නම් කළේය. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නොගැලපෙන ශරීරයකින් යුක්ත වුවද කොන්වෝල් 2019 වසරේ සැප්තැම්බර් මස ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් ලබාගැනීමත් සමඟ ශතවර්ෂයකට අධික ඉතිහාසයක් ඇති ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වාර්තා කීපයක් අලුත් විය. ඔහු ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම බරකින් යුත් ක‍්‍රීඩකයා ලෙස මේ වනවිටත් වාර්තා පොතට එකතු වී හමාරය.
ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පසුගිය බ‍්‍රහස්පතින්දා අවසන් වූ ටෙස්ට් තරගය කොන්වෝල්ගේ නවවැනි ටෙස්ට් තරගය වන අතර ඔහු එම ටෙස්ට් තරග නවයේදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 238 ක් රුස්කරමින් පන්දු යවන්නෙක් ලෙස වඩාත් සාර්ථක වෙමින් කඩුලු 34ක් දවාගෙන සිටියි.

ගාල්ල පළමු ටෙස්ට් තරගයේදී කොන්වෝල්, ශ්‍රී ලංකා පිලේ ජයග‍්‍රහණය පස්වැනි දිනය දක්වා ප‍්‍රමාද කිරීමට සැලකිය යුතු වැඩ කොටසක් කළ අතර ඔහු ඉනිම දෙකේදී ලකුණු 42 (39 සහ 13) රුස්කළ අතර ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු දෙකක්ද දවාගත්තේය.

දැවැන්ත ශරීරය හේතුවෙන් දිවීමට ඇති අපහසුව පිළිබඳව ඔහු සිත්තැවුලෙන් පසුවන බවත් ශරීරයේ බර අඩුකර ගැනීමට සඳහා ඔහු ඇමෙරිකාවේ කොලරාඩෝහි ශාරීරික යෝග්‍යතාව පිළිබඳව උපදේශකයන් වෙත යොමුව සිටින බවත් විදේශ මාධ්‍ය වාර්තා කරයි. හොඳ පාපන්දු ලෝලියෙක් වන කොන්වෝල් මත්පැන් සහ දුම්වැටි පාවිච්චියෙන් තොර පුද්ගලයෙකි.

කොන්වෝල් විවාහකයෙක් වන අතර ඔහුට කුඩා පුත‍්‍රයෙක්ද සිටී. කෙසේ වෙතත් ඔහු විවාහ ජීවිතය රහසිගතව තබාගැනීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය කියයි. ස්භාවධර්මයෙන් තමන්ට ලැබුණු දැවැන්ත ශරීරය ක‍්‍රීඩාවට බාධාවක් නොකරගත් කොන්වෝල් සිය දස්කම් අවිය බවට පත්කරගෙන ලෝක ක‍්‍රිකට් පිටිය ආක‍්‍රමණය කිරීමෙන් ඔහු දැවැන්තයෙක් මෙන්ම යකඩ මිනිසෙක් බව සනාථ කර තිබේ.

සුදු ජාතික ‘ජොෂුවා දා සිල්වා

ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලට වසර 10 කට අධික කාලයකට පසුව සුදු ජාතිකයෙක් වන ජොෂුවා දා සිල්වා ඇතුළත්ව සිටීමද විශේෂත්වයකි. කඩුලු රකින ක‍්‍රීඩක 23 හැවිරිදි ජොෂුවා දා සිල්වා, පෘතුගාල සම්භවයක් ඇති කැරිබියන් දූපත් වාසියෙකි. ජොෂුවා, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝහි 1998 වසරේ ජූනි 19 වැනිදා උපත ලැබීය.

ජොෂුවා, මේ වනවිට ටෙස්ට් තරග 10 කදී අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 441 ක් රැස්කර සිටියි. ඔහු එම තරග දහයේදී උඩපන්දු 36ක් සහ ස්ටම්ප් කිරීම් දෙකක්ද සම්පූර්ණ කර තිබේ. බටහිර ඉන්දීය කොදෙව් පිලට අවසන් වරට 2011 වසරේ සුදු ජාතික බ්‍රෙන්ඩන් නෑෂ් ක‍්‍රීඩා කළ අතර ඉන් පසුව සුදු ජාතිකයෙක් කොදෙව් පිලට ඇතුළත් නොවීය. කෙසේ වෙතත් බ්‍රෙන්ඩන් නෑෂ්, ඕස්ට්‍රේලියාවේ උපත ලැබූවෙකි.

බ්‍රෙන්ඩන් නෑෂ් 2011 වසරේ ජූනි මස 23 වැනිදා කිංග්ස්ටන්හිදී පැවැති ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් සමුගත්තේය. කොදෙව් පිලට පසුගිය වසර 10ක පමණ කාලය තුළ ඉන්දීය සම්භවයක් ඇති ශිවනරින් චන්ද්‍රපෝල්, ඩැරන් ගංගා, රැම්නේෂ් සර්වාන්, දිනේෂ් රාම්ඩීන් සහ සුනිල් නරේන් යන ක‍්‍රීඩකයන් ඇතුළත් වුවද සුදු ජාතිකයෙක් ඇතුළත් නොවීය. 
 

සටහන: යොහාන් භාසුර