2021 මැයි 22 වන සෙනසුරාදා

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් හුටපටේ

 2021 මැයි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 888

"ක‍්‍රීඩක කොන්ත‍්‍රාත්තුවේ මෙවැනි විශාල වැඩිවීමක් කිරීමට ඇතැම් ක‍්‍රීඩකයන් කළ විශේෂ දෙයක් නෑ. ඇතැම් ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානයත් ෂුවර් නෑනේ" යැයි ක‍්‍රිකට් ලෝලීහු පවසති.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගියදා ක‍්‍රීඩකයන්ට ලබාදුන් නව වාර්ෂික කොන්ත‍්‍රාත්තුව ක‍්‍රීඩකයන් ප‍්‍රතික්ෂේප කිරීමෙන් මතභේදාත්මක තත්ත්වයක් මේ වනවිට උද්ගත වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් එක්දින පිලට ඇතුළත් ක‍්‍රීඩකයන් කොන්ත‍්‍රාත්තුවට අස්සන් නොකරම බංග්ලාදේශය පිටත්ව ගිය අතර ශ්‍රී ලංකාවේ රැඳී සිටින ක‍්‍රීඩකයෝද අස්සන් කිරීම ප‍්‍රතික්ෂේප කළහ.

එම තත්ත්වය හමුවේ බංග්ලාදේශ සංචාරය අවසන් වූ වහාම ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට වාර්ෂික කොන්ත‍්‍රාත් ගැටලුවට අතගැසීමට සිදුවේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 2021/2022 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති කොන්ත‍්‍රාත් ගිවිසුමෙන් ජ්‍යෙෂ්ඨ  ක‍්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල්ගේ කොන්ත‍්‍රාත් මුදල සියයට 50 කින් පමණ කපාහැර ඇති බවට චෝදනා එල්ල වේ.

ශාරීරික යෝග්‍යතාව අසමත් වීම හේතුවෙන් ස්ථානය අහිමි වී සිටින යොවුන් පිතිකරු අවිෂ්ක ප‍්‍රනාන්දු වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට ඇතුළත් නොකිරීමද කැපී පෙනේ. බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පසුගියදා අවසන් වූ ටෙස්ට් තරගාවලියේදී දස්කම් දැක්වූ දඟපන්දු යවන ප‍්‍රවීන් ජයවික‍්‍රම මෙම කොන්ත‍්‍රාත් ගිවිසුමේ අඩියේ හෝ නොමැතිවීම ප‍්‍රශ්නයකි.

ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල දෙපළ ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන අංශ තුනටම ක‍්‍රීඩා කරන්නේ යැයි යන නිර්ණායකය මත සිට ඔවුන් පළමු කාණ්ඩයට ඇතුළත්කර ඇති බව දැනගන්නට තිබේ. එය එසේ නම් නිරෝෂන් දික්වැල්ල පසුගිය කාලයේ ක‍්‍රීඩා කළ එක්දින සහ විස්සයි20 තරග සංඛ්‍යාව පිළිබඳව ක‍්‍රිකට් බලධාරීන්ගේ දැනුම පිළිබඳව සිතාගත හැකිය.

ශ්‍රී ලංකා එක්දින පිලේ ඉදිරියෙන්ම සිටි වේගපන්දු යවන්නා වන නුවන් ප‍්‍රදීප් ද මෙවර කොන්ත‍්‍රාත්තුවෙන් ඉවත්කර තිබේ. මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව සාර්ථකම පිට දඟපන්දු යවන්නා වූ ඩිල්රුවන් පෙරේරා ද කොන්ත‍්‍රාත්තුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මීට පෙර පැවති කොන්ත‍්‍රාත්තු සමඟ සැසඳීමේදී සමස්තයක් ලෙස ක‍්‍රීඩකයකුගේ ගෙවීමෙන් සියයට 35 කට ආසන්න මුදලක් කපාහැර ඇති බවත් ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් මේ පිළිබඳව ප‍්‍රශ්න කර ඇතැයිද දැනගන්නට තිබේ. මෙවර කොන්ත‍්‍රාත්තුව ජයග‍්‍රහණ මත දීමනාව ඉහළ යන සේ සකස්කර ඇතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. ශාරීරික යෝග්‍යතාව, වෘත්තීය දස්කම්, නායකත්ව ලක්ෂණ සහ අනාගත වටිනාකම යන ලක්ෂණ පදනම් කරගනිමින් මෙවර කොන්ත‍්‍රාත් ගිවිසුම ලබාදුන් බවත් එම ගිවිසුමට ක‍්‍රීඩකයන් 24 දෙනකු ඇතුළත්ව සිටින බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. 

ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව පවසන්නේ මෙම වසරේ ජනවාරි දක්වා ප‍්‍රදර්ශනය කළ දස්කම් මත පදනම්ව මෙම කොන්ත‍්‍රාත් සකස් කළ බවය. කෙසේ වෙතත් ක‍්‍රීඩකයන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතාගේ දුරකථනයෙන් ප‍්‍රතිචාරයක් නොමැති බවද ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ.

අරවින්ද ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ක‍්‍රිකට් තාක්‍ෂණ කමිටුවේ පූර්ණ මැදිහත්වීමෙන් මෙම කොන්ත‍්‍රාත් ගිවිසුම සකස්කර තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලන කමිටු සභාපති වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ ක‍්‍රීඩකයන්ට එළඹෙන නිලවරණයෙන් පත්වන නව ක‍්‍රිකට් පරිපාලනය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර විසඳුමක් ලබාගත හැකි බවයි.

එම ක‍්‍රීඩකයන් 24 දෙනා ඒ, බී, සී සහ ඩී ලෙස අනු කාණ්ඩ 12ක් යටතේ ඇමරිකානු ඩොලර් ලක්ෂයේ සිට 25,000 දක්වා කාණ්ඩ ගතකර තිබේ. එහි ඉහළම කාණ්ඩයට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ඇතුළත්ව සිටින අතර ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි දෙකකට ආසන්න වාර්ෂික ගෙවීමක් හිමිවේ.

නව කොන්ත‍්‍රාත්තුවට ඇතුළත් ක‍්‍රීඩකයන් 24 දෙනාගෙන් අට දෙනකු රුපියල් ලක්‍ෂ 10 කට අධික මාසික දීමනාව බැගින් ලබන්නෝ වෙති. වාර්ෂික ගිවිසුමේ ‘ඒ’ කාණ්ඩයේ ඉහළම රැඳී සිටින ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල මාසිකව රුපියල් ලක්‍ෂ 16 කට (1,641,000) අධික මාසික දීමනාවක් ලබති.

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටින ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා මාසිකව රුපියල් ලක්‍ෂ 13 කට (1,613,000) අධික දීමනාවක් හිමිව තිබේ.

කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි කොටසට ඇතුළත්ව ලක්‍ෂ 11 කට (1,149,000) අධික මාසික දීමනාවකට හිමිකම් කියති.

සුරංග ලක්මාල් සහ දසුන් ශානක ‘බී’ කාණ්ඩයේ පළමු ශ්‍රේණියට ඇතුළත්ව සිටින අතර එම දෙපළට රුපියල් ලක්‍ෂ 10 කට අධික මාසික දීමනාවක් හිමිවේ.

වාර්ෂික කොන්ත‍්‍රාත් ලැයිස්තුවේ අවසන් ශ්‍රේණියේ සිටින අකිල ධනංජය සහ අෂේන් බණ්ඩාර මාසිකව ලක්‍ෂ 4 කට (410,000) අධික දීමනාවක් ලබති.

වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයෝ:

ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල (ඇ.ඩො. 100,000), ඇන්ජලෝ මැතිව්ස් සහ  කුසල් ජනිත් පෙරේරා (ඇ.ඩො. 80,000), කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න (ඇ.ඩො. 70,000), සුරංග ලක්මාල් සහ දසුන් ශානක (ඇ.ඩො. 65,000), වනිදු හසරංග සහ ලසිත් ඇඹුල්දෙණිය (ඇ.ඩො. 60,000), පැතුම් නිස්සංක සහ ලහිරු තිරිමාන්න (ඇ.ඩො. 55,000), දුෂ්මන්ත චමීර සහ කසුන් රාජිත (ඇ.ඩො. 50,000), දිනේෂ් චන්දිමාල් සහ ලක්ෂාන් සඳකැන් (ඇ.ඩො. 45,000), විශ්ව ප‍්‍රනාන්දු සහ ඉසුරු උදාන (ඇ.ඩො. 40,000),  ඕෂධ ප‍්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් (ඇ.ඩො. 35,000), ලහිරු කුමාර සහ ධනුෂ්ක ගුණතිලක (ඇ.ඩො. 30,000), අෂේන් බණ්ඩාර සහ අකිල ධනංජය (ඇ.ඩො. 25,000)

 යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00