2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

තරුණ ජවය ඔප්නැංවූ සාර්ථක තරගාවලියක්

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 246

පළමු වටයේ තරග හයක් දිනලා තරගයක් පැරදුණාම එළියට ගිය එක සාධාරණ නෑ. තරග අටකින් හයක් ජය ගන්නවා කියන එක පහසු වැඩක් නෙමෙයි. ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ලබාගත්තේ ගොඩක් අමාරුවෙන්. ඒ නිසා මීට වඩා සාධාරණයක් ඉටුවිය යුතුයි.

අයි.පී.එල්. තරගාවලියේදී ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකරගන්නා කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්න අවස්ථා දෙකක් ලැබෙනවා. නමුත් මෙම තරගාවලියේ එවැනි අවස්ථාවක් නෑ. ඒ නිසා අපි තරග හයක් ජය ලබා අවසන් ඕවරයේ උඩපන්දු දෙකක් අතහැරීම නිසා ගෙදර යන්න වුණා” යැයි කොළඹ කිංග්ස් පිලේ ක‍්‍රීඩකයෙක් ‘දේශය’ට පැවසීය.

ලංකා ප‍්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග හයක් ජය ලබා පෙරමුණේ සිටි කොළඹ කිංග්ස් පිලට පළමු අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්වීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම පිළිබඳව මෙසේ විවේචන එල්ල වෙමින් තිබුණි. කොළඹ කිංග්ස් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයට පෙර දින අන්තර්ජාලය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවේදීද පළමු ස්ථානය ගන්නා කණ්ඩායමට අසාධාරණයක් විය හැකි බවට ඉඟි පළ කළේය.
‘කොවිඩ් 19’ වසංගත තත්ත්වය හේතුවෙන් එල්.පී.එල්. තරගාවලිය අවස්ථා කීපයකදීම කල්දැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට සිදුවූ අතර තරගාවලිය පැවැත්වීමට දැඩි සෞඛ්‍ය නිර්දේශවලට අනුගතවීමටද සිදුවිය. මෙම තරගාවලිය සූරියවැව සහ පල්ලෙකැලේ යන ක‍්‍රීඩාංගණ දෙකේ පැවැත්වීමට සැලසුම්කර තිබුණද සෞඛ්‍ය නිර්දේශ මත සම්පූර්ණ තරගාවලිය සූරියවැවදී දින සංඛ්‍යාව අඩු කරමින් තරගාවලය අවසන් කිරීමට සිදුවිය. මේ හේතුවෙන් තරගාවලියේ ඇතැම් දුර්වලතා ඇති වූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය. 

අපි තරගාවලිය සංවිධානය කිරීමේදී විවිධ ආකාරයේ ගැටලුවලට මුහුණ දුන්නා. සෞඛ්‍ය බලධාරීන්ගෙන් අවසර ලැබුණම නමගිය ක‍්‍රීඩකයන් තරගාවලිය මඟහරින තත්ත්වයක් ඇතිවුණා. අපි හැකි ආකාරයට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ක‍්‍රීඩකයන්ගේද සහයෝගය ඇතිව හොඳ ක‍්‍රීඩකයන් කීපදෙනෙක් සහභාගි කරගත්තා. දුර්වලතා තියෙන්න පුළුවන්. නමුත් අපිට ඒවා ලබන වසරේ නිවැරදි කරගන්න පුළුවන්” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය බාධක රුසක් මධ්‍යයේ සංවිධානය කළ එල්.පී.එල්. තරගාවලිය පසුගිය බදාදා රාත‍්‍රී සාර්ථක තරගාවලියක් ලෙස අවසන් විය. තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන්ස් පිල අවසන් මහ තරගයේදී ලකුණු 53 කින් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල පරාජය කරමින් ශූරයන් බවට පත්විය. 

මෙම තරගාවලිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතයේ හැරවුම් ලක්‍ෂයක් බවට පත්කරගැනීමේ අවස්ථාව හිමිව තිබේ. වර්තමාන ක‍්‍රිකට් පිටියේ තරගකාරීත්වයත් සමඟ සීමිත ඕවර තරග සඳහා විශේෂයෙන් විස්සයි20 තරග සඳහා තරුණ ජවය වඩාත් වැදගත් බව එල්.පී.එල්. තරගාවලියේදී ප‍්‍රදර්ශනය විය. ශ‍්‍රී ලංකාව 2021 විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් ශක්තිමත් විස්සයි20 කණ්ඩායමක් නිර්මාණය කිරීමට මෙය හොඳම අවස්ථාව බවට පත්ව තිබේ. 
එක්දින සහ විස්සයි20 ජාතික කණ්ඩායම් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගෙන් බොහෝ දෙනකු විස්සයි20 පිටියට සමුදීමට කාලය පැමිණ ඇති බව මෙම තරගාවලියේදී නැවතත් ප‍්‍රදර්ශනය විය. දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, දසුන් ශානක, අවිශ්ක ප‍්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්‍ෂ, ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග වැනි ක‍්‍රීඩකයන් අතරට එකතු කළ හැකි තරුණ ක‍්‍රීඩකයන් කීපදෙනකු මෙම තරගාවලියේදී හඳුනාගැනීමේ අවස්ථාව හිමිවිය. 
එම ක‍්‍රීඩකයන් අතරින් ධනංජය ලක්‍ෂාන්, සහන් ආරච්චිගේ, රමේෂ් මෙන්ඩිස්, නුවන් තුෂාර, චරිත් අසලංක සහ තික්‍ෂිල ද සිල්වා වඩාත් කැපී පෙනෙති. ඔවුන් මෙම තරගාවලියෙන් පසුව අමතක කරනවා වෙනුවට විස්සයි20 ජාතික සංචිතයට කැඳවීම කළයුතුය. කෝඩුකාරයකු වන වේගපන්දු යවන ධනංජය ලක්‍ෂාන් ප‍්‍රබල විදේශීය සහ දේශීය පිතිකරුවන්ට පන්දු සංකලනයක් යොමුකළ ආකාරය වඩාත් කැපී පෙනුණි. ශ‍්‍රී ලංකා වයස 19න් පහළ පිලේ හිටපු නායකයකු වන චරිත් අකලංක මෙම තරගාවලියට සහභාගි නොවන්නට අමතක වන්නටද ඉඩ තිබුණි. 

සහන් ආරච්චිගේ වයස 19න් පහළ දක්වා ගම්පහ බණ්ඩාරනායක විදුහලට ක‍්‍රීඩා කළ අතර ඔහුගේ දස්කම් මත කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදාවිය. රමේෂ් මෙන්ඩිස් ජාතික සංචිතයට ඇතුළත් කිරීමට කීපවරක්ම සූදානම් වුවද එම අවස්ථාවන් වැළකුණි. ආබාධයනට ලක්ව සිට නැවත ක‍්‍රීඩාවට පැමිණි අසේල ගුණරත්න සහ දුෂ්මන්ත චමීර මෙන්ම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන උපුල් තරංග, සීකුගේ ප‍්‍රසන්න සහ සුරංග ලක්මාල් තව දුරටත් විස්සයි20 ජාතික සංචිතයේ තබාගත යුතුද යන්න පිළිබඳව තීරණය කළ යුතුය. 

ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියේදී ද ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප‍්‍රිකානු සංචාරය  අහිමිවිය. මැතිව්ස් සිය ශාරීරික යෝග්‍යතාව මත පදනම්ව ක‍්‍රීඩා කරන තරග කාණ්ඩයක් තෝරාගැනීම වඩාත් යෝග්‍යවේ. ගාල්ල පිල නියෝජනය කළ ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමකට ලක්ව සිටින අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමෙන් පසුව සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට දැඩි උත්සාහයක් ගත්තද සාර්ථක නොවීය.  
මෙම තරගාවලියට ප‍්‍රබල විදේශ ක‍්‍රීඩකයන් වන ඔන්ඩ්‍රි රසල්, ඩේන් ස්ටෙයින්, ෂොයිබ් මලික්, සහිඩ් අෆ්රිඩි සහ මොහොමඩ් අමීර් වැනි විදේශ ක‍්‍රීඩකයන් සහභාගි වීම ශ‍්‍රී ලංකා තරුණ ක‍්‍රීඩකයන්ට අත්දැකීම් ලබාගැනීමට මහඟු අවස්ථාවක් බවට පත්විය. කොදෙව් ක‍්‍රීඩකයන් වන ඔන්ඩ්‍රි රසල් සහ ජොනතන් චාල්ස්, පාකිස්තානු ක‍්‍රීඩකයන් වන මොහොමඩ් අමීර් සහ අසාම් ඛාන්ද ඇෆ්ගනිස්තානු ක‍්‍රීඩකයන්ද මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සමඟ වඩාත් සහයෝගයෙන් කටයුතු කළ බව දැනගන්නට තිබේ. 

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් මෙහිදී විදේශ ක‍්‍රීඩකයන්ට ඇතැම් සිංහල වචනද පුරුදු කළ බව ක‍්‍රීඩකයෝ පවසති. පන්දුවට පහර දීමේදී සහායක පිතිකරුට නිරන්තරයෙන් පාවිච්චි කරන ‘එපා’ යන වචනය ඇතැම් විදේශ ක‍්‍රීඩකයන්ද කියන ආකාරය අසන්ට ලැබුණි. 
ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා පසුගිය සිකුරාදා (18) දිවයිනෙන් පිටත්ව ගියේය.

 සටහන: යොහාන් භාසුර