2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ තිරය පසුපස කතා

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:29 510

‘‘එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය නැරඹීමට බි‍්‍රතාන්‍ය ජාතිකයන් 4000 ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා. ඊට අමතරව එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1000 ක් පමණ ද පැමිණීමට සූදානමින් සිටියා.’’

‘‘ටෙස්ට් තරග දෙක කල්ගියා විතරයි. මම හිතන්නේ ඒක හොඳයි කියලා. මේ දැවැන්ත පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාව අපේ රටට ඇතුළු වුණා නම් අවදානමක් ඇතිවෙනවා. ඒ වගේම අපේක්‍ෂිත පේ‍්‍රක්‍ෂකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් අඩු වෙන්නත් තිබුණා’’
‘‘මෙම සංචාරය මේ වසර අවසානයේ යොදාගැනීමට වැඩි ඉඩක් තියෙනවා. ඒ වන විට කොරෝනා අවදානම නැතිවෙලා තියෙයි. එහෙම වුණොත් අපිට තරගාවලියේ උපරිම ප‍්‍රයෝජන ගැනීමේ අවස්ථාව ලැබෙනවා’’ යැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියාගේ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ‘පෙරළුණු පිට හොඳයි’ යන මතයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සිටින බවයි. 

තරගාවලිය නැරඹීමට පැමිණීමට සූදානම් වූ පිරිසෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ගාල්ල සහ අවට පසුගිය සතිය වන විටත් නවාතැන් ගෙන සිටි බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ එංගලන්ත පිල තවදුරටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් තරගාවලිය පැවැත්වූයේ නම් ශ්‍රී ලංකාව දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති ‘කොරෝනා’ අසාදිතයන්ගේ අති බහුතරයක් ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර පළමු ශ්‍රී ලාංකික රෝගියා ඉතාලි ජාතික සංචාරකයන් පිරිසගේ ‘සංචාරක මඟ පෙන්වන්නා’ ලෙස කටයුතු කළ පුද්ගලයෙකි. 

බි‍්‍රතාන්‍යයේ ද මේ වන විට දැඩි ‘කොරෝනා’ තර්ජනයක් පවතින අතර ටෙස්ට් තරගාවලිය නැරඹීමට පැමිණීමට සූදානම්ව සිටි දැවැන්ත පේ‍්‍රක්‍ෂක පිරිසේ ‘කොරෝනා’ ආසාදිතයන් නොසිටී යැයි කිසිවකුට සහතිකයක් දිය නොහැක. එය එසේ නම් සියලුම සංචාරකයන් ‘නිරෝධායන’ වැඩසටහනකට සහභාගි කරවා තරග නැරඹීමට යොමු කළ යුතු විය.

ක‍්‍රිකට් තරගාවලියක් නැරඹීමට එන පේ‍්‍රක්‍ෂකයන් දින 14ක ‘නිරෝධායන’ වැඩසටහනකට සහභාගි කරවීම කොතරම් ප‍්‍රායෝගික ද යන ගැටලුව එහිදී අනිවාර්යයෙන්ම මතුවීමට ඉඩ තිබිණි.

‘කොරෝනා’ වෛරස බිය හේතුවෙන් ටෙස්ට් තරග දෙකක තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය ඉරිදා තරගාවලිය නවත්වා නැවත එංගලන්තය බලා පිටත්ව ගියේය. එංගලන්ත කණ්ඩායමේ ඉල්ලීමකට අනුව තරගාවලිය අත්හිටුවීම සිදුවූ අතර එංගලන්ත ක‍්‍රීඩකයන් සිය පවුල්වල සාමාජිකයන් සහ හිතවතුන් පිළිබඳව සිතමින් සිත් තැවුලින් සිටි බව එංගලන්ත පිලේ නායක ජෝ රූට් පවසා තිබුණි. 

‘‘මෙම තීරණයත් සමඟ ක‍්‍රීඩකයන් යම් සහනයක් ලැබුවා. ඔවුන්ගේ සිතේ තිබුණේ වෙන දෙයක්. ඔවුන් කල්පනා කළේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් ගැනයි. නැවත ගියාට පසුව ඔවුන්ට පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීමේ අවස්ථාව උදා වෙනවා’’ යැයි නායක ජෝ රූට් විදේශ මාධ්‍ය වෙත පවසා තිබුණි. 

එංගලන්ත පිල ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට පසුගිය සතියේ සිකුරාදා තීරණය කරන විට බි‍්‍රතාන්‍ය තුළ ‘කොරෝනා’ ආසාදිතයන් සංඛ්‍යාව 1,000 ඉක්මවීමෙන් ‘වසංගත’ තත්ත්වයක් නිවේදනය කර තිබුණි. 

 වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00