2023 මැයි 21 වන ඉරිදා

ඔන්න අපට හෙද සරසවියකුත්!

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 86

දශක ගණනක් තිස්සේ හෙද උපාධියක් ඉල්ලා කළ සටන ජය ගැනීමට දැන් ලංකා හෙද සේවය සමත්ව තිබේ. ඒ අනුව හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නට අවශ්‍ය මූලික අඩිතාලම මේ අර්බුදකාරී  සමයේ වැටී තිබේ. හෙද විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමඟිනි. වඩාත් උසස් අන්තර්ජාතික මට්ටමේ වෘත්තීමය පිළිගැනීමක් සහිත, විනයගරුක, ශික්ෂාකාමී විශේෂඥ හෙද සේවයක් ලෝකය වෙත ලබාදීම සඳහා දැන් අපට අවස්ථාව උදා වී තිබේ.

වසර ගණනාවක සිට ඉදිරිපත් වූ මේ අත්‍යවශ්‍ය කාලීන ඉල්ලීම යථාවක් කරන්නට මේ අර්බුදකාරී සමයේ ජනාධිපතිවරයා ගත් කඩිනම් පියවර රටේ ආර්ථික ප්‍රගමනයට උදව්වක් වන අනාගත දැක්මක් සහිත ක්‍රියාන්විතයක් ලෙස හෙද සංගම් ක්‍රියාකාරීන් මෙන්ම විශිෂ්ට හෙද සේවාවක් ගැන සිහින දකින බහුතරයේ පැසැසුමට ලක්ව තිබේ.  

ලංකාවේ රෝහල් සහ හෙද සේවා ඉතිහාසය දේවානම්පියතිස්ස රජ සමය දක්වාම විහිද යන අක්මුල් සහිතය. නමුත් මූලිකව හෙදියන් සම්බන්ධ කරගත් සේවාවන් මෙරට ඇරැඹී තිබුණේ 1879 ඩී සොයිසා ලයිනින් හෝම් සහ 1886 හැව්ලොක් ආර්යා යන මාතෘ රෝහල් ආරම්භයත් සමඟිනි. මේ සේවා ලබාදුන් අය කිරි මව්වරුන් වශයෙන් මහත් ගෞරවනීය සේවාවක් ඉටුකර ළදරු මරණ සංඛ්‍යාව විශාල වශයෙන් පහළ දැමීමට දායක වූහ. පසුව 1926 මුල්ම හෙදියන් පුහුණුවට බඳවා ගැනීම ඇරැඹී තිබුණි. 1939 දී මුල්ම විදුහල සහ ක්‍රමානුකූල හෙද අධ්‍යාපනය ඇරැඹිණි.

හෙද සේවාව සඳහා වෙන්වූ සරසවි අධ්‍යාපනයක් ගැන මුල්ම කතාබහ මතුව තිබුණේ 1963 දී පමණය. වසර 5ක හෙද සරසවි ඩිප්ලෝමා අධ්‍යයනයක් පිළිබඳ මේ අදහස ලංකා සරසවිය මගින් ඉදිරිපත් වුවද සාර්ථක වූයේ නැත. නැවත වතාවක් 1968 වන විට අන්තර්ජාතික හෙද සේවා කවුන්සිලය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය තෘතියික මට්ටමේ උසස් හෙද අධ්‍යාපනයක් සඳහා අවශ්‍යතාව තහවුරු කරමින් හෙද සරසවියක් සඳහා සහාය පළ කර තිබුණද 1994 තරම් මෑත කාලයක් වනතුරු මේ සරසවි සිහිනය සැබෑ වූයේ නැත. 1994 දී මුල්ම උපාධි පාඨමාලාව පෞද්ගලිකව ඇරැඹුණේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ආශ්‍රිතවය. 

මේ සමයේදීම ශ්‍රී ජයවර්ධනපුර සරසවිය ආශ්‍රිතව 1992 දී ඇරැඹුණු වෛද්‍ය පීඨය ආශ්‍රිතව මූලික උපාධි පාඨමාලාවකට අඩිතාලම වැටුණු අතර 1997 දී එයට අනුමැතියද හිමිවිය. මේ අනුව 2000 වසර වන විට මුල්ම වතාවට කථිකාචාර්ය ධූරයක්ද පත් කරන්නට යෙදී තිබුණි. එපමණකි. හෙද විශ්වවිද්‍යාලය සිහිනයක්ම පමණක් වී තිබුණි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරී පුෂ්පා රම්‍යාණි ද සොයිසා හෙද සරසවියක් ලබාගැනීම සඳහා වූ මෑත ක්‍රියාන්විතය පිළිබඳ ‘දේශය’ ඔබ වෙනුවෙන් අදහස් දැක්වූවාය. 

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ ක්‍රියාකාරී මෙහෙයුමේ මුල් තැන ගත් නියමුවා ලෙස පෙන්වා දෙන ඇය මේ වන විට සමහර වෛද්‍යවරුන් පවා හෙද සේවාවට ඉහළ වෘත්තික ඇගැයුමක් ලැබෙන විශ්ව විද්‍යාලයක් පිළිබඳ අදහසට කෙණෙහිලිකම් පෑවද මුල් අවධියේ හෙද සරසවිය යථාර්ථයක් කිරීම සඳහා ආරම්භක පියවර තැබුවේ එකල මෙරට සිටි විශිෂ්ටතම වෛද්‍ය මාහාචාර්යවරුන් බව පෙන්වා දෙයි. 

ඇයට අනුව හෙද විශ්ව විද්‍යාලයේ උපත සඳහා මුල් වූ මූලික සාකච්ඡා 1991 වසර තරම් ඈත කාලයකදී නාරාහේන්පිට අභයාරාමය මුල් කරගෙන පවත්වා තිබේ. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, මුරුත්තෙට්ටුවේ හිමි ප්‍රධානව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපකුලපති මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි, මහාචාර්ය විනි විතාරණ, කථිකාචාර්ය ජගත් වික්‍රමසිංහ මේ මුල් කතිකාවට සහභාගී වූහ. පසුව 1991-10-11 කොළඹ වෛද්‍ය පීඨයේ රුස්වීම් ශාලාවේ පැවැති ඉතිහාසගත උත්සවයකදී මේ සඳහා මූලික ගිවිසුම් සැකසුණු අතර ක්‍රියාකාරී කමිටුවක් ද පත් කෙරිණි. මුරුත්තෙට්ටුවේ හිමි සහ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, පේරාදෙණියේ මහාචාර්ය මැල්කම් ප්‍රනාන්දු, මහාචාර්ය ඩබ්ලිව්.ඒ. සිල්වා, වෛද්‍ය එම්.ඒ.ආර්. පෙරේරා, වෛද්‍ය එච්.එච්.ආර්. සමරසිංහ මෙන්ම කමිටුවේ ලේඛකාධිකාරී පී. රණවීර මහත්වරු මේ ඉතිහාසගත අවස්ථාව නියෝජනය කළහ. පසුව 2019 වන විට හෙද අධ්‍යාපනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධන බලකායක්ද පත් කෙරිණි. ඒ වෙත ප්‍රධාන නිර්දේශ 10ක්ද වෘත්තිකයන් වෙතින් ඉදිරිපත්ව තිබුණි.

අලුතෙන් රජයේ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවක් ඇරුඹීම ඒ අතර මූලිකම යෝජනාවකි. දැනට ක්‍රියාත්මකව පවතින හෙද විදුහල් 16 නව විශ්වවිද්‍යාලයේ පීඨ හැටියට පවත්වාගෙන යාමට හැකි බවට මෙන්ම වසරකට 3000ක් වූ හෙදියන් උපාධිය සඳහා මූලිකව බඳවා ගැනීම සහ මේ වනවිට සේවයේ සිටින සහ අලුතෙන් සේවයට එන සැමට ක්‍රමවත්ව උපාධිය ලබා දීමට අවශ්‍ය පටිපාටියක් සැලසීමේ අවශ්‍යතාව වැනි කරුණු 10ක් එහිදි ඉදිරිපත් කර තිබුණි. පසුව ගතවූ කාලය තුළ මේ සඳහා නව පනත් සැකසීම සහ ආයතන සම්බන්ධීකරණ කටයුතු ඇරුඹුණු අතර ඉන්පසු පසුගියදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ පනතට පසුගිය මැයි 08දා අනුමැතිය ලැබී තිබුණි. ඒ අනුව දැන් විශ්වවිද්‍යාලය සඳහා මූලික පියවර සැකසී හමාරය.
කලින් කීවාක් මෙන් මුල් යුගයේ කිරි මව්වරුන්ගේ සේවය හෙද සේවාව ලෙස සැලකුණු අතර සැබෑ හෙද සේවයට මුල්ගල තැබුණේ යුද සමය මුල් කරගෙනය. 

ඒ අනුව ලෝක හෙද සේවයෙහි ඉතිහාසයේ කැපීපෙනෙන වර්ධනයක් ඇතිවූයේ යුද සමයෙහි සොල්දාදුවන්ට සත්කාර කිරීම සදහා ක්‍රියාකාරී වූ ‍ෆ්ලෝරන්ස් නයිටින්ගේල් කන්‍යා සොයුරියගේ කැපවීමෙන් පසුවය. ඇය හෙදියකගේ සටහන් නම් කෘතියෙහි ඇති කරන ලද මූලධර්මයන් අනුව යමින් වෘත්තීමය හෙද සේවාවක් සදහා මුල්ගල් තබන ලදී. යුද සමයේදී ක්‍රියාකාරී හෙදියක වූ මේරි සිකෝල්, ඇමෙරිකාවේ සහ ජපානයෙහි හෙද විද්‍යාල ස්ථාපිත කරන ලද ඇග්නස් එලිසබත් ජෝන්ස් හා 1873 දී උපාධි ලැබූ ඇමෙරිකාවේ මුල්ම පුහුණු හෙදිය වූ ලින්ඩා රිචඩ්, ලෝකය තුළ මෙම වෘත්තියෙහි වර්ධනය සදහා කැපීපෙනෙන මෙහෙයක් ඉටු කළ අනෙකුත් හෙදියන්ය.

නවසීලන්තය 1901 සැත්තැම්බර් 12 වැනිදා ස්ථාපිත කරන ලද හෙදියන් ලියාපදිංචි කිරීමේ පනත මගින් ජාතික වශයෙන් හෙදියන් පාලනය කළ මුල්ම රට වේ. එලන් ඩොරකි මෙලෙස ලියාපදිංචි වූ මුල්ම හෙදියයි. උතුරු කැරෝලිනාව, ඇමෙරිකා එක්සත් ජනපදයේ 1903 දී හෙද ලියාපදිංචි බලපත්‍ර නීතිය ස්ථාපිත කරන ලද මුල්ම ප්‍රාන්තයයි.

නූතන යුගවලදී හෙද සේවයන්ගේ දැනුම සහ වෘත්තීය මට්ටමේ ඇගැයීම සංවර්ධනය කිරීම සදහා විවිධ උපාධි පාඨමාලා යෝජිතව ඇති අතර ඔවුන්ගේ වෘත්තීය දැනුම පුළුල් කර ගැනීම සදහා විවිධ විශ්වවිද්‍යාල සහ පුහුණු ආයතනද බිහිව තිබේ. සමහර රටවල මේ තත්ත්වයෙන් උසස් දියුණු හෙද සේවා වෘත්තිකයන් බිහි කීරිමම අරමුණ කරගත් සරසවි උපාධි ආයතන පවත්වාගෙන යාම දැන් සරු ආදායමක් ලැබෙන ආර්ථික ආයෝජන අවස්ථාවකි. මේ අනුව ලෝකයේ හෙද වෘත්තිකයන් සෞඛ්‍ය සේවය තුළ කළමනාකාරිත්වයෙහිද ප්‍රධාන මෙහෙයක් ඉටුකරන අතර ඔවුහු විශ්වවිද්‍යාලවල සමීක්ෂණ අධීක්ෂණ තනතුරු පවා දරති.

හෙද සේවාව යනු අනාගතයේ මුල් තැන ගත් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වීමේ ලෝක ශක්‍යතාවක් ඇති වෘත්තියක් බව ලෝක ආර්ථික අනාවැකිකරුෙවා් දැනටමත් පෙන්වා දී හමාරය. ඉහළ වෘත්තිමය මට්ටමක් සහිත හෙද හෙදියන් බිහිකිරීම සඳහා පවතින සම්පත් දායක කර ගනිමින් උපාධි පාඨමාලාවක් ඇරුඹීම මේ අනාගත අවශ්‍යතාව සඳහා දේශීයව  පුහුණු  අන්තර්ජාතික මට්ටමේ  වෘත්තිකයන් සැපැයුමකට මං පාදන අතරම අධ්‍යාපනික සංචරණය මගින් මේ සරසවිය වෙත අන්තර්ජාතික  ශිෂ්‍ය ප්‍රජාව ආකර්ශනය මගින් ද අපේ රටට ආර්ථිකයට සවිමත් විදෙස් ආදායමක් ලැබීමේ අවස්ථාව ද උදාකර දෙනු ඇත.

I සුගත් පී. කුලතුංග ආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00