2023 මැයි 21 වන ඉරිදා

දිගට හරහට නැතිවෙන ළමා - තරුණ ජීවිත

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 70

පාසල් සිසුවෙක්, පිය පුතු දෙපළක්, පෙම් යුවළක් විවාහ වී දින ගණනක් වූ අඹු සැමි දෙදෙනෙක් හා තරුණියන් කිහිප දෙනකු, අනතුරු හා ඝාතන කිරීම නිසා මරණයට පත්වූ සංවේදී සිදුවීම් රැසක් ඉකුත් සතියේ අසන්නට ලැබිණ. දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් වාර්තා වූ හදිසි අනතුරු සිද්ධීන් ඇසුරේ 1706 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 200කට අධික පිරිසක් තුවාල ලැබූ අතර අකාලයේ මියගිය පිරිස 25 කට වැඩිය.

මෝටර් රථයක් පැහැරගෙන යන අතරමගදී පාපැදියක යමින් සිටි පාසල් සිසුවකු අනතුරකට ලක්කර මරණයට පත්කොට තිබුණේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේදීය. කසුන්ත සමරතුංග (15) නැමැති දරුවා කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලැබූවෙකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබමින් සිටි ඔහු උපකාරක පන්තියක් නිමකොට සිය පාපැදියෙන් නිවෙස බලා එමින් සිටියේය. එහිදී සිසුවාගේ ඉදිරියට වේගයෙන් පැමිණි මෝටර් රථයක් සිසුවා යට කර පාරෙන් ඉවතට පැන පෙරළී ගොස් ආසන්නයේ තිබූ දුරකථන කණුවක ගැටී නතර වී තිබිණ. අනතුරින් පාපැදියටත් මෝටර් රථයටත් බරපතළ හානි සිදුව තිබියදී රෝහල්ගත කළ සිසුවා ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව කියැවිණි.

මෙම රථය පැහැරගෙන තිබුණේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ තරුණ අඹුසැමි යුවලක් විසිනි. දෙදෙනාගෙන් පුරුෂයා රථය පදවා තිබෙන අතර ඔවුන් අනුරාධපුර, යාපනය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථය පැහැරගෙන පලා යමින් සිටියදී මෙම මාරක අනතුර සිදුකර ඇතැයි කියති.

තවත් රිය අනතුරක් නිසා පිය පුතු දෙපළක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදීය. ඒ පසුගිය 16 වැනිදා රාත්‍රියේදීය. මහනුවර ධර්මරාජ විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ පදික මාරුව මතින් පිය පුතු දෙපළ පාර හරහා ගමන් කරමින් සිටියහ. එහිදී වේගයෙන් ධාවනය වූ ජිප් රථයක් පිය පුතු දෙපළ යට කරමින් ධාවනය කොට තිබෙන අතර ඒ හේතුවෙන් එම පිය පුතු දෙපළ ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන් මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචිව සිටි චන්දික සම්පත් (42) හා මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි විමන්ත රොද්‍රිගු (10) යන අය වෙති. මෙම අනතුර සිදු කළ ජිප් රථය පදවා තිබුණේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාතහේවාහැට ආසන සංවිධායක ගාමිණී විජය බණ්ඩාර නැමැත්තා විසිනි. ඔහු 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ග්‍රිනිත් විජේසූරිය මහතා නියෝග කළේය.

තවත් සංවේදී පුවතක් කියැවුණේ කොස්ලන්ද උඩදියලුම ඇල්ල අසල කඳවුරු බැඳගෙන රාත්‍රිය ගත කරමින් සිටි යොවුන් පෙම් යුවළකට එල්ල වූ වල්අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බවකි. තරුණයා බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය වාර්තා කළේය. අනතුරින් මියගිය තරුණිය තරුෂි කවීෂා (23) නැමැත්තියකි. ඇය මාතර කැකුණදුර පදිංචිකාරිනියකි.

බරපතළ තුවාල ලැබූ තරුණයා 22 වැනි වියේ පසුවන වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තවත් හිතවතුන් දෙදෙනකු සමඟ හපුතලේ ප්‍රදේශයට පැමිණි යුවළ පසුව උඩදියලුමට ගොස් කූඩාරමක රාත්‍රිය කර ඇතැයි පැවසේ. එහිදී අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර කූඩාරම සුණු විසුණු කොට ඇති බව දකින්නට ලැබිණ. රාත්‍රියේ වනඅලි ප්‍රහාරය සිදුව ඇති අතර පසුදින පිරිස් එහි යන තෙක්ම වන අලියා එතැන රැඳී සිට ඇතැයි කියති. පසුව දැඩි පරිශ්‍රමයක් යොදා අලියා එළවා දැමූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.

මියගිය තරුණිය මාතර පෞද්ගලික බෙහෙත් ශාලාවක සේවය කළ තැනැත්තියකි. තරුණයා පෞද්ගලික ආයතනයක වෙළෙඳ සහායකු වශයෙන් සේවය කළ කෙනෙකි. උඩදියලුම ප්‍රදේශය සංචාරකයන් අතර මෑතකදී වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ කඳවුරු ගසා රාත්‍රිය ගත කිරීමට හැකි ස්ථානයක් ලෙසය. එහෙත් නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග නොගැනීම නිසා මේ අවාසනාවන්ත සිද්ධිය ඇතැයි පැවසේ.

රත්නපුර පොලිසිය වාර්තා කළේ තිරිවානාකැටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් නිසා විවාහ වී දින ගණනක් ගතව සිටි තරුණ යුවළක් ජීවිතක්ෂයට පත්වූ බවකි. මෙම තරුණ යුවළ යතුරුපැදියක යමින් සිටියදී පෞද්ගලික බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී අනතුර සිදුව ඇත. මියගිය අලුත විවාහ වූ මෝහන් රාජ් හා පුෂ්පිකා යුවළ 24 හැවිරිදිය. ඔවුන් දෙපළ කහවත්ත ඕපාත ප්‍රදේශයේ සිට රත්නපුර තිරිවානාකැටිය කෝවිලට පැමිණ යන අවස්ථාවේ මේ අනතුරට ලක්ව ඇතැයි පැවසේ. අනතුර සිදුකර පලා ගිය ලොරි රථය කිලෝමීටර් 40ක් පමණ ඈතට ගොස් උඩවලව පොලිසියට බාර වී ඇති බවද පොලිසිය පැවසීය.

අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් 23 හැවිරිදි තරුණියක ජීවිතක්ෂයට පත්වූයේ ඉකුත් සතියේ දිනකය. මාලබේ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක දුරකථන ක්‍රියාකාරිනියක වශයෙන් සේවය කළ එම තරුණිය සේවා ස්ථානය වෙත ගොස් තිබුණේ ස්කූටි වර්ගයේ යතුරුපැදියකිනි. ඇය ගෝවින්න මාවත සිට ප්‍රධාන මාර්ගයට යතුරුපැදිය හරවන අවස්ථාවේ කැබ් රථයක ගැටීම නිසා අනතුර සිදුව ඇත. තුවාල ලබා සිටි තරුණිය රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

ගම්පොළ අතුරුදන් වූ තරුණියක පිළිබඳ සංවේදී පුවතක් වාර්තා වූයේද දින කිහිපයකට ඉහතදීය. නිවෙසේ සිට සේවය කරන ස්ථානයට යන මොහොතක නිවෙසෙන් මීටර් 100 ක පමණ දුරකදී ඇය අතුරුදන්ව ඇති බවට ගම්පොළ පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබිණ. පසුව ලද තොරතුරක් මත ප්‍රදේශයේ එළුවන් බලාගන්නා තරුණයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එම සැකකරු තරුණියට අයුතු යෝජනාවක් සිදු කර ඇති බවත් ඊට අකැමැති වී ඒ බව සිය පියාට පවසන බවත් කියා ඇත. එහිදී සැකකරු තරුණිය ඝාතනය කොට අසල කැලෑවක වළදමා ඇති බවද ඔහුගේ පාපොච්චාරණය අනුව මළසිරුර සොයාගත් බවද ගම්පොළ පොලිසිය වාර්තා කළේය.

එමෙන්ම වාරියපොළ මිනුවන්ගැටේ වල්පලුය ප්‍රදේශයේ අතුරුදන්ව සිටි තරුණයන් දෙදෙනකුගේ මළසිරුරු සොයාගෙන තිබුණේ වතුර පිරුණු වළක තිබියදීය. එම මරණ දෙක ඝාතනයක්ද වැටී මිය ගියාද යන්න තවම නිශ්චිත නැත. කෙසේ වෙතත් වාර්තා වන්නේ එම තරුණයන් දෙදෙනා තවත් දෙදෙනකු සමඟ සොරකමේ ගොස් හසුවීමේදී නොදන්නා මාර්ගයක දුවගොස් ඇති බවකි. එසේ අතුරුදන් වූ තරුණයන් දෙන්නා පිළිබඳ ඔවුන්ගේ සෙසු සගයන් පොලිසියට පැමිණි කොට ඇත. ඒ අනුව සිදු කළ සොයා බැලීමේදී මළසිරුරු හමුවී ඇතැයි කියති.

ඉකුත් සතියේ හදිසි අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ 1706 දෙනකු අතරින් 14 දෙනෙක් මිය ගියහ. මොවුන්ගෙන් රෝහලට රැගෙන එන විට තිදෙනකු මරණයට පත්ව සිටි අතර 11 දෙනකු රෝහලට ඇතුළත් කළ පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කළේය. වළක්වාගත හැකිව තිබූ අනතුරු වළක්වා නොගැනීම නිසා ඇතැම් මරණ සිදුවීම ඛේදවාචකයක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙයි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර