2023 මැයි 21 වන ඉරිදා

දිගටම කෙකර ගාන බිත්තර වෙළෙඳාම?

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 52

වෙළඳපොළේ මස් මාලු මිල අධික වීම හේතුවෙන් ලාභදායි මිලකට පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමට තිබෙන එකම දෙය බිත්තරය පමණි. එහෙත් මේ දිනවල බිත්තර සොයාගන්නවා තරම් අපහසු කාර්යයක් වෙන නැතැයි කීම අතිශයෝක්තියක් නොවේ. වෙළඳපළට ගොස් අද බිත්තර මිලදී ගන්නා කඩයකින් හෙට දිනයේ බිත්තර ගත නොහැකිය. හෙට බිත්තර ලබාගත හැක්කේ අද බිත්තර නොතිබූ වෙනත් කඩයකනි. මන්දයත් පවතින බිත්තර හිඟය කළමනාකරණය කිරීමට බිත්තර බෙදාහරින්නෝ රෝස්ටර් ක්‍රමයට තෝරාගත් කඩවලට නිශ්චිත දිනයන්හි පමණක් බිත්තර බෙදාහරින බැවිනි. බිත්තර ලබාගත හැකි කඩේක වුවද බිත්තර විකුණන්නේ නිශ්චිත ප්‍රමාණයක් පමණි. කොළඹ ඇතැම් ප්‍රදේශවල බිත්තර කඩයකින් එක් පාරිභෝගිකයකුට එකවර ලබා දෙන්නේ උපරිම බිත්තර 10කි. බිත්තර 10කට වඩා මිලදී ගත යුතු නම් කඩවල් කීපයකට යා යුතු වේ. 

මේ දිනවල වෙළඳපළේ තිබෙන බිත්තර කුරුලු බිත්තරයක් තරම් කුඩා ප්‍රමාණයේ ඒවා වේ. බිත්තරයක් ප්‍රමාණයෙන් කුඩා වීමට හේතු දෙකක් පවති. අලුතින් බිත්තර දමන කිකිලින්ගේ පළමු දින කිහිපයක බිත්තර කුඩා ප්‍රමාණයක් වේ. පොදුවේ ඒවා වෙළඳපොළට නිකුත් නොකෙරෙන අතර ඇතැම් විට අඩුමිලකට වෙළඳපළට නිකුත් කරනු ලැබේ. එසේ නොමැතිනම් බිත්තරයක් කුඩා වන්නේ කිකිලියන්ට දෛනිකව දෙන ආහාර ප්‍රමාණය අඩු වූ අවස්ථාවලය. ඒ අනුව අධිකව ආහාර දී ප්‍රමාණයෙන් විශාල  බිත්තර වෙළඳපළට නිකුත් කිරීමට වඩා ආහාර අඩු ප්‍රමාණයක් සපයා, සාමාන්‍ය මිලටම කුඩා බිත්තරයක් විකිණීම ලාභදායී වේ. එබැවින් වෙළඳපළේ දක්නට තිබෙන බිත්තරවල ප්‍රමාණය කුඩා වීමට හේතුව අඩුවෙන් කෑම දීම විය යුතුයි. ගොවියාට බැලූ බැල්මට ආහාර ප්‍රමාණය අඩු කිරීම ලාභදායි යැයි සිතුනද ප්‍රමාණවත් ආහාර නොලැබෙන සතු ඉක්මණින් දුර්වල වේ. ඉන් ගොවියාට දිගුකාලීන අවාසියක් සිදුවිය හැකිය.

බිත්තර සම්බන්ධයෙන් මෙරට පාරිභෝගිකයන් අතර පැවති වැරදි මතයක් වන්නේ සුදු බිත්තරයට වඩා රතු බිත්තරයක පෝෂණය වැඩි බවය. එනිසා සුදු බිත්තරයට වඩා රතු බිත්තරයක් රුපියල් 02කින් පමණ වැඩි මිලකට අලෙවි වේ. නමුත් ආර්ථික අර්බුදයෙන් පසු ඇති වී තිබෙන අලුත් තත්ත්වය නිසා වෙළඳපළේ බහුලව දක්නට ලැබෙන්නේ සුදු බිත්තරය. සුදු බිත්තර දමන කිකිලයන්ගේ ඵලදායිතාව ඉහළ බැවින් ගොවීන් බහුලව පෙළඹිලා සිටින්නේ සුදු බිත්තර දමන කිකිළියන් ඇති කිරීමටය. එනිසා පාරිභෝගයන්ට රතු බිත්තර සෙවීමට වඩා කුමක් හෝ බිත්තරයක් සොයාගැනීමට පෙළඹී සිටිති.

බිත්තර ගොවීන්ට අනුව තවත් වසරක කාලයක් වෙළඳසැල් රාක්කවල බිත්තර හිඟයක් දැකිය හැකියි. කුලියාපිටිය ප්‍රදේශයේ බිත්තර කිකිළියන් 4,000ක සිටින ගොවිපලක හිමියෙකු වන අනුරුද්ධ මහතා පැවසුවේ පසුගිය වසරේ බලශක්ති මිල ඉහළ යාම, සත්ව ආහාර මිල ඉහළ යාම ඇතුළු සාධක ගණනාවක් නිසා ගොවීන් මෙම කර්මාන්තයෙන් ඉවත් වූ බවයි. එය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට කාලයක් ගතවනු ඇති බවයි. 

බිත්තර නිෂ්පාදක ගොවීන් චෝදනා නගමින් කියා සිටින්නේ රජය විසින් පාලන මිල පැනවීම හේතුවෙන් ගොවීන්ට සාධාරණ මිලක් ලැබීමේ අවස්ථාව අහිමිවීම නිසාත් බොහෝ දෙනෙක් කර්මාන්තයෙන් ඉවත් වූ බවයි. ආනයනික බිත්තර වෙළඳපළට නිකුත් කිරීමෙන් තත්ත්වය තවත් දරුණු වීමට ඉඩ තිබුණු බවත් ඇති විය හැකි තත්ත්වය සලසකා ආනයනික බිත්තර බේකරිවලට පමණක් සීමා කිරීමට රජය ගත් තීරණය සුදුසු බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

කර්මාන්තයෙන් ඉවත් වූ ඇතැම් ගොවීන් නැවත නව කිකිළියන් සඳහා ඇනවුම් කරමින් සිටියද, නැවත ගොවිපළවලට කිකිළියන් ලබා ගැනීමට මාස කිහිපයක කාලයක් ගත වන අතර ඉන් අනතුරුවත් බිත්තර නිෂ්පාදනය කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇත. ''දැන් ආර්ථික තත්වයේ ස්ථාවර බවක් පේන්න තිබෙනවා, ඒ නිසා සමහර ගොවීන් දැන් පැටව් ගන්නවා, නමුත් ඒ බිත්තර වෙළඳපොළේ නැහැ. ගොවියෙක් මුල ඉඳල පටන් ගන්නවා කියන්නේ, බිත්තර නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ අවුරුද්දකට කිට්ටුයි කාලයක් ගියාට පස්සේ. ඒ නිසා ඔවුන්ගේ බිත්තර වෙළඳපළට බිත්තර එන්න තවත් අවුරුද්දක් යයි'' අනුරුද්ධ මහතා පැවසීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් පැනවූ ආර්ථික සීමා නිසා සත්ත්ව ආහාර මිල විශාල වශයෙන් ඉහළ ගියේය. ඊට අමතරව රුසියානු සහ යුක්රේන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපලේ බඩඉරිඟු හිඟයක් මතුවීම නිසාත් සත්ත්ව ආහාර මිල කිහිප ගුණයකින් වැඩි විය. කෙසේ නමුත් මේ වනවිට එම තත්වය තරමක් දුරට නිරාකරණය වී සත්ත්ව ආහාර මිල සහ සත්ත්ව බෙහෙත් මිල දැරිය හැකි මිලක පවතින බවට බිත්තර ගොවි සංගම් පවසයි. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා දේශයට කියා සිටියේ ඉකුත් කාලයේ ගැටලු ගණනාවක් පැවතියත් මේ වනවිට ඒවා විසඳී ඇති බවයි.

මෑතකාලීන සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ මෙරට බිත්තර නිෂ්පාදනය 30% කින් අඩු වී ඇති බවයි. 2019 වසරේ පළමු මාස පහට සාපේක්ෂව 50%කින් පමණ බිත්තර නිෂ්පාදනය පහත වැටී ඇත. ඒ අනුව ඉකුත් ජනවාරි සිට මේ දක්වා කාලයේ සිදු වූ නිෂ්පාදනය 2000න් පසු සිදු වූ වාර්තාගත පහළම අගයයි.

නගරබදව ජීවත්වන පාරිභෝගිකයන්ට බිත්තර අර්බුදය තදින්ම දැනුණත් ග්‍රාමීයව බිත්තර සපයුම් විකල්ප යාන්ත්‍රණ ශක්තිමත් වෙමින් තිබේ. පවතින තත්වය හේතුවෙන් ගම් කිකිලියන් ඇති කිරීම ආර්ථිකමය වශයෙන් ලාභදායි කටයුත්තක් බැවින් ග්‍රාමීය ගෘහණියෝ ගම් කිකිලින් ඇති කිරීමට පෙළඹී සිටිති. එනිසා ගම් බිත්තර නිෂ්පාදනය වැඩි වී ඇති අතර ගම් කිකිලි බිත්තරයක් රුපියල් 50කට අලෙවි වේ. මේ අතර බිත්තර ඉල්ලුම කළමනාකරණය කිරීමට බේකරි නිෂ්පාදන සඳහා පමණක් බිත්තර ආනයන කිරීම රජය පියවර ගෙන තිබේ.

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ජයවර්ධන මහතා දේශයට ප්‍රකාශ කළේ “බිත්තරයක් 50යි. 50ට තියෙන්නෙත් බේකරිවලට ගන්න විතරයි. සිල්ලර කඩවල කොහෙවත් බිත්තර හොයාගන්න නෑ. රටින් ගේන බිත්තර සිල්ලර කඩවලට දෙන්න තහනම්නේ. ඒක විසඳෙනවා නම් බිත්තර ප්‍රශ්නය ඉවර වෙයි. ආනයනික බිත්තර කූලිං කරන්න ඕන. හැමෝම ඒ වැඩේ කරන්නෙ නෑනෙ. එළියෙ නිකං තියාගන්න පුළුවන් දවස් 04ක් විතරයි.*

ආනයනික බිත්තර බේකරිවලට පමණක් සීමා කළත් මාතර - වල්ගම ප්‍රදේශයේ වෙළඳසලක් තුළ අලෙවියට තිබියදී බිත්තර 2000ක් සොයාගෙන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කළේය. කුරුළු උණ වෛරසය මෙරටට ඇතුලුවීම වැළැක්වීමේ අරමුණින් රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව විසින් ආනයනයනික බිත්තර සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසල් තුළ අලෙවියට අවසර ලබා නොදීමට තිරණය කර තිබේ.

I සටහන: සකීෆ් සාම්