2023 මැයි 21 වන ඉරිදා

කැපුවත් නැගිටින කැපි කැපී දලුලන නිල්ගල මහකැලේ

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 75

බිබිලට නුදුරින් පිහිටි නිල්ගල රක්ෂිත වනාන්තරය වඩාත් ප්‍රකට අරළු, බුළු, නෙල්ලි ගස් පිරුණු ඔසු උයනක් ලෙසයි. එය බුද්ධදාස රජුගේ ඔසු උයන බව පළාතේ පැතිර ඇති ජනප්‍රවාදවල සඳහන්ය. මාර්තු - අප්‍රේල් මාසවල මේ වනාන්තරයේ අරළු ගස්වල ගෙඩි හටගන්නා කාලයයි. වනයේ අරළු ගෙඩි එකතු කර නගරයෙන් පැමිණෙන වෙළෙඳුන්ට විකුණා ජීවිකාව ගෙන යන ගැමි පවුල්  2500ක් පමණ අවට ගම්මානවල සහ රතුගල වැදි ගම්මානයේ දිවි ගෙවති. නිල්ගල වනයට මායිම්ව තිබෙන බිබිල - මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් වන නිල්ගල, රතුගල, බුළුපිටිය, පිටකුඹුර, කරාඩුගල, ගල්ගමුව, නෙල්ලියද්ද, පිටගල, හඳගල, අතරගල්ල, පේරන, පේරලන්ද, කොටබෝව, බැදියාව යන ගම්මානවල ගැමියන්ගේ මේ දිනවල ප්‍රධානතම ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත්තේ අරළු ගෙඩි කඩා විකිණීමයි. මේ නිසා නගරයේ සිට වෙළෙන්දන් ද වනගත ගම්මානවලට පැමිණ අරළු එකතු කිරීම දක්නට ලැබේ. ගැමියන් පවසන්නේ මහ වනයේ දින ගණන් ඇවිදිමින් එකතු කර ගන්නා අරළුවලින්ද ගැමියන් සුරාකෑමට අතරමැදියන් කටයුතු කරන බවයි.

අතරමැදි වෙළෙඳුන් නිල්ගල ප්‍රදේශයෙන් වියළි අරළු පොතු කිලෝවක් රුපියල් 300කට වැනි මිලකට ලබාගන්නා අතර නාගරික ප්‍රදේශවලට ගෙන ගොස් අලෙවි කරන්නේ රුපියල් 2500-3000ක් වැනි ඉහළ මුදලකට විකුණන බව පැවසේ. නිල්ගල වනයේ පිහිටි වැදි ගම්මානයක් වන රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ පවසන්නේ, අරළු කැඩීමට වනයට ගොස් අපි දින ගණන් ගල් ගුහාවල රාත්‍රී ගත කරමින් දුක් වින්ඳත්  වියළි අරළු පොතු කිලෝව රුපියල් 250ක් වැනි මුදලකට පවා ලබාගැනීමට අතරමැදියන් කටයුතු කරන බවයි. සතියක් කැලේ ගිහින් එකතු කර ගන්නා අරළු විකුණා හාල් කිලෝ 10ක්වත් ගැනීමට සමහර අවස්ථාවලදී නොහැකි බව බව වැදි නායකයා පවසයි.   

නිල්ගල වනාන්තරය යනු ඌව පළාතේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති විශාලතම සහ වැදගත්ම වනාන්තරයකි. එබැවින්ම එය නිරන්තරයෙන්ම මිනිසුන්ගේ හානි කිරීම්වලට සහ පොරෝ පහරට බඳුන්වන්නකි. නිල්ගල නැ‌ඟෙනහිර කොටස වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වන අතර එම භූමි ප්‍රමාණය හෙක්ටයාර 9000ක් පමණ වේ. එම කොටස ගල්ඔය ජාතික උද්‍යානයට අයත්ය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ හෙක්ටයාර 13000ක් පමණ පාලනය වේ. සම්පූර්ණ නිල්ගල වනාන්තරය ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයටත්, නැ‌ඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයටත් අයත් වේ. නිල්ගල වනය මඩුල්ල, මැදගම, බිබිල, ඉඟිනියාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත්ය. මේ වනාන්තරයට පිවිසිය හැකි ප්‍රධාන මාර්ග දෙකකි. එකක් බිබිල-අම්පාර මාර්ගයේ බුළුපිටියෙන් හැරී නිල්ගල දක්වා ගමන් කිරීමයි. එමෙන්ම මොණරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ වඩිනාගල (17 කණුව) ඉඟිනියාගල මාර්ගය ඔස්සේ ද නිල්ගලට පැමිණීමට පුළුවන. 

මේ වටිනා වනබිම පසුගිය කාලය පුරාම විවිධ කෙණෙහිලිකම්වලට ගොදුරු විය. 2014 වර්ෂයේ නිල්ගල වනාන්තරයේ වටිනා රෑස්ස ගස් බිබිලේ දේශපාලන ප්‍රබලයන්ගෙන් අනුග්‍රහය ලබන දැව ජාවාරම්කරුවන්ගෙන් බේරාගැනීමට පරිසර සංවිධාන සහ ප්‍රදේශවාසීහු උත්සාහ කළහ. එම උත්සාහයන් නිෂ්ඵල වූ පසුව 2014 වර්ෂයේ ජනවාරි 11 වැනි දින නිල්ගල වනාන්තරයේ අක්කර අනූව හා දිඹුල්දෙන ගම්මාන ආශ‍්‍රිතව පළමු වරට ගස් පැවිදි කිරීමේ විශාල පිංකමක් සිදු කෙරිණි. පරිසර සංවිධානවල සහ ගම්වැසියන්ගේ මූලිකත්වයෙන් සිදු කරන ලද මෙම පැවිදි කිරීමේ වැඩසටහනට අවට  විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලාගේ සහාය ද හිමිවිය. 

1990 දී අන්නාසි වගා ව්‍යාපෘතියක් වෙනුවෙන්ද, 2007 දී උක් වගා ව්‍යාපෘතියක් වෙනුවෙන්ද, ඉන්පසුව බඩඉරිඟු වගාව වෙනුවෙන්ද වරින් වර ඉඩම් කොල්ලයට වනාන්තරය ලක්විය. මේ සෑම අවස්ථාවකම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා සපිරීමට වනය වැනසුණු අතර නිල්ගල අවට ගම්වාසීන්ගේ හෝ අයිතිවාසිකම් හෝ අවශ්‍යතා ගැන සැලකිමක් සිදු නොවීය.  

මෑතකදී වනාන්තරය තුළ අක්කර ගණනක නීතිවිරෝධී ලෙස බඩඉරිඟු වගා සිදු කළ බවද වාර්තා විය. නීතිවිරෝධී වගාකරුවෝ රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම් හෙක්ටයාර 200කට අධික ප‍්‍රමාණයක කැලෑ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බව වාර්තා වේ. නිල්ගල වනාන්තරයට යාබදව පිහිටි කොටබෝව ප‍්‍රදේශය නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වැඩිම බලපෑමට ලක්වන ග‍්‍රාම නිලධාරී වසමක් වේ. 

ඔවුන්ට නෙරපීම් නියෝග නිකුත් කර තිබුණද කිසිවකු වනය හැර ගොස් නොමැති බවයි; පැවසුණේ. එසේ වගාවලට වනය වැනසීමට අමතරව කුඩුම්බේරිය හෙවත් බීඩි කොළ ලබාගැනීම සඳහා කැලෑ ගිනි තැබීම, ඖෂධීය ගස්වල අතු කපා දැමීම, ඖෂධ පැළෑටි ජාවාරම නිල්ගල වනාන්තරය තුළ සිදුවන සුලබ විනාශකාරී කටයුතු වේ.  මෑතකදී මෙහි අනවසරයෙන් මැණික් ගැරීම සිදුවන බවද අසන්නට ලැබුණි. 

නිල්ගල වනාන්තරය වැදගත් ජල රක්ෂිතයකි. සේනානායක සමුද්‍රයට ජලය සපයන ගල්ඔයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස මේ වනය ක‍්‍රියා කරයි.  

තැන තැන කඳුගැට, පර්වත, දිය පොකුණු, නිම්න, බෑවුම්වලින් සමන්විත සුන්දර දර්ශනයක් මේ වනය මවා පායි. නිල්ගල වනාන්තරය සවානා වනාන්තරයකි. එහි යටි රෝපණය ඝන නොවන නිසා උද්‍යානයක් මෙන් ඈතට අලංකාරය දිස්වේ. පහත් බිම් සවානා වනාන්තර දර්ශය ඌව කලාපයට පමණක් ආවේණික වේ. අරළු, බුළු, නෙල්ලි, ගම්මාලු වැනි ශාක තැනින් තැන පිහිටා ඇති මේ වනාන්තරවල යටි ස්ථරය තෘණ ශාකවලින් වැසී පවතින්නේ අලංකාර හරිත තණ බිස්සක් පරිදිය. 

නිල්ගල වනාන්තර පද්ධතියට පමණක් සීමා වූ මෑතකදී ලොවට හඳුන්වා දුන් උරග විශේෂ දෙකක් වන්නේ නිල්ගල දිවාසැරි හූනා (Cnemaspis nilgala) හා නිල්ගල මහ කැලෑ හූනා (Cyrtodactylus vadda) ය.

නිල්ගල අවට වනාන්තරවල පමණක් දැකිය හැකි පඳුරු වටුවා, පතන් කුකුළා සහ කහ පා බටගොයා නම් ලංකාවට ආවේණික උප විශේෂ තුන 2012 IUCN රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස පාත්‍ර වූ විශේෂ වේ. ළා කොළ කෑරලා ද මේ සවානා බිම් ආශ්‍රිතව දිවිගෙවන දුලබ පක්ෂි විශේෂයකි. නිල්ගලටම සීමා වූ ආවේණික සමනලයකු හඳුනා ගැනීම ද පසුගිය කාලයේ සිදුවිය. කුඩුම්බේරිය ශාකය මත මේ සමනලයා යැපෙන බව හඳුනාගෙන ඇත. Baronnet Symphaedra nais නමින් ඌ  හඳුන්වයි.    

ගල්ඔය, රඹකන් ඔය, දහමල් ඔය, තම්මැඩිල්ල ඔය, දික්ඔය, බඹර කඳුර මේ වනයෙන් පෝෂණය ලබන ජල මාර්ග වේ. යහන්ගල කන්ද, දානිගල, යකුන්නා හෙළ, කහට අතු හෙළ, මාකඩකන්ද කඳුගැට අතර කැපී පෙනෙන්නේ නිල්ගල කන්දයි. මේ වනය අලංකාර කරන උඩවැඩියා විශේෂයක් වූ ගුරුළුරාජ මල් බිබිල අවට පැතිර තිබෙන පුෂ්ප වර්ගයකි. මෙය සත්ත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත ශාකයකි. ඌව පළාත් නිල පුෂ්පය ලෙස ද ගුරුළු රාජ මල නම් කර ඇත. වනයේ ගල් ගුහා රාශියක් ද පිහිටි අතර ඒවා අතීතයේ වැද්දන්ගේ නිවාස විය. ඊටත් පෙර භාවනානුයෝගී භික්ෂුන් වාසය කළ බවට සාධක ලෙන්වල කටාරම්වලින් හෙළි වේ. මෙහි පුරාවිද්‍යා නටබුන් කිහිපයක් ද පැතිර තිබෙන අතර ඒවායේ කැණීම් කිසිවක් තවම සිදුව නැත.   

♦ කුසුම්සිරි විජයවර්ධන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00