2023 මැයි 21 වන ඉරිදා

නාවික හමුදා ඉතිහාසය අලුතෙන් ලියන නාවික සෙබළියෝ

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 180

රට වටා සාගරය පුරාම මෙතෙක් සිය අණසක පතුරමින් රාජකාරි කළ පිරිමි නාවිකයන්ට දැන් අලුත් හයියක් එකතු වී තිබේ. ඔවුන් හා උරෙන් උර ගැටී දියඹ රකින්නට ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභ්‍යන්තර වෙරළබඩ යාත්‍රා හැසිරවීමට කාන්තා නාවික ඛණ්ඩයක් එකතුව සිටිති. මෙරට නාවික හමුදා ඉතිහාසය රනින් ලියවන්නට සමත් පළමු නෞකා හා යාත්‍රා පදවන පිරිසේ සෙබළියන් හත් දෙනෙකි.

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවිකයන්ට මුහුදු රාජකාරි සඳහා අවස්ථාව සලසා දෙමින් ඒ සඳහා ඉඩකඩ ලබා දී තිබුණේ ඉකුත් 2022 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ අනුව කාන්තා නාවිකයන්ට මුහුදු රාජකාරි සඳහා ඉඩහසර ලබා දෙමින් කාන්තා නිලධාරින් දෙදෙනෙක් සහ කාන්තා නාවිකයන් පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායම පසුගිය මැයි 11 වැනිදා මුහුදු රාජකාරි සඳහා යොදවනු ලැබූහ. එම නිලධාරින් දෙදෙනා ඇතුළු කාන්තා නාවිකයන් පස්දෙනාගෙන් සැදුම්ලත් කණ්ඩායම ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත රාජකාරි සඳහා අනුයුක්ත කෙරිණ. නාවික හමුදාව තුළ මෙතෙක් පිරිමි නාවික පුද්ගලයන්ට පමණක් සීමා කර තිබූ නෞකා හා යාත්‍රාවල රාජකාරි කිරීම වෙනුවට කාන්තාවන්ටද අවස්ථාව ලබා දීමට නාවික හමුදාව විශේෂ තීරණයක් ගෙන තිබුණේ ඉකුත් වසරේදීය.

මේ අනුව තෝරාගත් පිරිසට වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව හැදෑරීම සඳහා අවස්ථාව සලසා තිබිණ. එම පාඨමාලාව යටතේ මූලික ජල තරණය, නාවික ශිල්පය, ගිනි නිවීම, පණිවුඩ හුවමාරුව, සංග්‍රාමික ප්‍රථමාධාර හා නෞකා හා යාත්‍රාවන්ගේ විදුලි හා විද්‍යුත් පද්ධතිය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබාදුන් බවත් එම පුහුණු ක්‍රියාකාරකම් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී හා නාවික තටාංකාංගණයේදී සිදු කළ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය. කලාපීය නාවික හමුදා හා ලෝකයේ වෙනත් රටවල නාවික හමුදාවලද කාන්තා නාවික පිරිස් ‍නෞකා හා යාත්‍රාවල මෙහෙයුම් කටයුතු සිදු කරති. එවැනි අයගේ රාජකාරිය ඉතාමත් ඵලදායී ලෙස සිදුකෙරෙන බව වාර්තා වේ. මේ අයුරින් ඉදිරියේදී නාවික කාන්තා නිලධාරින් හා කාන්තා නාවිකයන් මෙරට මුහුදු රාජකාරින් සඳහා යෙදවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අපේක්ෂා කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නාවිකයන් සුපුරුදු ගොඩබිම රාජකාරි සිදු කරමින් සිටියදී හඳුන්වා දුන් අභ්‍යන්තර වෙරළබඩ යාත්‍රා හැසිරවීමේ පාඨමාලාව ආරම්භ කොට තිබුණේ ඉකුත් වසරේ නොවැම්බර් 8 වැනිදාය. විෂයන් කිහිපයක් ආශ්‍රිතව ලිඛිත පරීක්ෂණයකින් අනතුරුව තෝරාගත් පිරිසට ප්‍රායෝගික හා ලිඛිත දැනුම ලබාදීම සිදු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හා සාගරික විද්‍යා පීඨයේ අභ්‍යන්තර වෙරළබඩ යාත්‍රා හැසිරවීමේ පාඨමාලාව මාසයකට වැඩි කාලයක් පවත්වා තිබුණි. අනතුරුව රුකියා මත පුහුණුව ලබාදීම සඳහා යාත්‍රාවල ප්‍රායෝගික රාජකාරි පුහුණුව තවත් මාසයක් පුරා ලබා දීමට කටයුතු කෙරිණ. මෙහිදී අදාළ යාත්‍රාවල හා නෞකාවලදී අවශ්‍ය නාවික දැනුම, සංඥා දැනුම, සන්නිවේදන, ආපදා තත්ත්වයන්ට මුහුණදීම, ප්‍රථමාධාර නෞකාවේ උපාංග හා අවි ආයුධ වැනි සියලු අංශවල පුහුණුව ලබා දී ඇත. එමෙන්ම පිටත වරාය තුළ රාජකාරි සිදු කිරීම සම්බන්ධයෙන්ද මනා පුහුණුවක් ලබා දීමට කටයුතු කර තිබේ.

මෙහිදී කාන්තා නාවිකයන් සඳහා ප්‍රධාන වශයෙන් පැවරී ඇත්තේ ධීවර කටයුතු සඳහා මුහුදට යන ධීවර යාත්‍රාවල බලපත්‍ර දැල් වර්ග නීතිවිරෝධී ලෙස භාවිත කරන්නේද සොයා බැලීම හා ඊට එරෙහිව පියවර ගැනීමය. එසේම ජල තරණයේදී ඇති නීතිමය තත්ත්වය මුහුදේ පවතින දියවැල්, ගල්පර, මුහුදු රුලි ස්වභාවය වැනි දෑ පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දී තිබේ.

සෑම තත්ත්පරයකම ගැස්සෙමින් පැද්දෙමින් මහ මුහුදේ අව් වැසි නොතකා ලැබූ පුහුණුවේ පන්නරය මත මෙම කාන්තා නිලධාරින් හා නාවිකයන් පිරිස දැන් නාවික නෞකා ගජබාහු වෙත අනුයුක්තව සේවය කරති. ඒ අනුව නුදුරු දිනෙක පිරිස රුගත් යාත්‍රාවක් ඉන්දියාව බලා සංචාරය කිරීමට නියමිත බවත් එය ඔවුන්ගේ පළමු හා දීර්ඝ මුහුදු සංචාරය වනු ඇති බවත් නාවික හමුදාව පවසයි.

විශේෂ ස්තුතිය
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතාට

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර