2023 මැයි 14 වන ඉරිදා

කොටස් වෙළෙඳපොළ කැළඹූ නෙස්ලේ ඉවතට යාම

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 89

කොළඹ කොටස් වෙළෙඳපොළ නොඑසේනම් ව්‍යාපාර වස්තු හුවමාරුව වෙනස් ආයෝජනවලට උනන්දුවක් දක්වන පාර්ශ්වවලට ඇති කදිම ස්ථානයකි. ලැයිස්තුගත සමාගම්වල කොටස් ප‍්‍රාථමික නිකුතුවේදී මිල දී ගත හැකි අතර පසුව කොටස් හුවමාරුවට ඇතුළු කළ පසු ඉල්ලුම අනුව ලැබෙන මිලට මිල දී ගැනීමට අවස්ථාව ලැබේ. ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කාර්යභාරයේදී කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන ව්‍යවසායකයකුට සම්පූර්ණ ධනය තමන්ම යෙදීම වෙනුවට කොටස්කරුවන් කැඳවිය හැකිය. විනිමය හා සුරුකුම් කොමිසමේ නියමයන්ට අනුකූලව කොටස් නිකුත් කළ හැකි වේ. එය ව්‍යාපාරයක් ආරම්භ කරන්නට හෝ පුළුල් කරන්නට ප‍්‍රාග්ධනය සොයාගත හැකි ක‍්‍රමයකි.

මෑත කාලය තුළ කොටස් වෙළෙඳාම තියුණු ස්වභාවයක් ගත්තේ නැත. විශේෂයෙන් කොවිඩ් වසංගත කාලය තුළ ලොක්ඩවුන් හා ආර්ථික අවපාත මැද ලෝකයේ සෑම තැනකම කොටස් වෙළෙඳපොළ අභියෝගවලට මුහුණ පෑවේය. කොළඹ කොටස් වෙළෙඳාම එහිදී තවත් අසීරුතාවයකට පත් වූ බව නොරහසකි. පසුගිය වසරේ සිදුවූ ආර්ථික සංකෝචනය එනම් ඍණ අගයකට පත්වීම මෙහිදී විශේෂයෙන් බලපෑවේය.  2023 වසර තුළ පවා ආර්ථිකය ඍණ අගයක පවතින බව දැනට පුරෝකථනය වී ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත වී සිටි නෙස්ලේ සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වෙන්නට තීරණය කර ඇත. එය ආන්දෝලනයකට ලක් වූ කරුණකි.

• නෙස්ලේ කොටස් හිමියන්ට වෙන දේ

විනිමය හා සුරුකුම් නීතිය යටතේ ලැයිස්තුගත සමාගම් අතරින් ඕනෑම ආයතනයකට තවත් කොටස් විකිණීමකට හෝ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමකට බාධාවක් නැත. කෙසේ නමුත් කොටස් හිමි පාර්ශ්වයන්ට අගතියක් අවාසියක් නොවන පරිදි තීරණ ගත යුතුව තිබේ. නෙස්ලේ සමාගම 1983 දී කොටස් වෙළෙඳපොළට ඇතුළු වී සුළු හා ආයතනික ගනුදෙනුකරුවන්ට කොටස් විකිණූ ආයතනයකි. පසුගියදා ප‍්‍රකාශයට පත් කරන ලද පරිදි තවදුරටත් කොටස් වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය මත යැපෙන්නට නෙස්ලේ සමාගම සූදානම් නැත.

කොටස් හිමියන්ට තම කොටස් නෙස්ලේ සමාගමට පැවරිය හැකි අතර පවරන කොටසකට රු. එක්දහස් පන්සියය බැගින් ගෙවන්නට සමාගම එකඟ වී සිටී. විනිමය සුරුකුම් කොමිසමේ විධිවිධානවලට අනුව සමාගමකට තමන්ගේ කොටස් යළි අත්පත් කර ගැනීමේදී නියම කරන මිලක් හා දිනයක් ප‍්‍රකාශයට පත් කළ හැක. එම දිනයට කලින් තීරණයක් නොගැනීමෙන් අවාසියක් අත් වේ. තීරණයක් ගත නොහැකි සීමාවක වාසය කරන පුද්ගලයකුට ඇටෝර්නි බලපත‍්‍රයක් මගින් හෝ කරුණු ඉදිරිපත් කළ හැකිය. 

කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වන බව ප‍්‍රකාශ කරන අවස්ථාව වනවිට නෙස්ලේ සමාගමේ කොටසක් හුවමාරු වෙමින් පැවැති මිල රු. 1,120.00 ක් බව දැක්වේ. වසරේ ලාභාංශ හෝ වෙනත් පිරිවැය සලකු පසුව නියම කර ඇති වටිනාකම නොගැලපෙන අගයක් නොවේ. 

• සංකීර්ණ කි්‍රයාවලියකින් ඉවතට ගමනක්

වාර්තා අනුව නෙස්ලේ සමාගමේ කොටස්වලින් 91.95% ක් නෙස්ලේ ලංකා සමාගමට අයත්ය. කොටස් හිමියන්ට පවරා ඇති ප‍්‍රමාණය 8.05% ක් බව දැක්වේ. වෙළෙඳපොළ වාර්තා අනුව කොටස් හිමියන් හය දහසක් දෙනා මෙම 8% ක කොටස් ප‍්‍රමාණය අත්පත් කරගෙන සිටිති. සංඛ්‍යාත්මකව සලකන පසු එය සුළු කොටසක් අතට සුළු කොටස් ප‍්‍රමාණයක් විසිරීමක් සේ සැලකේ. 

විනිමය කොමිසමේ රෙගුලාසි අනුව මාස තුනකට වතාවක් ගිණුම් ප‍්‍රකාශ මාධ්‍ය මගින් අනාවරණය කිරීම, සෑම ප‍්‍රකාශනයක්ම කොටස් හිමියන්ට යැවීම, වාර්ෂික සභාවක් කැඳවීම, සමාගමේ අලුත් ආයෝජනයක් හෝ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස්වීමකදී සුරුකුම් කොමිසමට දැනුම්දීම, අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම්වලදී කොටස් හිමියන්ගේ ඡන්දය ගණන් ගැනීම යනාදී වශයෙන් කරුණු විශාල ප‍්‍රමාණයක් ආවරණය කළ යුතු වේ. දස දහස් සංඛ්‍යාත කොටස් හිමියන් සහිත සමාගමේ කොටස්වලින් 49% ක් පමණ විසුරුවන ලද ආයතනයකට මෙම පැති කෙරෙහි සැලකිල්ලක් දැක්විය හැකිය. හය දහසක් දෙනා වෙනුවෙන් ජාතික මට්ටමින් දැනුවත් කිරීමක් හෝ වාර්ෂික සභා කැඳවීම විශාල පිරිවැයක් දරන්නට සිදුවන කාර්යයකි. ඒ සඳහා කාර්ය මණ්ඩලයට නිතර යෙදවෙන්නට සිදුවේ. තොරතුරු තාක්ෂණික යුගයක හා පිරිවැය කළමනාකරණය කරන අවකාශය තුළ එය ලාභදායක නැති බව නෙස්ලේ සමාගම වටහාගෙන ඇති බව සැකයක් නැත.

වසර 114 ක කාලයක් ශ‍්‍රී ලංකාවේ සත්ත්ව පාලන හා කිරි ආහාර නිෂ්පාදනයෙහි නිරත සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වන නමුත් ශ‍්‍රී ලංකාවේ ආයෝජන අත්හරින බවක් දක්වා නැත. තවත් අංශ ගණනාවක ආයෝජන සඳහා සූදානමක් පවතී. කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වන නමුත් ඔවුන්ගේ ව්‍යාපාර කෙරෙහි වඩා අවධානය යොමු කර තවදුරටත් ව්‍යාප්ත කරන බව නෙස්ලේ සමාගම ප‍්‍රකාශයට පත් කර ඇත. එම කරුණ ඉතාම වැදගත්ය. මෙම සමාගම 1866-1890 කාලයේ ස්විට්සර්ලන්තයේ ආරම්භ වූ අතර පසුව ඇමෙරිකාව හා යුරෝපය පුරා විහිදී ව්‍යාප්ත විය. ශ‍්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කටයුතුවලටද සම්බන්ධ වී කිරි ගොවියන් සමඟ එකතු වී කටයුතු කරමින් සිටී. සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීම ඔවුන්ගේ ආයතනික කටයුත්තක් වන අතර රටට ඇති ආයෝජන ඉවත් කර නොගැනීම හා තවදුරටත් ව්‍යාප්ත කරන බව දැක්වීම ආර්ථික පුනර්ජීවනය ඉදිරියේ ඉතාම වැදගත්ය.

• නොදන්වාම අහෝසි වන ලැයිස්තුගත සමාගම්

කොටස් වෙළෙඳපොළ ඉතිහාසය තුළ නෙස්ලේ හා සමානව තවත් සමාගම් ගණනාවක් ඉවත්ව ඇත. වාර්තා අනුව සමාගම් එකසිය හයක් ඉවත්ව ගොස් තිබේ. කොකා කෝලා, මිලර්ස්, සිලෝන් ඔක්සිජන්, ඇසෝසියේටඩ් හොටෙල් ඇතුළු ආයතන ඒ අතර තිබේ. කොටස් හිමියන්ට කරුණු දක්වා නිසි ආකාරයට ඉවත්ව යන ක‍්‍රමය අගය කළ යුතුය. ඇතැම් ආයොජන නොදන්වාම ඈවර කෙරේ. සෙලින්කෝ ව්‍යාපාරයට අයත්ව තිබුණු ව්‍යාපාර බිඳවැටීමෙන් පසු අත්වූ ඉරණම එයට සමාන තත්ත්වයකි. වනික් ඉන්කෝපරේෂන්, ටච්වුඩ් වැනි ආයතන බංකොලොත් බව ප‍්‍රකාශ කරන ලද අතර කොටස් හිමිකරුවන්ට කිසිම අයිතිවාසිකමක් ලැබුණේ නැත. කොටස් වෙළෙඳාමට සාමාන්‍ය ජනතාව පොළඹවන විනිමය හා සුරුකුම්පත් කොමිසම අහෝසි වී යන කොටස්වලදී ජනතාවට අහිමි වන ධනය ගැන නොතැකීම වරදකි. 

වාණිජ බැංකුවලට තැන්පත් රක්ෂණයක් හඳුන්වා දෙන්නට මහ බැංකුව සමත් විය. කිසියම් අවිනිශ්චිත අවස්ථාවක තැන්පත්කරුවන්ගේ රුපියල් ලක්ෂ දොළහක් දක්වා රක්ෂණයකට යටත් කර ඇත. කොටස් හිමියන්ට ද එවැනි පියවරක් හඳුන්වා දීම සුදුසුය.

සමාගම් 289 ක රු. 3,953.53 ක මුදලක් ආයෝජනය කර ඇත. මෙම ධනය තුළ සුළු ආයෝජකයන්ගේ වත්කම් ඇත. සාමාන්‍ය ජනතාව මිල දී ගන්නා කොටස්වලින් ආදායමක් හෝ සුරක්ෂිතභාවයක් අපේක්ෂා කෙරේ. එම ආරක්ෂාව නොලැබෙන පසු මහජනතාව කොටස් මිල දී ගැනීම ගැන උනන්දුවක් දක්වන්නේ නැත. ප‍්‍රතිපත්ති සම්පාදකයන් මෙම කරුණ ගැන විශේෂ අවධානය යොමු කිරීම අවශ්‍ය කෙරේ.

• කොටස් මිල දී ගැනීම වළක්වන වැඩි පොලිය

මෑත භාගය තුළ කොටස් වෙළෙඳපොළ යුහුසුළු වීම සීමා වී තිබේ. තරගකාරීත්වය අඩුය. සති කිහිපයකට කලින් සිට පෙරවරු 9 - පස්වරු 2.30 දක්වා ගනුදෙනු කාලය දීර්ඝ කර තිබේ. කොවිඩ් අවදානම පැවැති කාලයේදී ඇතැම් දිනවල පැයක් දෙකක් පමණක් ගනුදෙනු සිදුවූ අතර දෛනික කටයුතු සලකා බලා වහාම වෙළෙඳාම නතර කරන්නට ද සිදුවූ අවස්ථා බහුලය.

පවතින මූල්‍ය පරිසරය කොටස් වෙළෙඳාම අඩු උනන්දුවක පවතින්නට බලපා ඇති ප‍්‍රබල හේතුවකි. කොටස් හිමි සමාගම් ආර්ථික දුෂ්කරතා ඉදිරියේ අඩු ක‍්‍රියාකාරීත්වයක සුළු ලාභ සහිතව පවත්වාගෙන යන අතර වාණිජ බැංකුවල ස්ථිර තැන්පත් සඳහා වාර්ෂික පොලිය 20% ඉක්මවා ඇත. මෙම ඉහළ පොලී අනුපාත අවදානමක් රහිත සුරක්ෂිත ආයෝජනයක් සේ සලකන්නට ජනතාව හුරු වී සිටිති. තමන්ගේ මුදල් කොටස් වෙළෙඳපොළට යොදවා දීර්ඝ කාලයක් බලා සිටින අතර එයට ලැබෙන ප‍්‍රතිලාභ සීමිත අවස්ථාවක තරගකාරීත්වය ඇති නොවේ. අලස හා අඩු ඉල්ලුමක් පවතින පසුබිම තුළ තමන්ගේ කොටස් විකුණා එම මුදල් බැංකුවක තැන්පත් කිරීම හෝ ඉඩම් මිල දී ගැනීම බහුලව සිදුවන බව පෙනේ.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ප‍්‍රාග්ධන පහසුකම් ලබාගැනීමේ අවකාශය ඉතා වැදගත්ය. අඩු පොලියකට වාණිජ බැංකුවලින් ණය ලබාගත හැකි විය යුතුය. දෙවැනි පියවරක් වශයෙන් කොටස් නිකුතුවක් මගින් අතිරේක ප‍්‍රාග්ධනය සොයාගන්නට අවකාශය සකස් කරන්නට අවශ්‍යය. මෙම මාර්ග දෙකම අවහිර වී ඇති කාලයක ආයෝජකයන් තමන්ගේ සියලුම වත්කම් යොදවා අලුත් කර්මාන්තයක් හෝ වයාපාරයක් ආරම්භ කරන්නේ නැත. මෙම පැති ගැන සැලකිල්ලක් යොමු කිරීම අද දවසේ අවශ්‍යතාවයකි.

♦ සාරා කන්දෙගොඩ