2023 මැයි 14 වන ඉරිදා

කුකුළු මුදලාලිලා කඩු කිනිසිවලින් මිල පාලනයේ

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 116

රුපියල් 12 – 14 ට පැවැති බිත්තරයක් අද රුපියල් 50 – 60 ඉක්මවා තිබේ. ඒ තරමට මිල ඉහළ ගියත් අද මුදල් ගෙවා හෝ ගන්නට බිත්තර නැති ගාණය. මේ බිත්තර ගැටලුවට දැන් වසරකට ආසන්න කාලයක් ගෙවී ඇතත් විසඳුමක් පෙනෙන්නට නැත.

මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදිය යුතුව තිබියදී ආණ්ඩුව පාර්ශ්වයෙන් වෙළෙඳ ඇමැතිවරයාත් සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් විවිධ කරුණු කියමින් සිටිති. ඒ අතර කුකුළු ගොවිපළ හිමියන්, බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් හා ව්‍යාපාරිකයෝ මැසිවිලි නගති. වගකිවයුතු අංශ හා පාර්ශ්වකරුවන් එසේ හැසිරෙන අතරතුර තොරතුරක් ලැබී ඇත්තේ නාරම්මල බිහල්පොළ ප්‍රදේශයේ කුකුළු ගොවිපළක මහා පරිමාණයෙන් බිත්තර තොග සඟවා තිබෙන බවය.

කුරුණෑගල දිසාපති ආර්.එම්.ආර්. රත්නායක මහතාට වාර්තා වූ තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ ඒ මහතා තොරතුර සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශයට අනුයුක්ත කුරුණෑගල ශාඛාවේ නිලධාරීන් දැනුම්වත් කරන්නට පියවර ගෙන තිබිණි. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් 2003 අංක 09 දරන පාරිභෝගික අධිකාරිය පනත 58 වගන්තිය ප්‍රකාරව කඩිනම් වැටලීමකට සූදානමින් ඇත්තේ වෙළෙඳ ආයතනයක්, වෙළෙඳ පරිශ්‍රයක් හෝ නිෂ්පාදන ආයතනයක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් රහිතව කටයුතු කිරීමට බලය ලැබී ඇති බැවිනි.

මෙහිදී පාරිභෝගික සේවා අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරිහු 8 දෙනකුගෙන් සැදුම්ලත් පිරිසක් වැටලීම සඳහා නාරම්මල බිහල්පොළ ප්‍රදේශයේ පිහිටි කුකුළු ගොවිපළක් වෙත ගොස් තිබිණ. එහි රුඳී සිටි සේවකයන් හමුවේ තමුන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් බව පවසා කාර්යාල හා ගබඩා පරිශ්‍රය පරීක්ෂා කිරීමට අවැසි බව දන්වා ඇතැයි පැවසේ. එහෙත් එම ආයතනයේ රුඳී සිටි පිරිස ප්‍රකාශ කොට තිබුණේ එම ස්ථානය පරීක්ෂා කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවය. ඒ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය විස්තර කරන නිලධාරීන් හමුවේ එතැන රැඳී සිටි පාලනාධිකාරියට සම්බන්ධ පිරිස් ගැටුමකට අරඇද ඇතැයි කියති. 

ඒ අතර පුද්ගලයකු පරුෂ වචනයෙන් බැණ වැදී ''ඔය මන්නේ අරන් වරෙන්... උඹලා ගුටි කන්න කලින් පලයන් මෙතනින්'' කියා නිලධාරීන්ට තර්ජනය කොට ඇතැයි පැවසේ. එහිදී නිලධාරීන් දෙදෙනෙක් සිද්ධිය සිය ජංගම දුරකතනවලින් පටිගත කරන්නට කටයුතු කළහ. එහිදී කෝපයෙන් හැසිරුණු පිරිස පොලු මුගුරු හා යකඩ බටවලින් නිලධාරීන්ට ම්ලේච්ඡ ලෙස පහර දී තිබිණ. එම අවස්ථාවේ නිලධාරීන් කිහිප දෙනෙක් තුවාල ලැබූහ. ඇතැමුන්ට තැලීම් සීරීම් වැනි තුවාල සිදුව තිබිණ. ජංගම දුරකතනයකින් වීඩියෝ කළ නිලධාරියකුට පහර දී ජංගම දුරකතනයද කඩා දමා තිබුණි. ඒ අවස්ථාවේ කුකුළු ගොවිපළේ සිටි ඇතැම් අය කඩු කිනිස මන්නා ඇතුළු ආයුධ රැගෙනවිත් තිබුණේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට පහර දීමටය.

එම ප්‍රහාරයෙන් පසුව පහර කෑ නිලධාරින් සිදුවීම සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කළ අතර රජයේ නිලධාරීන්ගේ සේවයට බාධා කිරීම යන චෝදනාව යටතේ සැකකරුවන්ට එරෙහිව විමර්ශන ආරම්භ කෙරිණ. අනතුරුව සිද්ධිය පිළිබඳව කුලියාපිටිය අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගනු ලැබීය.

බිත්තර තොග සඟවා වැඩි මිලට අලෙවි කිරීමේ සූදානමක් ඇති බවට ලැබුණු තොරතුර අනුව මෙහෙයුමට දායක වූ නිලධාරීන් 8 දෙනකු පහරකෑමට ලක්වූයෙන් ඔවුන් සියලු දෙනාම කුරුණෑගල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූහ. පහරදීම සිදුව තිබුණේ පසුගිය මැයි 4 වැනිදා පස්වරු 5 ට පමණය.

වසරකට ආසන්න කාලයක සිට රටේ උද්ගතව පවතින බිත්තර හිඟය මැද ස්ථාන කිහිපයකම බිත්තර තොග සඟවා වැඩි මිලට අලෙවි කිරීමේ උත්සාහයක් පිළිබඳව වාර්තා වී තිබේ. එවැනි සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් සිදුකර තිබෙන අතර කළුතර, ගම්පහ, බදුල්ල, අම්පාර ප්‍රදේශවලදීද නිලධාරීන්ට මෙවැනි ප්‍රහාර එල්ල වී ඇතැයි කියති. එබැවින් ඉදිරි විමර්ශනවලට සම්බන්ධ වන එකී නිලධාරීන්ගේ ආරක්ෂා සම්බන්ධයෙන් ගැටලුවක් පවතී. 
සමස්ත ලංකා විමර්ශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා සිදුවීම් පිළිබඳ මෙසේ පැවසීය.‍

''පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට නාරම්මල බිහල්පොලදී මැර ප්‍රහාරයක් එල්ල වුණා. මේක සැලසුම් සහගත ප්‍රහාරයක්. මීට පෙරත් කළුතර, ගම්පහ, බදුල්ල, අම්පාර වගේ ස්ථානවලදී ප්‍රහාරයන් එල්ල වුණා. ඉදිරියේදීත් මේ ප්‍රහාර එල්ල වෙයි. ඒ නිසා විමර්ශන නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් පවතිනවා. නමුත් සිදු කරන විමර්ශන මෙහෙයුම් වැටලීම් කිසිසේත්ම නවත්වන්නේ නෑ. මේ පහරදීම පාරිභෝගික සේවා අධිකාරියේ සමස්ත ලංකා විමර්ශන නිලධාරීන්ගේ සංගමය තරයේ හෙළා දකිනවා. මේ අතරේ අපේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.'' 

ඔහු වැඩිදුරටත් පවසන්නේ ක්‍රියාත්මකව තිබෙන බිත්තර මාෆියාව තුළ මුදල් වියදම් කරමින් ඊට එරෙහිව ක්‍රියාත්මක නිලධාරීන් මැඩපැවැත්වීමේ උත්සාහයක නිරත බවය. මෙම ප්‍රහාරයට විරෝධතාව දක්වමින් ඉකුත් 8 වැනිදා පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරිහු සියලුම ක්ෂේත්‍ර රාජකාරිවලින් වැළකී සිටියහ. එම සංගමය ඉල්ලා සිටින්නේ ප්‍රහාරය සඳහා සම්බන්ධවූවන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය හමුවට පමුණුවා නිසි දඬුවම් ලබාදෙන ලෙසය.

මේ අතර ඉදිරි විමර්ශන හා මෙහෙයුම් සඳහා පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිතව ක්‍රියාත්මක වීමට අපේක්ෂා කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ ආරංචි මාර්ග වාර්තා කළේය.

දරුවකුගේ පෝෂණයට ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගත හැකි බිත්තරයක් සොයා ගැනීම දැන් අසීරු තත්ත්වයක පවතී. බිත්තර මාෆියාව ඒ තරමට ප්‍රබලය. බිත්තර නිෂ්පාදක සංගම්, කුකුළු ගොවිපළ හිමියෝ ඔවුන්ට උඩගෙඩි දෙති. ආනයනික බිත්තරයක් හමුවේ වෙළෙඳ ඇමැති හා සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හබයක පැටලී සිටින පසුබිමක වැටලීම් නිලධාරීන්ට සිදුව ඇත්තේ මැර ප්‍රහාර හමුවේ නොබියව රාජකාරි සිදු කිරීමය.

මේ වනවිට පහරදුන් පිරිසෙන් පුද්ගලයන් 4 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති. එසේ බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර ගොවිපළේ හිමිකරු ඇතුළු පුද්ගලයන් 7 දෙනෙක් වෙති. සැකකරුවෝ කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර