2023 මැයි 14 වන ඉරිදා

දරුවන්ගේ පෝෂණයට අධිපෝෂණ බිස්කට්

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 54

රට පුරා සිටින මන්දපෝෂණ අවදානම් සහිත කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ අවධානය යොමුකර තිබේ. ඇය පෙන්වා දෙන්නේ නව වැඩපිළිවෙළක් සැලසුම් කර ඒ යටතේ පෙර පාසල් දරුවන් සඳහා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් ලබාදීමට සාකච්ඡා ආරම්භ වී ඇති බවය. ඉදිරි මාසය තුළ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සූදානම් කටයුතු සිදුවෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය දේශයට සඳහන් කළාය.

''අපි වැඩපිළිවෙළක් විදියට අලුතින්ම පටන් ගන්නවා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් පෙරපාසල් දරුවන්ට ලබාදීමට. මන්චි බිස්කට් සමාගමෙන් තමයි අපිට බිස්කට් දෙන්න පොරොන්දු වුණේ. මුල් මාස කිහිපය තුළ නොමිලේ බිස්කට් ලබාදෙන්න ඔවුන් පොරොන්දු වුණා. පෙර පාසල් දරුවෝ පන්ලක්ෂ ගාණක් ඉන්න රටක අපිට හඳුනාගන්න ‍සිදුවෙලා තියෙනවා මන්දපෝෂණය කරා යොමු වෙමින් පවතින පළාත්වල දරුවෝ. ඒ ළමයිට පෝෂණ ඌණතා අවදානම ඉහළ නිසා ඒ දරුවන්ට ඉක්මණින් අධිපෝෂණ දේවල් අවශ්‍යව තිබෙනවා. මේ වැඩපිළිවෙළ යටතේ රටේම හැම පෙර පාසලකටම මේ බිස්කට් දෙන්න පුළුවන්කමක් නෑ. ඒ වගේම හඳුනාගත් ප්‍රදේශවල එක පන්තියක ඉන්න එක ළමයකුට දෙනකොට ඒ පන්තියේ හැමෝටමත් අධිපෝෂණ බිස්කට් දෙන්න වෙනවා.''

නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම නුදුරේම සිදුවන බවත් ඊට අවශ්‍ය අනුමැතිය ලබා දීමට ප්‍රගති වාර්තාවක් සම්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ලබාදෙන බිස්කට් වර්ගය නිසා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපිරෙන්නේ නම් පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇතැයි අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

“මං අපේ අමාත්‍යංශයට දැනුම් දුන්නා මේ බිස්කට්වල සම්පූර්ණ අන්තර්ගතය ගැන පූර්ණ නිර්දේශයක් අවශ්‍යයි කියලා. මොකද කවුරුත් දෙන බිස්කට් ළමයිට දෙන්න බෑනේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ගන්න, ඒ වගේම වෛද්‍යවරුන් විසිනුත් මේක නිර්දේශ කළ යුතුයි මේක දරුවන්ගේ පෝෂණයට සුදුසුයි ද කියලා. මේක දරුවන්ගේ පෝෂණයට වැදගත් කියල තහවුරු කරන්නේ නැත්තම් බිස්කට් කවන යුගයක් ඇති කරන්න අපිට කිසිම උවමනාවක් නෑ. මේ බිස්කට් වර්ගය දෙන එක ප්‍රයෝජනයක් තියෙන්න ඕන. පෝෂ්‍යදායි බිස්කට් වර්ගයක් කියල සම්පූර්ණ වෛද්‍ය ප්‍රමිතීන්ට අනුකූලව නිර්දේශ වෙන්නත් ඕන.''

අධිපෝෂණ බිස්කට් ලබාදීමේ වැඩසටහන තෝරාගත් ප්‍රදේශවලට පමණවක් ඒ පිළිබඳ ශක්‍යතා අධ්‍යයනක් සහ ප්‍රමිති පරීක්ෂණයකින් පසුව ආරම්භ වනු ඇතැයි පෙනේ. “දැනටමත් අම්පාර, රත්නපුර, ගාල්ල ඇතුළුව පෝෂණ ඌණනතා සහිත දරුවන් ඉන්න ප්‍රදේශ තෝරාගෙන තියෙනවා. උසේ ප්‍රමාණයට සරිලන අවම බර ප්‍රමාණයට වඩා අඩු බර ළමුන් හඳුනාගෙන තියෙනවා මේ ප්‍රදේශවල. එතකොට ඒ ගොල්ලොන්ට ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන ගතිය, ඔවුන්ගේ කායික වැඩීම, ඔවුන්ගේ මොළයේ වැඩීම, ආදියට ‍පෝෂණය ඉතාම වැදගත්. ඒ නිසා මේ ළමයි ගැන වැඩි අවධානයක් රජය යොමු කරල තියෙනවා.''යැයිද ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මේ වනවිට එක් පෙර පාසල් දරුවෙක් වෙනුවෙන් දිනකට රුපියල් 60ක මුදලක් රජය වියදම් කරයි. එම මුදලින් පෝෂණීය ආහාර පිළියෙළ කර ලබාදීම අපහසු කාර්යයක් බැවින් බිස්කට් ව්‍යාපෘතියට අවධානය යොමු කිරීමට හේතු වූ බවත් රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. “අපි යම්කිසි මුදලක් වෙන් කළත් ඒකෙන් හදන කෑම එක සමානයි කියල කියන්න බෑ. අද රුපියල් හැටකින් කරන්න පුළුවන් බොහොම ටික දෙයයි. ළමයි 25ක් 30ක් ඉන්න තැනකට හොඳ පෝෂ්‍යදායි සුප් එකක් වගේ හදවන්න පුළුවන්. ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් වගේ හැම දෙයක්ම අඩංගු කරපු සුප් එකක්. නමුත් ළමයින්ට වෙනම ආහාර වේලක් පිළියෙළ කරල දෙන්න තියෙන අපහසුතාවය හැමෝටම තේරෙනවා. ඒ නිසා අපිට බෑ ළමයිට එකපාරට කියන්න බෑ මොන්ටිසෝරිවල කෑම හදන්න පටන්ගන්න කියල. ඒක ලොකු වැඩක්.''

පෞද්ගලික බිස්කට් සමාගම අධිපෝෂණ බිස්කට් වර්ග මාස කිහිපයක කාලයක් පමණක් නොමිලේ ලබාදෙනු ඇති. එම වැඩපිළිවෙළ සාර්ථක වන්නේ නම් පමණක් අඛණ්ඩව බිස්කට් ලබා ගැනීමට රජයේ ප්‍රතිපාදන වෙන් කිරීමට අවශ්‍ය කටයුතු පිළියෙළ කරන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය. “මන්චි බිස්කට් සමාගම නොමිලේ බිස්කට් දෙන්න කැමති වුණේ මාස කිහිපයකට පමණයි. ඊට පස්සේ අපි උත්සාහ කරනවා මේකට කිසියම් මුදලක් ගෙවල හරි මේ වැඩපිළිවෙළ ඉදිරියටත් කරගෙන යාමට. දරුවන්ගේ පෝෂණ ඌණතාව නැති කරල, පෝෂ්‍යදායි ආහාර ලබාදීම දරුවන්ගේ මානසික සෞඛ්‍ය, සතුට සහ නිදහස් සිතුවිලිවලට ගොඩක් වැදගත්.''

‍සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ පෝෂණ තත්ත්වය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීම, ආහාර සුරක්ෂිතතාවය සුරුකීම, ආරක්ෂිත ආහාර සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා වූ නීතිමය රාමුව ශක්තිමත් කිරීම, සදාචාරී විරෝධී අලෙවිකරණය වැළැක්වීම, හදිසි අවස්ථාවලදී පෝෂණ ප්‍රවර්ධනය ඇතුළුව සෑම අවස්ථාවකදීම ආරක්‍ෂිත හා සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය පිණිස අත්‍යාවශ්‍ය උපාය මාර්ගික සැලසුම් හා ප්‍රතිපත්තිවලින් සමන්විත ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් දැනටත් මෙරට ක්‍රියාත්මකයි. එම ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම යෝජිත අධිපෝෂණ බිස්කට් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ නම් මැනවි.

I සටහන: සකීෆ් සාම්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00