2023 මැයි 07 වන ඉරිදා

ලංකාවේ දන්සල් පුරාණය

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 354

මහාචාර්ය සුනිල් ආරියරත්න මේ කේතුමතී නුවරයි ගීතයේ “දන්සල් දොරෙහි නැත යදියෝ” යැයි ලීවේය. ඔහු එසේ ලීවේ අසූව දශකයේදී නන්දා මාලිනියගේ පවන ප්‍රසංගයටය. පෙර රජ කාලයේ පටන් වෙසක් උත්සව පවත්වා ඇති අතර එකී කාලයේ පටන් දුගී මගී යාචකාදීන් උදෙසා දන්සල් පවත්වා ඇති බව මහාවංශයේ සඳහන් වෙයි. විවිධ රජ සමයන්හි පැවැත්වූ සෑම වෙසක් උත්සවයකම දන්සල් පවත්වා ඇත. මේ තරමට බුදු බණ අහනා රට, මේ තරමට දන්සල් දෙන එකම රට ලංකාව බවද මෙරටට පැමිණෙන විදේශිකයෝ සාක්ෂි දරති. 

රජ කාලයේ පටන් දන්සල් දුන්නේ දුගී මගී යාචකාදීන්ටය. එනම් දුගී යනු අඩු ආදායම්ලාභීන්ය. මගී යනු දුර බැහැර ගමන් යන්නවුන්ය. යාචක යනු සිඟනුන්ය. මෙම කණ්ඩායම් ඉලක්ක කරගෙන රජවරුන් පවා දන්සල් දී තිබේ. එහෙත් මෙම තත්ත්වය දැන් වෙනස් වෙලාය. එය මෝස්තරයක් තරමටම දියුණු වෙලාය. දන්සල් වඳින්න යාම අපේ රටේ අලුත් දෙයක් නොවේ. ඉස්සර පටන් සිංහලයන් කීවේ දන්සල් වඳින්න යනවා කියාය. දැන් දැන් දන්සල් වැහි වැහැලාය. මාස 12ට පෝය 12ක් තිබුණද බොහෝ දෙනා දන්සල් දීමට පෙළඹෙන්නේ වෙසක්, පොසොන්, ඇසළ යන පෝය දිනවලටය. මාස 12ම දන්සල් දෙන තැනක් ඇත්නම් ඒ කලාතුරකිනි. එහෙයින් දැන් දැන් දන්සල් තෝරා බේරාගෙන වඳින්න මිනිසුන් පුරුදු වී තිබේ. අපේ රටේ දන්සල්වල වැඩිපුරම දක්නට ලැබෙන්නේ ආහාර පානය. එහෙත් ඒ අතරින් පතර වෙනස් වූ දන්සල්ද දකින්නට පුළුවන. සල්ලි දන්සල්, මල් දන්සල්, සැලුන් දන්සල්, වාහන සෝදන දන්සල්, ඉන්ධන දන්සල්, ඇඳුම් දන්සල්, ටැක්සි දන්සල් ද, නොමිලයේ අන්තර්ජාලයට යා හැකි වයිෆයි දන්සල්ද නැතුවාම නොවේ. එමෙන්ම කොරෝනා සමයේ ඇතැම් වෙද මහත්වරුන් කොරෝනා නසනවා කියා පැණි බෝතල් පවා ලබා දුන් අතර ඒවා ගැනීමටත් මිනිසුන් රොක් වූයේ දන්සල් පෝලිම් පරදවමිනි. එසේම මිනිසුන්ට සේම සතුන්ට පවා දන්සල් දුන් මිනිස්සු අප අතර සිටිති. සුනඛයන්ට බව් බව් දන්සල් මෙන්ම කූඹින්ට සීනි දන්සල් ද පවත්වා තිබේ.

ඈත ඉඳන් ලොරි බරබාග අරගෙන ගමම සූදානම් වන්නේ වෙසක් පොසොන් දවසට දන්සල් වඳින්නට යාමටය. දුගී මගී යාචකාදීන්ට දන්දීමේ සිරිත මේ වනවිට මෝස්තරයක් වීම හේතුවෙන් සුපිරි වාහනවලින් විනෝද චාරිකා යන පවුල් දන්සල්වලින් ආහාර ගැනීම පුරුද්දක් කරගෙන සිටිති.

පෙර දවස සිටම පුන් පෝදාට ලංකාවේ වැඩිම දන්සල් ප්‍රමාණයක් දක්නට ලැබුණේ බස්නාහිර, වයඹ සහ උතුරුමැද පළාතෙනි. ඒ අතරිනුත් අනුරාධපුරයේ දොළොස්මහේ දන්සල විශේෂත්වයක් ගන්නේ වසරේ දින 365ම අනුරාධපුරය අටමස්ථානය වැඳපුදා ගන්නා බැතිමතුන්ගේ බඩ පුරවන බැවිනි. 

එමෙන්ම නුවර සිට මහියංගණයට පැමිණි සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සලද 1999 වසරේ සිට නොකඩවා පැවැත්වූ දන්සලක් වන්නේය. සාධාරණ මුදලාලි නමින් ඔහු තිස්ස හේවාවසම් වෙයි. එසේම ඔහු කාලයක් තවත් අමුතු දන්සලක් දී ඇත. එනම් පන්සල් ගණනාවක විදුලි බිල තම මුදලින් ගෙවා ඇත්තේය.  

ඉංගිරියේ සඳසිරි හෝටලයද අමුතු දන්සලක් දුන් ස්ථානයකි. 1950 සිට සඳසිරි හෝටලේ මුදලාලි විසින් සෑම පෝදාකටම තම හෝටලයට පැමිණෙන සියලුම දෙනාට නොමිලයේ කිසිදු සීමාවකින් තොරව කෑම ලබා දී ඇත්තේය. එසේම වාරියපොළ කටුපොත රසකැවිලි දන්සලද සුවිශේෂීය. එහෙත් පුන් පෝදා ගම්වැසියන් තම තමන් සාධාරණව හරිහම්බ කරගත් මුදල් එකතු කරගෙන දන්සල් පැවැත්වුවද  වරෙක කසිප්පු දන්සලක්ද පවත්වා පොලිසියට හසුවූ අවස්ථාවක්ද අප මතකයේ ඇත. ඉකුත් වසර ගණනාවම කොරෝනාවෙන් බැට කමින් ගෙවල්වලට කොටුවී සිටි ජනතාව මෙදා සැරේ දන්සල් දීමට සැදී පැහැදී සිටිති. රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් දන්සල් පැවැත්වීමට තබා පාං කියාගන්නවත් නොහැකිව සිටි ජනතාවට මේ වනවිට යාන්තම් හෝ හුස්මක් කටක් ගැනීමට හැකි වී ඇති බව පෙනේ. එහෙයින් මෙදා සැරේ ගිය වසරවල අතපසු වූ දන්සල් දීමේ දයාර්ද්‍ර ගුණය මතු වී තිබේ.

මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉකුත්දා පැවසුවේ මෙවර වෙසක් දන්සල්වල අඩුවක් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමට අප ගත් උත්සාහයේදී ශ්‍රී ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.අයි. බෝපිටියගේ මහතා පැවසුවේ මෙවැන්නකි. 

“පසුගිය කාලවල සෞඛ්‍ය හේතු මත දන්සල් පැවැත්වීමට නොහැකි වුවත් මෙම වසරේ රට පුරා දන්සල් පැවැත්වීමට ජනතාවගෙන් ඉල්ලීම් ලැබුණා. එය සංඛ්‍යාත්මකව වෙනත් වසරවලට සාපේක්ෂව වෙනස් වන්නට පුළුවන්. ඕනෑම ප්‍රදේශයක දන්සලක් සංවිධානය කරනවා නම් එම ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවී දන්සල ලියාපදිංචිය සිදුකිරීම අනිවාර්යයි. එහිදී දන්සල පැවැත්වීමට අවශ්‍ය මාර්ගෝපදේශ සහ නිරීක්ෂණ කටයුතු අදියර යටතේ මහජන පරික්ෂකවරුන් විසින් සිදු කරනු ලබනවා. ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350ක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2400ක් පමණ සේවයේ නිරතව සිටිනවා. මහජන සෞඛ්‍යයට මුල් තැන දෙමින් මෙවර වෙසක් සමයේදීත් පරීක්ෂණ අදියර තුනක් යටතේ ඔවුන් තම බල ප්‍රදේශවල පැවැත්වෙන දන්සල් නිරීක්ෂණ කටයුතු සිදු කරනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යටතේ ලියාපදිංචි දන්සලක් පැවැත්වීමේදී මුළුතැන්ගෙය පිරිසුදුකම, භාණ්ඩ ඇසිරීමේ පිරිසුදුකම, ආහාරවල ගුණාත්මක බව, ස්ථානීය පවිත්‍රතාව ආදී සාධක ගණනාවක් සපුරාලිය යුතු වෙනවා. එකී සාධක ගුරු කොට මේ වනවිට ඒ ඒ බල ප්‍රදේශවල දන්සල් ලියාපදිංචි කටයුතු සිදු කෙරුණා. වෙසක් සමයේ වන්දනා බැතිමතුන් සඳහා දන්සල් පැවැත්වීමේදී එම දන්සල් සංවිධායකවරුන් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මෙන්ම බැතිමතුන් සිය සෞඛ්‍ය ආරක්ෂාව ආරක්ෂා වන පරිදි පිරිසුදුව සිය අවශ්‍යතා සපුරා ගැනීම වැදගත්.” බෝපිටියගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ ආකාරයට ලංකාව වැනි කුඩා රටක දන්සල් පැවැත්වීම පිළිබඳව මෙරටට පැමිණෙන සංචාරකයන් මවිත කරවන අවස්ථාවකි. ලංකාවේ මිනිසුන්ගේ දන්දීමේ ගුණය සම්බන්ධයෙන් සහ ආගන්තුක සත්කාර සම්බන්ධයෙන් රොබට් නොක්ස් එදා හෙළදිව කෘතියෙන් පවා හෙළි කර ඇත්තේය.

I සසංක චලන ගිම්හාන