2023 මාර්තු 26 වන ඉරිදා

බූරු මූණාගේ මාර සැලසුම්...

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 72

පාතාලයේ රහස් වෙඩික්කරුවකු වූ කව්මිණි රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාරකොට තිබියදී කාකි ඇඳුමට කොකා පෙන්වා පලා ගොස් තිබිණ. ඒ කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ඇතැම් නිලධාරින්ගේ නිලඇඳුමත් ගලවා දමමිනි. පසු දිනක අවිස්සාවේල්ල අධිකරණ සංකීර්ණ අසල පාරේ මෝටර් රථයක රුඳී සිටියදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. දැන් රුඳවුම් නියෝග යටතේ රඳවා තබා ප්‍රශ්න කරන අතරමග බූරු මූණා තම රහස් කෙරුවාවන් ගැන වමාරමින් සිටියි.

සැකකරු පෙබරවාරි 24 වැනිදා රහසිගතව විදෙස්ගත වීමට උත්සාහ කිරීමේදී කොටුවූ අතර ගුවන් තොටුපළ පොලිසියේදී චීවරධාරින් දෙපළකගේද සහාය මත පලා ගිය අතර අවිස්සාවේල්ල අධිකරණයට භාරවීමට යමින් සිටි අවස්ථාවක නැවත පොලිසියට කොටු විය. ඒ අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාස භාරයේ තබා ප්‍රශ්න කරන බූරු මූණා මිනිස් ඝාතන සිද්ධීන් රුසක සැකකරුවෙකි. බස්නාහිර හා දකුණු පළාත ආශ්‍රිත පාතාල ඝාතන ගණනාවක නාඳුනන තුවක්කුකරු වශයෙන් බූරු මූණා කටයුතු කොට ඇතැයි දැන් හෙළි වී තිබේ.

හිටපු නාවික හමුදා භටයකු වන බූරු මූණා සංවිධානාත්මක අපරාධකරුවකු වූ රත්ගම විදුර නැමැත්තාගේ සමීප ගෝලයකු වශයෙන් කටයුතු කර තිබේ. තවත් සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ලලිත් කන්නන්ගර නැමැත්තා ඩුබායි රටේ සැඟවී සිටිමින් මෙරට අපරාධ ක්‍රියා රුසකට බූරු මූණා මෙහෙයවා ඇති බවද හඳුනාගෙන ඇත. පසුගිය 17 වැනිදා අවිස්සාවේල්ල මානියම්ගම ප්‍රදේශයේදී පොලිසියට කොටුවීමෙන් පසුව ප්‍රථමයෙන් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන පැය 7ක් ප්‍රකාශ ලබාගැනීමේදී මෙතෙක් වසන් වී තිබූ තොරතුරු රැසක් හෙළිදරව් වී තිබේ.

බූරු මූණාට එරෙහිව විවිධ ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන 9ක් සම්බන්ධයෙන් චෝදනා එල්ලකොට ඇතත් තමන් සිදු කර ඇත්තේ මිනිස් ඝාතන දෙකක් පමණකැයි කියා බූරුමූණා හඬා වැටී ඇතැයි කියති. කෙසේ වෙතත් බූරු මූණා අත්අඩංගුවට ගත් පසුව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේ ගාල්ල, රත්ගම, හික්කඩුව, ඌරගහ, කටුනායක, මීගමුව යන ප්‍රදේශවල සිදු කළ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙනි.

කටුනායක පොලිසියෙන් පලා ගිය පසුව මීගමුව, දඹුල්ල, කරවනැල්ල, මරදන්කඩවල ප්‍රදේශවල රුඳී සිට ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවන් වන රත්ගම විදුර, හංවැල්ල ලලිත් කන්නන්ගර, වත්තල වර්ණ, ඩිලාන් යන අයගේ සහායෙන් බව ඔහු ප්‍රකාශ කර ඇත. ලලිත් කන්නන්ගර නැමැත්තා සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙයි. ඔහු විසින් බූරුමූණා මෙහෙයවා හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කොට තිබිණ. ඒ සඳහා ගිනිඅවිය යතුරුපැදිය සමඟ ගෝලයකු සපයා තිබුණේද ලලිත් කන්නන්ගර විසිනි. හංවැල්ල ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන හෙරොයින් ජාවාරම සිදු කරන ලලිත් කන්නන්ගරගේ ගෝලයන්ට විවිධ අයුරින් බාධා පමුණුවන ලදැයි කියන ආපනශාලා හිමියා ඝාතනය කර තිබුණේ ඔහුගේ වුවමනාවටය. එම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා අවස්ථා කිහිපයකදීම උත්සාහ කළද ඒවා ව්‍යාර්ථ වීම නිසා ලලිත් කන්නන්ගර විසින් බූරු මූණා වෙත වෙනත් පුද්ගලයකු මාර්ගයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් ලබා දී ඇතැයි කියති. ඒවා C4 නමින් හඳුන්වන අධිබල පුපුරණ ද්‍රව්‍ය බව කියන අතර ඒ සමඟ ඩෙටනේටර් තුනක්ද ලබා දුන් බව බූරු මූණා පාපොච්චාරණය කර ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ඝාතනය කෙරුණු හංවැල්ල ආපන ශාලා හිමිකරුගේ නිවෙස ආපන ශාලාව හා ඔහුගේ සොහොයුරාගේ ආපන ශාලාව පුපුරවා දැමීම සඳහා යොදාගන්නට නියමිතව තිබූ බවද බූරු මූණා පවසා තිබේ.

එම C4 පුපුරණ ද්‍රව්‍ය තොගය හංවැල්ල දසවේල්ල ප්‍රදේශයේ දුරකථන රැහැන් කණුවක් පාමුල වළ දැමූ බවද කියා ඇත. එසේ සිදු කළේ යම් හෙයකින් පොලිසියට කොටු වේ යැයි බියෙන් බවද පවසා තිබේ. සැකකාර බූරු මූණාගේ මගපෙන්වීම මත අදාළ ස්ථානය සොයා ගිය පොලිසිය C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය 660g ක් සමඟ ඩෙටනේටර් 3ක් සොයා ගැනීමට සමත් වී තිබිණ.

මෙම පුපුරණ ද්‍රව්‍ය හංවැල්ල ව්‍යාපාරිකයා ඝාතනය සඳහා ආ යතුරුපැදිය පැදවූ 'කරවිට සීයා' නැමැත්තාගේ ජැකැට්ටුව තුළ සඟවාගෙන ගිය බවද බූරු මූණා ප්‍රකාශ කර තිබිණි. ලංකාවේ මෙතෙක් වාර්තා වූ පාතාල සිදුවීම් අතර විරුද්ධවාදී පිරිස්වල නිවාස හා ව්‍යාපාරික ස්ථාන පුපුරවා හැරීමට කළ සැලසුමක් හෙළිදරව් වූයේ පළමු වතාවටය.

පසුගිය පෙබරවාරි 24 වැනිදා කටුනායකින් පලා ගිය බූරු මූණා මීගමුව හෝටලයක දින දෙකක් ගත කර කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයට ගිය බවද එතැන් සිට තිරප්පනේ ප්‍රදේශයේ නිවෙසකට ගිය බවද සැකකරු පවසා තිබිණි. නීතිඥවරයකු විසින් තිරප්පනේ දක්වා රුගෙන ගොස් ඇති බවත් රුඳී සිටි නිවෙස යුද හමුදා නිලධාරියකුට අයත් එකක් බවත් ප්‍රකාශ කර ඇත. බූරු මූණාට ප්‍රවාහන පහසුකම් සලසමින් රුකවරණය දුන් බව කියන නීතිඥවරයකුට රුපියල් ලක්ෂ 10ක් ලබා දීමට පොරොන්දු වූ බවද පාපොච්චාරණයේ හෙළි වී තිබේ.

මීගමුව හෝටලයක නවාතැන් ගත් දා සිට කරවනැල්ල ප්‍රදේශයේ රුඳී සිට අවිස්සාවේල්ල අධිකරණය දක්වා යන අවස්ථාව තෙක් රුකවරණය ලබා දීමට හා වියහියදම් කිරීමට කටයුතු කර තිබුණේ විදෙස්ගත පාතාල නායකයන් කිහිප දෙනකු විසින් බවට අනාවරණය වී තිබේ.

බූරු මූණා හෙළි කළ තොරතුරු අනුව පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට කාන්තාවක් විසින් මුදල් ලබා දී ඇති බවද සැකකරු කියා තිබිණි. ගාල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරු මත එම සැකකාරිය හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම කාන්තාව 'සිඟිති' නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බවට වාර්තා වේ. ඇය පාතාල කල්ලියක් විසින් ඝාතනය කළ කටා රොෂාන් යන අයගේ නැගණියකි. ඇය විසින් ඝාතන කොන්ත්‍රාත්තු වශයෙන් ලක්ෂ 20ක් ලබාදුන් බවද කියා ඇත. එම ද්විත්ව ඝාතනය 2022 ඔක්තෝබර් 31 වැනිදා සිදු කළ එකකි.

එදින ගාල්ල අධිකරණය වෙත යමින් සිටි දෙදෙනකු ඉලක්ක කොට බූරු මූණා විසින් වෙඩි තබා එම පුද්ගලයන් දෙදෙනා ඝාතනය කර ඇතැයි කියති. ප්‍රසන්න මෙන්ඩිස් (45) සහ ඉසුරු ප්‍රසන්න (26) එලෙස මරණයට පත්වූහ. මේ ආකාරයට තමන් විසින් සිදු කළ ඝාතන හා අපරාධ පිළිබඳ පාපොච්චාරණය කරමින් සිටින අතරතුර තමාට නින්ද නොයන අසනීපයක් ඇති බවත් ඒ සඳහා ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවත් ඔහු කියා ඇත. ඒ පිළිබඳ කරුණු දැන්වීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට යොමු කළ බූරු බූණා පරීක්ෂා කිරීමෙන් පසුව පවතින මානසික රෝගය පිළිබඳ වැඩිදුර පරීක්ෂාවට හා ප්‍රතිකාර සඳහා අංගොඩ ජාතික මානසික විද්‍යායතනය වෙත යොමු කළ බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වාර්තා කළේය.

I සමන්ත විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00