2023 මාර්තු 26 වන ඉරිදා

වෘත්තීයවේදීන්ගේ සටනේ කොළ එළිය යළි රතුවෙන ලකුණු

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 29

වැඩවර්ජන තර්ජනය මුළුමනින්ම පහව ගොස් නොතිබුණි. වර්ජකයන් දල්වා තිබූ කොළ එළිය සිකුරාදා වන විට නැවත ‍රත් පැහැ ගැන්වෙමින් තිබුණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩ වැරුම තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක විය.

නව බදු සංශෝධනයට විරුද්ධව දියත් වූ වෘත්තීය ක්‍රියාමාර්ග ඉකුත් සතියේ අවසන් වූයේ ජනාධිපතිවරයා සාකච්ඡාවකට අවකාශය ලබාදීමත් සමඟයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලැබීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා පවසා සිටියේ තවත් බදු කිහිපයක් පැනවීමට සිදුවන බව සහ ඉදිරියේදී සහන ලබා දීමට ද හැකි බවයි.

මේ අතර ජනපති සහ වෘත්තීයවේදීන් අතර සාකච්ඡාව ද දිනෙන් දින කල් යන බව අසන්නට ලැබුණි.  ඒ අනුව වෘත්තීයවේදීන්ගේ සංගමය සිකුරාදා වන විට ඉදිරි සතියේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරමින් සිටියේය. වෘත්තීයවේදීන්ගේ සංගමය නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතාගෙන් වර්තමාන තත්ත්වය පිළිබඳ අපි වැඩිදුරටත් කරුණු විමසා සිටියෙමු.

“සාකච්ඡාව බදාදා තියෙනවා කියලා අපිට කිව්වේ. නමුත් ඊට පස්සේ බදාදා අපිට කිව්වා දවසක් විතර එහෙ මෙහෙ වෙන්න පුළුවන් කියල. අයි.එම්.එෆ් සම්බන්ධ අවසන් සාකච්ඡාව නිසා අපි කිව්වෙත් ගැටලුවක් නැහැ කියලා. නමුත් දැන් තියෙන ගැටලුව සාකච්ඡාව සම්බන්ධව මේ වන විට කිසිම නිල දැනුම් දීමක් නෑ. ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් යම් සන්නිවේදනයක් සිද්ධ වෙන්න ඕනෑ. නමුත් ඒක මේ වෙනකොට සිද්ධ වෙන්නෙ නෑ. අපි මේ පිළිබඳ සැලකිලිමත්." 

සිකුරාදා දහවල් පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීයවේදීන්ගේ තීරණය කුමක්ද යන්න පිළිබඳ රටට පවසන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි. 

“ආණ්ඩුව අපි ඉල්ලපු උත්තර දුන්නේ නෑ. නමුත් ආණ්ඩුවේ ප්‍රවේශය ධනාත්මක විදිහට අරගෙන යන්න අපි යම් ඉඩක් දුන්නා. විශ්වාසය ගොඩනගන යම් විසඳුමකට යන්න අපි අවස්ථාව ලබා දුන්නේ. නමුත් ආණ්ඩුව ඒ විශ්වාසය කඩ කරනවා නම් දැඩි ක්‍රියාමාර්ගවලට යන්න අපි කොහෙත්ම පසුබට වෙන්නේ නෑ."

ලොකු බදු වර්ග කිහිපයක් පැනවීම සහ බදු වැඩි කිරීම පිළිබඳව ජනපති ඉකුත්දා කළ ප්‍රකාශය පිළිබඳව ද අපි වෛද්‍ය චමිල් විජේසිංහ මහතාගෙන් විමසා සිටියෙමු. ජනපති කුමක් කීවද වෘත්තීයවේදීන් ඉල්ලා සිටින්නේ රටේ සමස්ත බදු ප්‍රතිපත්තියේ සංශෝධනයක් බව ඔහු සඳහන් කළේය.

“ජනාධිපතිතුමා මෙතන කාරණා කිහිපයක් කිව්වා. උපයන විට ගෙවීමේ බද්ද සහ ආදායම් බදු සම්බන්ධවයෙන් ජූනි මාසය විට යම් සමාලෝචනයක් සිදු කරන්න පුළුවන් බව ජනාධිපතිතුමා කිව්වා. එච්චර කල් බලා ඉන්න බැහැ කියන කාරණාව පහුගිය සිකුරාදා ජනාධිපති ලේකම්තුමාත් එක්ක තිබුණු සාකච්ඡාවේදී අපි සඳහන් කළා."

මේ අතර අන්තර්වාර විසඳුම පිළිබඳ ආණ්ඩුව පාර්ශ්වයෙන් යම් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා කියා සිටී. කෙසේ වෙතත් ඒ හා සම්බන්ධව නිල වශයෙන් තවමත් සාකච්ඡාවක් සිදුව නොමැත.

“තව බදු වැඩි කිරීම සිදු කරනව නම්, නව බදු හඳුන්වා දෙනව නම්, මේ බලපෑම පිළිබඳ අපි පැහැදිලිවම අධ්‍යයනය කරනවා සහ මේ පිළිබඳව කතා කරනවා. අවසානයේ රටේ සමස්ත බදු ප්‍රතිපත්තියම ගැටලුවක්. මේ බදු ප්‍රතිපත්ති හරහා රටේ සියලු ක්ෂේත්‍රවලට ගැටලු ඇති වෙනවා. ඒ නිසයි අපි මේ ප්‍රශ්නෙ ඉදිරියට අරගෙන ඇවිල්ල තියෙන්නෙ." 

සති අන්තය වනවිටත් විසඳුමක් නොලැබුණහොත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව ද අපි සාකච්ඡා කළෙමු. වෘත්තීයවේදීන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෛද්‍ය විජේසිංහ මහතා එහිදී අවධාරණය කර සිටියේය.

“මේ ගැටලුව ආණ්ඩුව වෘත්තීමය විදිහට විසඳන්නේ නැත්නම්, ඔවුන් අපිව තල්ලු කරන්නේ දැඩි ක්‍රියාමාර්ගවලට. අවසානයේ වර්ජනයක් වෙන්න පුළුවන්. අපි එතනට ගමන් කරලා එක දවසක් රට අකර්මණ්‍ය වුණා. ඊට පස්සේ ආණ්ඩුව අඩි කිහිපයක් පස්සට අරගෙන, අතරමැදි තැනකට ඇවිල්ලා මේ සාකච්ඡාවට ආවේ. මේ සාකච්ඡාව ඇතුළේ දී ආණ්ඩුව විශ්වාසය බිඳවට්ටනව නම්, නොසලකා හරිනවා නම්, ද්‍රෝහි වෙනව නම්, අපිට ආයේ දැඩි ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා අවසානයේදී."
ඒ අනුව තීරණාත්මක සිකුරාදායින් අනතුරුව වෘත්තීයවේදීන් දැල්වූ කොළ එළිය නිවී යාමට ඉඩ තිබේ. අප මෙම සටහන  තබන මොහොත වනතුරු ආණ්ඩුව පාර්ශ්වයෙන් ඔවුනට සාකච්ඡාව සඳහා දිනයක් ලබා දී නැති බව දැනගැනීමට ලැබේ.

I චමිඳු නිසල් ද සිල්වා 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00