2023 මාර්තු 26 වන ඉරිදා

ඔබ මා සමඟ අනිතන ගන්නා දවස ඒ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 325

 ලාංකික ගීතයට රන් සලකුණක් එක්කළ සුනිල් සරත් පෙරේරා 80 විය සපුරයි 

අතිශය කාර්යබහුල දිනයකි. හිරු වෙනදාට වඩා වේගයෙන් සැඟව යන්නට හදන්නේ දවස පුරා වෙහෙසුණු මිනිසුන්ට ඉක්මනින් විවේකය ලබා දීමටය. අලුත විවාහපත් යෞවනයාට මේ මොහොතේ සිහියට නැගෙන්නේ එකම මුහුණකි. ඒ ඔහුගේ බිරිඳගේ මුහුණය. දැන් වැඩ හමාර කොට නිවසට යා යුතුය. වැසුණු දොර සැණින් විවර වූයේ හිතේ ඇඳි ඈ රුව මැකෙන්නටත් පෙරය. සුපුරුදු මිතුරු මුහුණක් විවර වූ දොරෙන් මතු වූයේ අදත් ප්‍රමාද වී නිවසට යන්නට වන බව පසක් කරමිනි. මිතුරු ඇසුර ඔහුට සේම ඔහුගේ ඇසුර මිතුරන්ටද ප්‍රිය බව නොරහසකි. එහෙත් ඈ නිවසේ බලා සිටින්නේ තමන් එන තෙක්ය. ඔහු මෙතෙක් වෙලා කවුළුව තුළින් බැස යනවා බලමින් සිටි හිරු ඉන්දු සයුරේ ගිලී යමින් සිටී. පාළුවක, දුකක දැවටුණු වදන් පෙළක් සිහියට නැගුණු කල ඔහු එය කඩදාසියක සටහන් කළේය.

සැන්ඳෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා

70 දශකයේ මුල ගාලු මුවදොර හෝටලයේ කනිෂ්ඨ විධායක නිලධාරියකු ලෙස තම මුල්ම රුකියාවට එක්ව සිටි ඔහු මෙරට ගීත වංශ කතාවේ නොමැකෙන ලෙස සිය නාමය සටහන් කළ ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරාය. එදා ගාලු මුවදොර හෝටලයට පැමිණි ඔහුගේ හිතාදර සඟයා නම් ආචාර්ය දයාරත්න රණතුංගයන්ය. දෙදෙනාම ඒ මොහොත තුළ රුඳෙමින් නිර්මාණය කළ එම ගීතය අදටත් ලාංකික රසික සිත් පුරාම මතකයේ රුඳුණු ගීයක් බවට පත්ව ඇත. පසුගියදා ජීවන මගෙහි 80 වැනි මංසන්ධිය පසුකළ ඒ මෙරට ගී වියතාණන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අපි එතුමන්ව හමුවෙමු.

''මම උපන්නේ කිරුළපන - පාමංකඩ. පවුලේ වැඩිමලා වුණු මට බාල පද්මිණී හා නන්දනී නමින් නංගිලා දෙදෙනෙකු සිටියා. මගේ පියා ඇල්බට් පෙරේරා. අම්මා සුසියන් ද අල්විස්. 1943 මාර්තු 05 වැනිදා තමයි මා ඉපදුණේ. මම කොළඹට තදාසන්නව ජීවත් වුණාට මා ගම හොඳින් දැන ගීත ලියන්නේ කෙසේදැයි කෙනෙකු හිතනවා වන්නට පුළුවන්. එයට ප්‍රබලවම බලපෑ ගම මගේ පියාගේ ගම බණ්ඩාරගම, දෙල්දූව. ආච්චි සිටිය කාලේ සති අන්තයේ අපි ගමට යනවා. මේ ගමන ඉතාම සුන්දරයි. ආච්චි හන්දියට බක්කි කරත්තය එවනවා. අපි ඒකෙන් තමයි ගොඩක් වෙලාවට ගෙදරට යන්නේ. මෙහෙම යද්දි මට ආසාවක් ආවා කරත්තය රුගෙන යන්න. කොහොම හරි මට ඒ ආසාව ඉටුකර ගන්න ලැබුණා. තෝන් ලණුව අල්ලගෙන ගෙදරට යනකල් මම කරත්තය රුගෙන ගියා. මගේ හිතේ කවි සිතුවිලි අවදි වෙන්න ඒ ගමනත් හේතු වුණා. ගමේ පන්සල, වෙල් යාය, ඇළ දොළ, පොකුණු, මේ දේවල් කියන්නෙ සෞන්දර්යාත්මක සිතුවිලිවලට උල්පත්. ඒත් එක්කම කඨින පෙරහර, මල් පෙරහර වගේ බෞද්ධ සංස්කෘතික උරුමයන් මගේ ළමා කාලේ ගොඩාක් සුන්දර අත්දැකීම් බවට පත් වුණා. එයින් උකහා ගත් දේ පසුකාලීනව මා ලියූ ගීතවල සඳහන් වනු ඔබට සොයාගත හැකියි. අපි ගමට ගියාම හැන්දෑවට ගමේ උදවිය ගෙදරට ගොඩවෙන්නේ ආ ගිය තොරතුරු කතා කරන්න. තේ ටිකක් බීලා, බුලත් විටක් කන ගමන් ඔවුන් තාත්තා ඇතුළු වැඩිහිටියන් එක්ක ඉස්තෝප්පුවේ ඉඳගෙන සුහදත්වය බෙදා හදා ගත්තා. ගොයම් කපන කාලෙ හරිම සුන්දර අත්දැකීමක් ලැබුණා. ඒ කවි ගායනා මට අදත් ඇහෙනවා වගේ. ගමේ මහ ගෙදර ආසන්නයේ හේනක් තිබුණා. රාත්‍රියට සී පද කියනවා. ඒ රිද්මය තමයි ගැමියාගේ ජීවන රිද්මය. ඒ සියල්ල මගේ ගීතවලට පසුකාලීනව මා එක්කර ගත්තා.''

සුනිල් සරත් පෙරේරා තම පාසල් අධ්‍යාපනය ආරම්භ කළේ වැල්ලවත්ත ශාන්ත ක්ලෙයාර් විද්‍යාලයෙනි. එමෙන්ම ඇරතියුසා සිංහල විද්‍යාලයෙන් ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවකි. හතර වැනි ශ්‍රේණියේ සිට ඔහු ගියේ ලුම්බිණි විද්‍යාලයටය. එය කලා ජීවිතය හැඩකර ගන්නට මහඟු පිටිවහලක් විය. ඒ ලුම්බිණි රඟහල ඇරඹි අවධියයි. මෙරට කලාව පෝෂණයෙහි අපමණ දායකත්වයක් දැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රමුඛව අමරදේවයන්, චිත්‍රසේන - වජිරා ආදී දැවැන්තයන් හමුවන්නට නාට්‍ය පුහුණුවීම් දකින්නට ලද අවස්ථා ඔහු තුළ කලාවට සාහිත්‍යයට තිබූ ඇල්ම වැඩිකරවන්නට ගන්නට හේතු විය. ජාතික ගුවන්විදුලිය මේ මහා සාහිත්‍ය ප්‍රේමියා ලොවට දායාද කරන්නට වඩා වැඩි මෙහෙවරක් කළ වග සටහන් කළ යුතුමය. කොට කලිසමකින් සැරසී බයිසිකලයෙන් ගුවන්විදුලිය ඉදිරිපසින් ගිය කොලු ගැටයා පසු කලෙක ගුවන්විදුලි මහ පුටුව හෙබවූ විද්වතා බවට පත්වූ ගමන ගැන කියවීමම පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථකත්වයට මඟ කියන දිරිගැන්වීමක් වනු ඇත.

''පාසලේදී අපිට සංගීතය ඉගැන්නුවේ අතුකෝරාළ සර්. ගීතයක් කියන්නේ කොහොම එකක්ද කියලා අදහස මට ලැබුණේ එතැනින්. ගීතයක් ලියන්නේ කොහොමද ඇහුවම අතුකෝරාළ සර් පැහැදිලි කරලා දුන්නා. ඉස්සර අපි උදේට ඇහැරෙන්නේ රෙදි මෝලේ හඬත් එක්ක. උදේ පාන්දර ඇළට දක්කාගෙන එන හරක් රුළ හරිම සුපුරුදු දසුනක්. පරිසරයට මගේ ඇති ඇල්ම වැඩි වුණේ මේ අත්දැකීම් එක්ක. පසු කලෙක මා අතිරේක ලේකම්වරයෙකු ලෙස පරිසර අමාත්‍යාංශයට එක්වෙනවා. සංවර්ධනය පිළිබඳ කතා කරද්දි දැන් නිතර කියවෙන වචනයක් තිරසර සංවර්ධනය. නමුත් එය පැහැදිලිවම විය යුත්තේ ධරණීය සංවර්ධනය. මා හඳුන්වා දුන් එම වචනය වඩා නිවැරදියි. ඒ කාලයේදී මා දළදා මාලිගා පරිශ්‍රයේ සමන්පිච්ච පැළ සිටුවීමේ වැඩසටහනක් දියත් කළා.''

පරිසරය සුරුකීම මිනිසාගේ සුරක්ෂිතභාවයට වඩාත් වැදගත් වග ඔහු සාහිත්‍යයේ විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට ඇත. ඒ අතර ඔහු විසින් රචිත ග්‍රන්ථයන්ද වැදගත් වේ. මහාචාර්ය විමල් දිසානායකයන් සමඟ ලියූ 'පුද්ගලයා, පරිසරය හා සන්නිවේදනය' ප්‍රමුඛය. ඊට අමතරව ඔහු ලියූ වන මඬලේ බිසව්, පද්ම තටාකය, සඳගල නුවර, සඳකත්මිණ, හුදෙකලා මතකය, මායා මාවත ආදී කෘතින්ද සිහියට නැගේ. 'සඳකත්මිණ' 2018 වසරේ හොඳම ගීත සාහිත්‍ය කෘතිය විය. 'මායා මාවත' හා 'හුදෙකලා මතකය' සුනිලුන් පුවත්පත් සඳහා ලියූ තීරු ලිපි එක් කළ ග්‍රන්ථයන්ය. බස හොඳින් දැන එය වඩාත් රසවත්ව, හරවත්ව තම සාහිත්‍ය ලෝකය එළිය කරන්නට යොදාගත් සොඳුරු වියතෙකු ලෙස අපට තව සියවස් ගණනාවක් එතුමන්ගේ නිර්මාණ ඇසුරෙන් එතුමන් පිළිබඳ කතා කළ හැකිවනු නොඅනුමානය.

සුනිල් සරත් පෙරේරා රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වූයේ මෙරට රූපවාහිනි ආගමනයේ මුල් කාලයේදීය. එහිදී ඔහු විවිධ නව වැඩසටහන් ආකෘති රූපවාහිනි ප්‍රේක්ෂකයාට සමීප කරන්නටද පියවර ගත්තේය. මනෝහාරි, අවාරේ සිරිපා කරුණාව, 'ඔෂින්' සිංහල හඬ කැවූ නාට්‍ය මෙන්ම විවිධ සජීවී වැඩසටහන් රැසක් ඒ අතර වේ.

''මම අධ්‍යක්ෂ ජනරාල්ව සිටි අවධියේ මහනුවරට රූපවාහිනියේ පැහැදිලි දසුන් පෙනීමේ ගැටලුවක් තිබුණා. එවක ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාව මා දවසක් උදෑසන හමුවෙන්න ගියා. එවිට එතුමා කිව්වා බලන්න අධ්‍යක්ෂ ජනරාල්තුමා මටවත් රූපවාහිනිය පේන්නෙ නෑ කියලා. මම ඒ ගැන සොයා බලන්න කටයුතු කළා. මට මතකයි මට හතර වතාවක් හන්තාන කන්ද නැග්ගා. විධිමත්ව සංඥා කුලුනු ස්ථාපිත කළාට පසු සියල්ල පැහැදිලි වුණා. ඒ වගේම මහත් පරිශ්‍රමයක් දරා සජීවීව විසුරුවා හල 'බුද්ධ පූර්ණිමා' වැඩසටහන ගැනත් කියන්න ඕන. ඉතා අඩු පහසුකම් එක්ක දිල්ලි ඉඳන් සරානාත්වලට සති දෙකක් තිස්සේ රාත්‍රී කාලයට පාරවල් වසාගෙන තමයි භාණ්ඩ අරන් ගියේ. දැඩි පරිශ්‍රමයක් දරන්න වුණා. අවසන් මොහොත දක්වාම මුළු දවස පුරාම වෙසක් සිරිය රූපවාහිනිය තුළින් මවන්න එදා අපට හැකි වුණා. ඒ 1994 දි. අදටත් දඹදිව වන්දනා චාරිකා සංවිධාන කරන පිරිසක් මට ස්තූති කරනවා. ඒ බුද්ධ පූර්ණිමා වැඩසටහනින් පසු දඹදිව වන්දනා කරන පිරිස් වැඩිවෙලා කියලයි ඔවුන් පවසන්නෙ.''

තමන් සේවයට ගිය සෑම තැනකම පවතින වැඩක් සේවයක් සිදු කිරීම සුනිලුන්ගේ ස්වභාවයයි. ඔහු ජල සම්පාදන මණ්ඩලයේ සේවය කළ සමයේ ඉතා දුෂ්කරව පිහිටි බුද්ධංගල විහාරයට ස්ථිර ජල පහසුකම් ලබා දීම අද ද එතුමන්ට ස්තූතිවන්ත වන සේවයකි. එමෙන්ම දෙනිපිටියේ නුග රුක කපා විනාශ කොට දමා ඇති බව දැනගන්නා සුනිලුන් ඒ වෙනුවෙන් කමිටුවක් පත්කොට කපා දැමූ නුග රුකෙන් පටක රුගෙන සංරක්ෂණය කොට නුග රුක නැවත මේ මහ පොළොවට දායාද කළේය. ගුවන්විදුලියේ සභාපතිවරයාව සිටි සමයේ ලොව පළමු ළමා ගුවන්විදුලිය ලෙස 'විදුල' ඇරඹූ හෙතෙම ගීතය ඔස්සේ ළමා මනස පෝෂණයට දැක්වූ දායකත්වය ද අති මහත්ය. මේ ඊට එක් උදාහරණයක් පමණි.

මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල්
දැයට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්

එකම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලකදී ළමා හා වැඩිහිටි සාහිත්‍ය වෙනුවෙන් සම්මාන ද්විත්වයක් ලැබූ නිර්මාණවේදියකු නම් ඒ සුනිල් සරත් පෙරේරාය. ඔහු ලියූ 'දේදුන්නක් පායලා' ළමා කෘතියත් 'සඳකත්මිණ' කෘතියත් එලෙස එකම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලකදී සම්මානයෙන් පිදුම් ලැබීය. 'පසක් කොට ඇති සසර දුක් ගිනි', 'මගේ රටට දළදා හිමි සරණයි' ආදී ගී ලියූ ඔහු බොදු බැති ගීයට සේම කිතුනු ගීයටද තම පන්හිඳෙන් දිරි දුන්නේය. ඔහු ලියූ ගී පල්ලියේ ගීතිකා පොතටද ඇතුළත් විය. 'පෙර දිනයක මා පෙම් කළ යුවතිය' වැනි ගී විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ ජනප්‍රිය කුරුටු ගී විය. ඔහුගේ පන්හිඳෙන් ගලා ආවේම ප්‍රේමයයි. එය වරෙක මානවයා අරභයා ද පරිසරය අරභයා ද නොවෙනස්ව පැතිරිණි. දශක ගණනාවක් මුළුල්ලේ තම පන්හිඳෙන් මිනිස් හද සන්තානයේ අපූරු සිතුවම් මවන මේ ගී උල්පත සැබැවින්ම රසිකයන් ලෙස අප ලද වාසනාවකි.

''1969 දී මා සරෝජනී ඉලංගන්තිලක සමඟ විවාහ වුණා. මේ වනවිට ඇය ජීවතුන් අතර නැහැ. ඇය හා විවාහ වීමත් සමඟ මට තවත් ගමක පහස ලැබුණා. රඹුක්කන. මගේ නිර්මාණවල ඔබට හමුවෙන මහකන්ද. ඒ ගමට එන විටයි මට හමුවුණේ. අපිට දියණියන් සිව්දෙනෙකු සිටිනවා. දෙදෙනෙක් නිවුන්නු. අමිලා, උවිනි, උදාරා හා සුසංගතා ඒ හතරදෙනා.''

අතීතයේ සිදු වූ සිත් රිදීම්, රුකියා අහිමිවීම් ආදී බොහෝ තැන්වල තමන් නොවැටී ඉදිරියට ආ හැටි ඔහු පවසන්නේ වත්මන් පරපුරට සැබෑ දිරියක් වෙමිනි. ඔහු විසින් ලියන ලද නැවුම් කෘතිය 'මතක නිම්නය' ට එබෙන්නට ඔබට දැන් ඉඩහසර විවරය. සුනිල් සරත් පෙරේරා උපහාර ප්‍රණාම උළෙල 'මතක නිම්නය' ජාතික ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරි පරිශ්‍ර‌ෙය්දී පැවැත්විණි. මහාචාර්ය ජයන්ත අමරසිංහ, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා ආදි විද්වත්හු එහිදී දෙසුම් පැවැත්වූහ. සුනිල් සරත් පෙරේරා නම් වූ අර්ථවත් නිර්මාණ උල්පත තව චිරාත් කාලයක් නොසිඳී මෙරට සුවහසක් සිත් සුවපත් කරන්නට වරම් ලබන්නට කියා අපි සුබ පතමු.

I මොනිකා සේරසිංහ