2023 මාර්තු 26 වන ඉරිදා

මැටි ශබ්දාගාරයේ ඉංජිනේරු හාමුදුරුවෝ

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 444

ජාතියේ මුර දේවතාවන් වන අපේ රටේ භික්ෂූහු රට දැය සමය රැකගැනීමටත්, ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසාත් අපිරිමිත කැප කිරීමක් කරති. බණ දේශනා කිරීම පමණක් හාමුදුරුවන්ගේ වැඩක් යැයි කවුරුන් හෝ සිතුවද ඉන් ඔබ්බට යමින් කලාවට, සාහිත්‍යයට ඉන් එහා ගිය සමාජ වගකීමක් ඉටු කළ තොටගමුවේ රාහුල හිමි පරපුරේ කලාකාමී භික්ෂූහු මේ මිහිපිට තවමත් වැඩ වසති. 

විහාරමහාදේවි උද්‍යානයේ ඇති සමාධි බුදු පිළිමය නිර්මාණය වූයේ සිතුවම් කලාවේ දස්කම් දැක්වූ මාපලගම විපුලසාර හිමියන්ගේ දෑතෙනි. මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ නැතිවම බැරි සම්පතක් වූ කඹුරුපිටියේ වනරතන හිමි, ගීත කලාවේ රූස්ස වෘක්ෂයක් බඳු රඹුකන සිද්ධාර්ථ හිමි, සාහිත්‍ය කෙතේ දිදුලන වූ බටුවංගල රාහුල හිමි ආදී භික්ෂූහු බොහොමයක් ශාසනය බැබළවීමට පිටිවහලක් වූහ. මේ කියන්නට යන්නේද ලොකු වැඩ කරන පොඩි සාදු කෙනකු වන එවන් වූ බුද්ධ පුත්‍රයකු ගැනය. 

සංගීත ශබ්දාගාර ඔබ ඕනෑතරම් දැක ඇති. එහෙත් සුන්දර වෙල් යායක් මැදක මැටියෙන් නිම කළ සංගීත ශබ්දාගාරයක් දැක ඇතිදැයි ප්‍රශ්නයකි. මැටියෙන් නිම කළ සංගීත ශබ්දාගාරයක කසාවතින් වැඩ කරන ශබ්ද ඉංජිනේරු හිමිනමක් අපට හමුවූයේ පන්නිපිටියේ චන්ද්‍රසේකරාරාම විහාරස්ථානයේදීය. එම විහාරස්ථානය අදටත් ප්‍රචලිත වන්නේ බලංගොඩ ආනන්ද මෛ‍ත්‍රීය නාහිමියන්ගේ විහාරස්ථානය ලෙසය. 

සුසර නමින් නම් කර ඇති මෙම සංගීත ශබ්දාගාරයේ සම්පූර්ණයෙන් බිත්ති බැඳ ඇත්තේ ගඩොලෙනි. කටුමැටි බිත්තියෙනි. මුල් කාලයේ සිට හෙවිලි කර ඇත්තේ පොල්අතුය. සංගීත ශබ්දාගාරයක පැවතිය යුතු තත්ත්ව ගුණාත්මකභාවය ඇතුළතින් පවා රැකගනිමින් මෙම ශබ්දාගාරය නිර්මාණය කර ඇත්තේය. මැටි බිත්තිවලට ශබ්දය උරා පෙරා ගැනීම යන තාක්ෂණය පළමු වරට අත්හදා බැලූ මෙරට ප්‍රථම සංගීත ශබ්දාගාරය මෙය වෙයි. 

ඩබ්ලිව්.ඒ. ගුණතිලක සහ පුන්‍යවතී කාරියවසම් යන මවුපියන්ට දාව චන්දන ගුණතිලක නම් කුල කුමරුවා වර්තමානයේ හත්පෝරුවේ චන්දරතන හිමියෝ වෙති. චන්දරතන හිමියන්ගේ උපන්ගම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව හත්පෝරුව ග්‍රාමයයි. හත්පෝරුවේ සෝමාදේවි මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා රත්මලාන මල්ලිකාරාමය සහ ගංගොඩවිල සුභද්‍රාරාමයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරි හිමිනමකි. 1994 පටන් කලා නිර්මාණවලට දස්කම් දක්වන චන්දරතන හිමියන් මූර්ති කැටයම් ශිල්පයත්, නාට්‍ය නිර්මාණ අධ්‍යක්ෂණයත්, ගීත ඇතුළු වැඩසටහන් නිර්මාණ කාර්යයටත් එක සේ හපන්කම් දක්වන හිමිනමක් වෙති. එහෙයින් උන්වහන්සේ කිවිපති සම්මානය ඇතුළු සම්මාන රුසකින්ම පිදුම් ලබා ඇත්තාහ.

ශබ්දාගාරයෙහි විශේෂත්වය පිළිබඳ සොයා අපි වෙල් යාය මැදින් ඉදිරියට ගමන් කළෙමු. එහිදී වෙල් යාය මැද පිහිටි චන්ද්‍රසේකරාරාම විහාරස්ථානය හමුවන්නේය. එහි පිහිටි මෙම කලාත්මක ගොඩනැගිල්ල ඉදිකිරීමට නිමිත්ත වී ඇත්තේ ප්‍රවීණ කලා ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ‘රාළහාමි’ නම් ගැමි නාටකයයි. 

විහාරස්ථානයේ ධර්ම ශාලාවේ සිදු කරමින් තිබූ කලා කටයුතු වෙනුවෙන් මෙම කලාත්මක ගොඩනැගිල්ලට අත්තිවාරම ඉදි විය. සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කරමින් සිය දෑතින්ම මෙය නිර්මාණය කර ඇත. චන්දරතන හිමියන් පවසනුයේ ශබ්දාගාරය ඉදිකිරීමත් එහි ශබ්ද තාක්ෂණය සහ රූප රාමු සංස්කරණ කාර්යයත් කරනුයේ තමන්වහන්සේ තනිවම අත්හදා ඉගෙනගත් දැනුමකින් පමණක් බවයි. මුල් කාලයේ නිර්මාණ දිගින් දිගටම කිරීමෙන් ලත් අත්දැකීම් ඇසුරෙන් මෙම නිර්මාණ පළපුරුද්ද තමන් මේ දක්වා දුර රුගෙන ආ බවත් උන්වහන්සේ පැවසූහ.  

“ශබ්දාගාරයේ රූප රාමු රචනයට මුල පිරුණේ විශාරද ජගත් වික්‍රමසිංහ මහතා නිසායි. එයට හේතුව සඳ මඬලක් සේ නමින් ඔහුට මා ගීතයක් නිර්මාණය කළා. එම ගීතයට රූප රචනයක් කිරීමට විවිධ අධ්‍යක්ෂවරුන් සමඟ කතා බහ කළත් ඔවුන්ගේ මිල ගණන් ඉතා ඉහළ බව තේරුණා. ඒ බව ජගත් මහතාට පැවසුවාම ඔහු මා හට premiere pro 2 මෘදුකාංගය ගෙනත් දී යෝජනා කළේ එම කාර්යයත් ඔබවහන්සේට හැකි වේවි කියායි. ටික දිනකින් එම මෘදුකාංගයත් දිගින් දිගටම අත්හදා බැලුවා. මාසයක් තිස්සේ තනියම ඡායාරූප යොදමින් මේ වැඩේ කළා. ඒ කාලයේ වෙන මුකුත් වැඩක් කරන්නේ නෑ. මේකමයි කරන්නේ ආසාවට. කොහොම හරි එම රූප රචනය ජාතික රූපවාහිනියේ විකාශය වුණා. ඒ කාලයේ අද තිබෙන තාක්ෂණය මුකුත් නෑ. යම් වීඩියෝවක් රූපවාහිනියේ විකාශය කරනවා නම් ‘බීටා කෑම්වලට’ පරිවර්තනය කරන්න ඕනෑ. ඒක කරන තැනුත් ලංකාවෙ හැමතැනම තිබුණෙ නෑ. කළුබෝවිල එක තැනක් තිබුණා. එතැනට ගිහින් තමා ඒ වැඩේ කර ගත්තේ. අවසානයේ එය එම ගීතයේ රූප රචනය බවට පත්වුණා.” 

චන්දරතන හිමියන් වැඩිදුරටත් පැවසූයේ චන්ද්‍රසේකරාරාම විහාරාධිපති මොලමුරේ නන්දාරාම හිමියන්ගේ අනුශාසනා සහ අත්දැකීම් කැටිකර ගනිමින් මේ ආ ගමන් මඟේ අද වනවිට රූප රාමු සංස්කරණය ඇඩෝබි ප්‍රිමියර් පීටී 2022 මෘදුකාංගයෙන් සහ ශබ්ද පටිගත කිරීම කියුබේස් මෘදුකාංගය දක්වා වැඩ කරන බවයි.  

චන්දරතන හිමියන් අතින් මැටි ශබ්දාගාරය ඇතුළේ මේ වනවිට ගීත 300 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර අවසන්ය. විශාරද නන්දා මාලිනී, බන්දුල විජේවීර, සෝමතිලක ජයමහ, සෝමසිරි මැදගෙදර, ටී.එම්. ජයරත්න, ජගත් වික්‍රමසිංහ, සමන් ද සිල්වා, දයාන් විතාරණ, ජානක වික්‍රමසිංහ ආදී ගායක ගායිකාවන් විශාල පිරිසකගේ ගීත බොහොමයක් මෙම මැටි ශබ්දාගාරයේ නිර්මාණය කර ඇත. ගායන ශිල්පී සෝමතිලක ජයමහ මහතාගේ පොඩි දුවගේ සිනා වැලයි, බුදු පියාණනේ, දස බිම්බර, වත්සුණු සුවඳින්, කුසුම් පිපී ආදී ගීත ගණනාවක රූප රචනා 100 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කර තිබේ. එසේම හත්පෝරුවේ චන්දරතන හිමියන් සේම මෙරට සංගීත ක්ෂේත්‍රයට අගනා මෙහෙවරක් සිදු කරන බිබිලාදෙණියේ මහානාම හිමියන්ගේද සංගීත නිර්මාණ අගය නොකරම බැරිය. මේ ගෙවෙන්නේ රටට දැයට වැඩදායක වූ මෙවැනි බුද්ධ පුත්‍රයන් මෙම පින්බිමට වැඩි වැඩියෙන් අවැසි කාලයකි.

I සසංක චලන ගිම්හාන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00