2023 මාර්තු 26 වන ඉරිදා

ලංකාවේ දවසකට ජෝඩු 300ක් දික්කසාද වෙනවා!

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 675

විවාහය යනු එක්තරා ගිවිසුමකි. දෙදෙනකු විවාහ වන්නේ බොහෝ අපේක්ෂාවන් හිත තබා ගෙනය. ජීවත්වන කාලය පුරා දෙදෙනා එක්ව සිටින්නට විවාහය තුළින් අදිටන් කර ගනිති. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2018 පුද්ගලයන් 170,027ක්ද, 2019වසරේ 163,378ක්ද, 2020 වසරේ 143,061ද, 2021 වසරේ 162,628ක් ද වශයෙන් ශ්‍රී ලංකාවේ විවාහ ලියාපදිංචි කර තිබේ. එහෙත් දිගු කාලයක් එක්ව ජීවත්වන්නට ගත් තීරණය විවිධ නොගැලපීම් මත වෙනස් කිරීමට සිදුවේ. එවිට සිදුවන්නේ නීතියෙන් වෙන්වීම හෙවත් දික්කසාදයයි. 

දික්කසාදය එම සිදුවීමට මුහුණ දෙන දෙපාර්ශ්වයටම කටුක අත්දැකීමකි. එය බොහෝ විට සම්බන්ධතාවයක අවසානය සනිටුහන් කරන අතර, වැඩිහිටියන්ට පමණක් නොව දරුවන්ටද බලපාන්නකි. ලොව විවිධ රටවල සිදුකරන ලද අධ්‍යයනවලින් අනාවරණ වී ඇත්තේ දික්කසාදය නිසා මානසික සෞඛ්‍ය ගැටලු හා ආර්ථික ගැටලු නිර්මාණය විය හැකි බවටය. ඇතැම් අවස්ථාවන්හි දික්කසාද වූ පුද්ගලයන්ට තමන් පෙර ගෙවූ ජීවිතයට වඩා සාර්ථක දිවියක් උරුම කරගෙන පෙරට වඩා ශක්තිමත්ව ජීවිතය යන්නට සමත් වෙයි. දික්කසාදයට එකිනෙකා අතර නොගැලපීම්, මූල්‍ය ගැටලු, සමීප සබඳතා නොමැතිවීම, මත්ද්‍රව්‍ය භාවිතය, ගෘහස්ථ අපයෝජනය, ලිංගික ගැටලු, සදාචාරාත්මක හෝ ආගමික වෙනස්කම්, අවිශ්වාසය, ගැටුම් සමතයකට පත් කර ගැනීමට ඇති නොහැකියාව, අනියම් සබඳතා  වැනි බොහෝ කරුණු බලපානු ලබයි.

ජනගහනයට සාපේක්ෂව ලොව දික්කසාද වැඩිම රටවල් අතර ප්‍රමුඛ ස්ථානය ගන්නේ මාලදිවයිනය. එහි සෑම පුද්ගලයන් 1000කින් 5.5ක් 2022 වසරේ දික්කසාද වී තිබේ.. ගෝලීය මට්ටම අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 1000කින් දික්කසාද වන්නේ 0.2කි. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ලොව දික්කසාද වැඩිම රටවල් අතර පසුවන්නේ 113 වැනි ස්ථානයේය. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාවේ දික්කසාද වීමේ ප්‍රවණතාව වසරින් වසර ඉහළ යමින් තිබෙන බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති. කලකට ඉහත බස්නාහිර පළාත තුළ සිදු කරන ලද සමීක්ෂණයකට අනුව දිනකට දික්කසාද 300ක් පමණ සිදුව ඇතැයි මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂා ගෝකුල මහත්මිය ආර්ට් ඔෆ් ලිවින් නැමැති වැඩසටහනකදී වරක් ප්‍රකාශ කර තිබුණාය. අපේක්ෂා භංගත්වය, දරුවන් නොමැතිවීම, ආර්ථිකය කඩාවැටීම, දරුවන්ගේ අර්බුද, සුවකළ නොහැකි රෝගාබාධ, සැකය, ජංගම දුරකතන ඔස්සේ නිර්මාණය වන සබඳතා, සමාජ මාධ්‍ය නිසා ඇතිවන අර්බුද වැනි කරුණුද දික්කසාද වැඩි වීමට හේතුවක් යැයි ඇය සඳහන් කර තිබිණි.

 

ක්කසාද නඩු සඳහා නීති උපදෙස් පතා තමන් වෙත එන සේවාදායකයන්ගෙන් 80%ක් පමණ කාන්තාවන් බව නීතීඥ මධූෂා හෙට්ටිගේ වරක් බීබීසී සිංහල සේවය වෙත ප්‍රකාශ කළාය. බොහෝ කාන්තාවන් ගෙදර දොර වැඩකටයුතු මෙන්ම රුකියාවේද නිරත වන අතර ඇතැම් සැමියන් සියලු බර බිරියගේ කරමතට දමා තිබීමත්, මත්පැනට ලොල්වීම හා ගෘහස්ත හිංසනයත් දරාගත නොහැකි බැවින් බොහෝ කාන්තාවන් දික්කසාද වීමට උපදෙස් පතන බව ඇය කියා තිබුණාය.

ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි

දික්කසාදවීමේ වර්ධනයක් නිර්මාණය වීම සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්  දික්කසාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන ඇතැම් සමීක්ෂණ වාර්තා සකස් වූයේ කුමන ආකාරයටද යන්න පිළිබඳව නැවත සොයා බැලීමක් සිදු කළ යුතු බව පවසයි.  ''ශ්‍රී ලංකාව වැනි රටක දිනකට 300ක් 400ක් වැනි පිරිසක් දික්කසාදය ඉල්ලුම් කරනවා යන්න විශ්වාස කිරීම අසීරුයි. කෙසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාව තුළ විශාල අර්බුදයක් ඇතිවී තිබෙන බව නම් සත්‍යයක්. අපේ සමාජය සාම්ප්‍රදායික සාංස්කෘතික  සමාජයක සිට නවීන නාගරික සමාජයක් දෙසට ගමන් කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව පවතින්නේ එක්තරා සංක්‍රාන්ති සමයකයි. එක පැත්තකින් සාම්ප්‍රදාය ආරක්ෂා කළ යුතුයි යන මතය සහ වේගයෙන් නවීකරණය විය යුතුය යන මතය අතර අපේ සමාජය දෝලනය වනවා. මෙවැනි පසුබිමක් තුළ බොහෝ අය වෙනත් රටවල් හා ලංකාව සංසන්දනය කරන්න උත්සාහ ගන්නවා. ඔවුන් ආදර්ශයට ගන්නේ බටහිර පවුල් සංස්ථාව.  ඔවුනට තමන් කැමති වෙලාවක එකිනෙකාගෙන් වෙන්වී යන්න පුළුවන් නිසා එම සංස්කෘතිය හොඳයැයි යන මතයේ සිටින පිරිස අපේ සමාජයේ අන්තර්ගත පුරුෂාර්ථයන් ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. මෙවැනි මතවාද පළවෙන්නෙත් වගකිව යුතු මාධ්‍යවල නොව ඉවක් බවත් නැතිව ලිංගිකත්වය සහ වෛරය වපුරන සමාජ මාධ්‍යවලයි. වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් වපුරනු ලබන අසම්මත ලිංගික ක්‍රියාකාරිත්වයන් කෙරෙහි ඇතැම් පිරිස් උනන්දු වෙනවා. මෙවැනි විකෘති සමාජ තත්ත්වයක් තුළ පුද්ගලයන් හුදෙකලා වෙනවා. වර්තමානයේ ස්ත්‍රී පුරුෂ දෙපිරිසම රැකියාවල නිරත වෙනවා. ඒ නිසා පවුල් සංස්ථාව තුළ තිබිය යුතු අන්‍යෝන්‍ය සහයෝගය, එකිනෙකා අතර ආදරය, රුකවරණය බෙදාගැනීම වැනි දේ ක්‍රමයෙන් අවම වෙලා. මේ අවම වීමේ හිස්තැන පිරවෙන්නේ අනියම් සබඳතා වැනි දේවල් මගිනුයි. මේ වන විට ලංකාවේ අනියම් සම්බන්ධතා ගොඩනැඟීම ක්‍රමයෙන් වර්ධනය වෙන බවක් දැකිය හැකියි. මෙවැනි වාතාවරණයක් යටතේ දික්කසාද වීම් සහ දික්කසාද නොවුවත් අතෘප්තකර පවුල් ජීවිත ගෙන යන පිරිස වැඩිවෙලා.'' යනුවෙන් සඳහන් කළේය.

අතීතයේ වැඩි අවධානයක් යොමු වූයේ පවුල් සංස්ථාව වෙතය. බොහෝ ගම් නියම්ගම්හි විවාහ නොවුවද අඹු සැමියන් ලෙස දරුවන් හදාවඩා ගනිමින් යහපත් ජිවිත ගෙවන්නට අපේ පැරුන්නෝ කටයුතු කළහ. දික්කසාදය යන්න ලැජ්ජාවට කරුණක් ලෙස පැරණි සමාජය පිළිගත් හෙයින් එකල දික්කසාද පිළිබඳව වාර්තා වූයේ ඉතාමත් අල්ප වශයෙනි. එහෙත් වත්මනෙහි දික්කසාදය සාමාන්‍ය තත්ත්වයක් බවට පරිවර්තනය වෙමින් පවතී. බොහෝ තරුණ පිරිස් විවාහය සහ පවුල් සංස්ථාවට වඩා ලිංගිකත්වයට ප්‍රමුඛතාවක් දීමට උත්සුක වන බව පෙනේ. බොහෝ විවාහ කෙටි කලකින්ම අවසන් වීමට එයද බලපා තිබේ.

දැනට සිදු කර ඇති අධ්‍යයනයන් අනුව පෙනී යන්නේ බොහෝ දෙනා දික්කසාද වන්නේ විවාහ වී කල් ගතවූ පසුව නොව පළමු වසර කිහිපය තුළදී බවයි.  වත්මන් තරුණ පරපුර තුළ විශේෂයෙන් නළු නිළියන්, ගායක ගායිකාවන්  විවාහ වී කෙටි කලකින්ම දික්කසාද වන බව විවිධ පුවත් ඔස්සේ වාර්තා වේ. ඇතැමෙක් මෙය විලාසිතාවක් ලෙසද සලකන බව පෙනෙන්නට තිබේ. වර්තමානයේ ජනප්‍රිය චරිත බවට පත්ව සිටින වැඩි පිරිසක් කාලානුරෑපව පරිණත වූවන් නොව නොව බොහෝ විට එක් රුයකින් හෝ දෙකකින් ජනප්‍රිය වූවන්ය. මේ පිරිස තුළ සමාජය පිළිබඳව, ජීවිතය පිළිබඳව  කියවීම අවමය. මෙවැනි පිරිස් විවාහ දිවියට ඇතුළු වුවද එය පවත්වාගෙන යාමේදී අර්බුදවලට මුහුණ දෙති. තම විරුද්ධ ලිංගිකයාගේ අදහස්වලට ගරු කිරීමට, සුහදව අදහස් හුවමාරු කර ගැනීමට, එකිනෙකා හඳුනා ගැනීමට  මොවුහු උත්සාහ කරන්නේ නැත. ඉන් ඇති වන්නේ එකිනෙකා අතර නොරුස්සනා ස්වභාවයකි. බොහෝ විවාහ අතරමග බිඳ වැටෙන්නේ එහෙයිනි.

වර්තමානයේ විවාහ වීමේ වයස් සීමාවද කල් යමින් පවතී. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ බොහෝ පිරිස් වැඩිදුර අධ්‍යාපනය සඳහා පෙළඹීම යැයි මහාචාර්ය මයුර සමරකෝන් සඳහන් කරයි. විවිධ දේශපාලන, සාමාජයීය හේතූන් මත අධ්‍යාපන ආයතනයන්හි තුළින් බිහිවන පුද්ගලයන් සමාජ ගතවීමට කල් ගතවෙයි. බොහෝ විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඉන් පිටවන්නේ වයස අවුරුදු 25 ඉක්මවූ පසුවය. විශ්වවිද්‍යාලයෙන් පිටවූ විගස ඔවුනට රුකියා ලැබෙන්නේ නැත. තාරුණය තුළ විවිධ සිහින තිබේ. ප්‍රේමයට වඩා ඔවුන්ට අවශ්‍ය වෙනත් ලෞකික සැපසම්පත්ය. ඔවුන් විවාහ වීමට අපේක්ෂා කරන්නේ මෙම අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුවය. එහෙයින් ඔවුහු තම අවශ්‍යතා වෙනත් අයුරින් විසඳා ගැනීමටද පෙළඹෙති. වර්තමානයේ ගම් මට්ටමින් පවා සම්බාහන මධ්‍යස්ථාන පවතින අතර තරුණ පිරිස් ඒ වෙත යොමු වීමද වර්ධනය වෙමින් තිබේ. මෙවැනි ස්ථානවලින් තම අවශ්‍යතා සපුරාගතහැකි බැවින් විවාහය පිළිබඳව එතරම් උනන්දුවක් ඔවුනට නොමැත. ඇතැමුන් විවාහ නොවී එකට ජීවත් වීමට (ලිවින් ටු ගෙදර්) කැමැත්තක් දක්වන බවක්ද පෙනෙන්නට තිබේ. එය සුළු පිරිසක් අතර පමණක් ප්‍රචලිත වුවද එයින්ද පැහැදිලි වන්නේ අවශ්‍ය විටෙක අනෙකා අතහැර යාමට පහසු හෙයින් එවැනි දේ තෝරා ගන්නා බවයි. එහි බටහිර සමාජයේ තරම් ප්‍රවණතාවක් නොමැති අතර තවමත් අපේ සාරධර්ම, ආගමික බැඳීම් මත වැඩි දෙනෙක් එවැනි සංස්කෘතියකට යොමු නොවන බවද මහාචාර්යවරයාගේ මතයයි.

♦ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා