2023 මාර්තු 19 වන ඉරිදා

කාතන්කුඩියේ පැවැති ලංකාවේ පළමු අමුතු කුකුළු දැක්ම

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 40

ඔබ මොහොතක් කල්පනා කර බලන්නේ නම් කුකුළන් සහ මිනිස්සු අතර ඇත්තේ අපූරු සම්බන්ධයක් බව ඔබට හැඟෙනු ඇත. සැබවින්ම මානව පරිනාමයේ මුල් අවදියේ පටන්ම කුකුළා මිනිසා අතර අපූරු සම්බන්ධයක් පැවති බව හෙළිවේ. උදෑසන අවදිවීමට, කෑම වේලක් රසවත් කිරීමට, යාග හෝම කිරීමට පමණක් නොව මිනිසාට සතුට විනෝදය සැපයීමට ද කුකුළන් සුවිසල් දායකත්වයක් සපයයි. අප ඔබ හමුවේ තබන්නට සූදානම් වන්නේ පසුගිය සතියේ කාත්තන්කුඩියේ පැවැති අපූරු කුකුළු ප්‍රදර්ශනයක් පිළිබඳ තොරතුරකි.

කාත්තන්කුඩි වෙරළ තීරයේ පැවති මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණේ ''Parrot Beak Exhibition Club'' නම් සංවිධානයක් විසිනි. ඔවුන් මාර්තු 5 වැනිදා පැවති මෙම ප්‍රදර්ශනය ''Sri Lanka Parrot Beak 2023'' ලෙස නම්කර තිබුණි. සැබැවින් මෙවන් ප්‍රදර්ශනයක් මෙරට සංවිධානය වූයේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. එනිසාම අප මෙම ප්‍රදර්ශනය පිළිබඳ තොරතුරු සොයා බැලූවෙමු.

Parrot Beak යනුවෙන් හඳුන්වන්නේ කුකුළන් විශේෂයකි. ගිරා හොටකට සමාන හොටක් සහ මොණරෙකුගේ මෙන් වල්ගයක් ඇති මෙම කුකුළන් විශේෂය තරමක් සුවිශේෂී ය. විවිධ කාලවලදී සහ ලොවපුරා විවිධ රටවලදී මෙම කුකුළු විශේෂ විවිධ නම්වලින් හඳුන්වනු ලැබ තිබේ. එහෙත් ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත ''පැරට් බීක්'' නාමකරණයයි.

අද වනවිට ලොවපුරා කුකුළු ලෝලීන් මෙම විශේෂයට අයත් කුකුළන් සුරතලුන් ලෙස ඇති දැඩි කිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ. ආරම්භයේදී මෙම විශේෂය කුකුළු පොර සඳහා යොදා ගැනුණද පැරට් බීක් කුකුළන් අලංකාරය සඳහා ඇති දැඩි කරයි. එනිසා අපනයනය වෙළෙඳපොළක් පවා මෙම කුකුළන්ට නිර්මාණය වී ඇති බව කාත්තන්කුඩි පැරට් බීක් ප්‍රදර්ශකයෝ කියා සිටිති.

ඔවුන් පවසන පරිදි ඉන්දියාවේ තමිල්නාඩුව මෙම කුකුළු විශේෂයේ නිජබිමයි. එහෙත් අද වනවිට පකිස්ථාන, උස්බෙකිස්තාන, ඕමානය සහ තායිලන්තය වැනි රටවල් රැසකද ''පැරට් බීක්'' කුකුළන්ට ඉහළ වෙළඳපොළක් තිබේ.

පසුගියදා කාත්තන්කුඩි වෙරළේ පැවැති මෙම ප්‍රදර්ශනයට කුකුළන් අභිජනනය කරන්නෝ 45 දෙනකු පමණ සහභාගී වී ඇති අතර ඔවුන් කුකුළන් 60කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට එක් කළෝය. ''Parrot Beak Exhibition Club'' හී සභාපති අනීස් අබුබකර් මහතා කියා සිටියේ මෙම ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාවේ ඉතා හොඳ තත්ත්වයේ අභිජනනය කළ ''පැරට් බීක්'' කුකුළන් සිටින බව දැනගැනීමට ලැබුණු බවකි. මෙවන් ප්‍රදර්ශන සාමන්‍යයෙන් පැවැත්වෙන්නේ ඉන්දියාවේ බවත් එවන් ප්‍රදර්ශන හරහා අපනයන වෙළඳපොළ අවස්ථා විවර වන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

රජයේ පශු සම්පත් අංශයේ අවසරයක් සහිත පශු වෛද්‍යවරයකුගේ අධීක්ෂණ යටතේ ''Sri Lanka Parrot Beak 2023'' සංවිධානය වී ඇත. තරගකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණ ඇත. මෙහිදී තරගකාරී ලෙස තෝරාගත් කුකුළන්ට පදක්කම් පිරිනැමීමටද සංවිධායකයන් කටයුතු කර තිබේ. කුකුළන් තරගකාරී ලෙස තෝරා ගැනීමේදී පැරට් බීක් වර්ගයේ සුවිශේෂී බව කැපී පෙනේ.

මෙම කුකුළන් ඇති කරන්නට අනුව කුකුලන්ගේ බර 5kg-7kg වේ. ඔවුන්ට අවුරුදු 10ක් 13ක් පමණ ආයුෂ තිබේ. නිසි ලෙස වැඩුණු කුකුළෙකු අඩි 3 පමණ උසකින් යුතුවීමද සුවිශේෂීය. මොරණරු හා සමාන දැවැන්ත වල්ගයක්ද පැරට් බීක් විශේෂයේ එක් කාණ්ඩයක් සතුය. කුකුළු ලෝලීන් පවසන පරිදි ඉතා තේජාන්විත වන අතර සෘජු රාජකීය ඉරියව්වක් ඇති මෙම කුකුළු විශේෂයේ බෙල්ලේ ලොම් සිංහයකුගේ බඳුය. කහපාට පාද නිල් පාට ඇස් පැරට් බීක් කුකුළු විශේෂය තවත් හැඩ කරයි.

අවසානයේ සඳහන් කළ යුත්තේ බොහෝදෙනා නොදන්නා නමුත් කුකුළන්ට ආදරය කරන විශාල පිරිසක් මෙරට සිටින බවකි. මසට පමණක් නොව සතුට වෙනුවෙන් ඔවුහු මෙවන් කුකුළන් ඇති දැඩි කරති. කෙසේ වෙතත් කුකුළු පොර ආදිය සම්බන්ධ නීතිමය ගැටලු ඇති බව සැබෑවකි. එහෙත් පොරට නොව විනෝදයට අලංකාරයට සුරතලුන් සේ ඇතිකරන බව කියැවෙන මෙවන් සත්ව විශේෂ ප්‍රවර්ධනයට රාජ්‍ය මැදිහත්වීම ලැබීම වටී.

දැනටමත් ඕමානය ඇතුළු රටවල් කිහිපයක පැරට් බීක් කුකුළන් නීත්‍යානුකූල අපනයනය කරන බව මෙම ප්‍රදර්ශකයන් කියා සිටිති. ඒ අනුව ඕනෑම නීත්‍යානුකූල අපනයන වෙළඳපොළක් මේ මොහොතේ රටක් ලෙස අපට වටින බව අවසානයේ අපි සිහිපත් කරමු.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00