2023 මාර්තු 19 වන ඉරිදා

කොළඹ අහස කළු කරගෙන යළිත් ගලන විෂ දුම

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 78

පසුගිය දින කිහිපයක් තුළදී කොළඹ නගරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරයි. ඒ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළදී කොළඹ ඇතුළු නගර කිහිපයකින් වළාකුළුවලින් බර, අඳුරු කාලගුණික තත්ත්වයක් වාර්තා විය.

''වායු ගුණාත්මක තත්ත්වය මැනීම සඳහා පැරා මීටර් හයක් පවතිනවා. එයින් සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, ඕසෝන්, කාබන් මොනොක්සයිඩ් සහ අංශුමය ද්‍රව්‍යයන් වල මිනුම් ලබාගන්නවා. වායුවේ ගුණාත්මකභාවය අඩු වැඩි ලෙසින් අපි පවසන්නේ මේ අංශුවල ප්‍රමාණයේ වෙනස් වීමයි. අංශුවල වැඩිවීමෙන් වායුගෝලීය ගුණාත්මකභාවය පහළ බසිනවා. අපි මනිනු ලබන පැරා මීටර්වලින් එකක් මෙලෙස විටින් විට වෙනස්වීමක් දක්නට ලැබෙනවා. අංශුවල මයික්‍රෝන තත්ත්වයේ 2.5 සිට 10 දක්වා වෙනස් වන අතර 2.5 තත්ත්වයද බොහෝවිට අපගේ නිර්නායක මට්ටමේ පැවැතිය ද වරින්වර මේ තත්ත්වය පොඩි වැඩිවීමක් දක්නට ලැබෙනවා.'' යැයි මධ්‍යම පරිසර අධිකාරියේ (පරිසර ආරක්ෂණ අංශය) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ආචාර්ය සංජය රත්නායක මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී මෙම ගුණාත්මකභාවයේ පහළ බැසීමේ තත්ත්වය දිගින් දිටගම පැවතුණි. එයට හේතු වී තිබුණේ ඉන්දියාව හරහා පැමිණි කාලගුණික තත්ත්වයකි. රටවල් කිහිපයක පැවැති සුළි කුණාටු එයට හේතු වී තිබූ බව පරිසර අධිකාරිය සඳහන් කරයි. මේ අතර පසුගිය දින දෙක තුනක් ඇතුළතදී නැවත වතාවක් මෙලෙසින් වායු ගුණාත්මක තත්ත්වයේ පහළ අගයක් වාර්තා වුණි. මෙයද බොහෝවිට ශ්‍රී ලංකාව තුළ ජනිත වූ තත්ත්වයක් නොවන අතර වෙනත් රටක ඇතිකළ දේශගුණ තත්ත්වයක් ලංකාව තුළ ඇතිකළ පාරිසරික බලපෑමක් විය හැකි බවයි. පරිසර අධිකාරිය සඳහන් කරන්නේ.

ඒ අනුව පසුගිය සතියේ දින දෙක තුනක් අතරතුරදී කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකදී මෙම තත්ත්වය නැවතත් ඇතිවුණි. වායුගුණ තත්ත්ව දර්ශකයට අනුව වායු අංශු බිංදුවේ සිට පනහ දක්වා ඇති අගය හඳුන්වනු ලබන්නේ යහපත් වායු තත්ත්වයන් ලෙසිනි. එමෙන්ම වායු අංශු ගුණය පනහේ සිට සියය දක්වා ඇති අගය සුළු මට්ටමේ සෞඛ්‍ය හානි කළ හැකි අතර මෙය බලපෑම් ඇතිකරනු ලබන්නේ අධි සංවේදී සීමිත පිරිසකටය. එමෙන්ම එකසිය එකේ සිට එකසිය පනහ දක්වා ඉහළ අගයක් ගනී නම් එය සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ඇති කරවන බව සඳහන් ය. පසුගිය සතිය තුළදී වායු ගුණ තත්ත්ව දර්ශකයේ කොළඹ නගරයේ එකසිය හැත්තෑ දෙකක් ලෙසින් වාර්තා වී තිබිණි. එමෙන්ම මන්නාරම, බදුල්ල, බත්තරමුල්ල, පුත්තලම, කළුතර ආදී නගරවලද මෙම වායු ගුණ ගත්ත්වය වාර්තා විය.

''පසුගිය දින කිහිපය තුළදී මෙම අගයන් නගර කිහිපයකට සියයට වඩා අගයක් වාර්තා වුණා. මෙය ඉතා විශාල වැඩිවීමක් නම් නෙමෙයි. මෙය තරමක වැඩිවීමක්. නමුත් මේ සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් විමසිලිමත්ව සිටියා. අපේ ප්‍රධාන මැනීමේ උපකරණ දෙකක් තිබෙනවා. එකක් කොළඹ බත්තරමුල්ලේත් අනෙක මහනුවර ජෝර්ජ් සිල්වා උද්‍යානයේත් සවිකරල තිබෙනවා. මෙහි දත්ත ඉතා නිවැරදියි. ඒ නිසා අපි කතාකරනු ලබන්නේ ඒ උපකරණ දෙකින් ලබාදෙනු ලබන දත්ත මඟින්. ඊට අමතරව ඇතැම් පර් යේෂණ ආයතන මගින්ද සංවේදක උපකරණ භාවිතා කොට දත්ත ලබාගන්නවා. නමුත් ඒවායේ දත්තවල ඇතැම්විට යම් යම් ගැටලු මතුවී තිබෙනවා. මේ නිසා අපි දත්ත ලබාගනු ලබන්නේ අනිත් උපකරණ දෙක මඟින්. සති දෙකකට පසුව නැවතත් එය යථා තත්ත්වයට පත්වෙලා තිබෙනවා.'' යැයි ආචාර්ය රත්නායක මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

මෙලෙස වායු අගය තත්ත්වය ඉහළ යාම ජනතාවට එතරම් සුදුසු වන්නේ නැත. විශේෂයෙන් ඇදුම වැනි ශ්වසනාබාධ ඇති අයට යම් ලෙසකින් ඒ ආබාධ වැඩිවීමට හැකිය. ඒ නිසාම මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලා ජනතාව දැනුවත් කරන අතර විශේෂයෙන් ශ්වසනාබාධ ඇති අය පරිස්සම් වීම ඉතා වැදගත් වේ. එහිදී මධ්‍යම පරිසර අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය සමගාමීව මේ දැනුවත් කිරීම් ජනතාවට ලබාදෙනු ඇත. මීට අමතරව යම් ලෙසකින් වායු දූෂණය වැඩිවීමත් ඉතා ශීඝ්‍රයෙන් වාර්තා වුවහොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යංශය, පොලිසිය ආදී අදාළ ආසන සියල්ල එක්ව එක් කණ්ඩායමක් ලෙසින් කමිටුවක් ක්‍රියාත්මක වේ. යම් ලෙසකින් ජනතාවට දරාගත නොහැකි වායු දූෂණ තත්ත්වයන් වාර්තා වුණි නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හරහා නිවේදනය නිකුත් කොට අවශ්‍ය කටයුතු සිදුකිරීමට සූදානමින් සිටී.

ලංකාවේ වායු දූෂණය සිදුවන ප්‍රධාන විධි තුනකි. එනම් රථවාහන වලින් සියයට හැටක් පමණ වායු දූෂණය වේ. ඊට අමතරව කර්මාන්ත සහ ගෘහස්ත කටයුතු මගින් වායු දූෂණය වේ. රථවාහනවලින් වායු දූෂණය අඩු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමෙන් එයින් වායු දූෂණය වීම යම් පාලනයක් වීම දක්නට ඇති අතර කර්මාන්තවලින් වායු දූෂණය අඩු කිරීම පරිසර ආරක්ෂක අංශ බලපත්‍ර ක්‍රමය හරහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාලනය කරනු ලබයි. ගෘහස්ත කටයුතුවලින් සිදුවන වායු දූෂණය පාලනය කරනු ලබන්නේ දැනුවත් කිරීම් මගිනි. ඒ නිසා දේශීය වශයෙන් අපගේ රට තුළ වායු දූෂණය සිදුවන්නේ අඩුවෙනි. වරින්වර වැඩිවන අංශුමය ද්‍රව්‍යයන් අනුව වැඩිවනු ලබන්නේ වෙනත් රටවල් නිසා ඇතිවන තත්ත්වයන්ය. ජල දූෂණයට සාපේක්ෂව වායු දූෂණය බොහෝ පැතිවලට ඉක්මණින් ව්‍යාප්ත වේ. පසුගිය කාලය තුළදී රටේ බොහෝ නගරවලින් වාර්තා වූයේද එවැනි තත්ත්වයකි.

I දිශානි ජයමාලි කරුණාරත්න