2023 මාර්තු 19 වන ඉරිදා

පොලිස් ලොක්කකු එක්ක බාල් නැටූ ’’මියගිය’’ පාතාලයා

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 36

හරියටම මීට වසර 13-15 කට පෙර කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක නිලධාරීන් කණ්ඩායමක් පාතාල ඝාතන රැල්ලක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් සඳහා එක්තරා වත්තකට ඇතුළු වෙයි. එම පොලිස් කණ්ඩායම සිවිල් සහ නිල ඇඳුමින් සැරසී සිටින අතර ඔවුහු එම වත්තේ අස්සක් මුල්ලක් නෑරම විවිධ පුද්ගලයන් සොයා පරීක්ෂා කරති.

''ඒ මේ වරෙන්... කෝ උඹලගේ මහ එකා....'' එක් තරුණයකුට අඬගසා පොලිස් නිලධාරියා විමසයි.

''අයියා නෑනේ... අයියා ඇතුළේ දැන් මාස දෙකක ඉඳලා....'' එම තරුණයා පවසයි.

එම සංවාදය යන අතරතුර පොලිස් නිලධාරීන් දෙන්නෙක් එක් අයකුට මාංචු දමා රුගෙන එයි. ඒ ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකයෙනි. 

''සර්... මේ එක මෑන් කෙනෙක්...'' පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් සැකකරු පෙන්නා කීය.

''අනේ සර් මේ මම කරන දෙයක් නෑ. මම මේ රට ඉඳලා ඇවිල්ලා රස්සාවක් කරන ගමන් ඉන්නේ. සර්ලාට වැරදිලා...'' යැයි අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ලොක්කා හමුවේ කියාගෙන කියාගෙන ගියේය.

සැකකරුගෙන් විස්තර අසන විට යම් පැටලිලි සහගත ස්වරෑපයක් තිබූ නිසා අවසානයේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. එසේ අත්අඩංගුවට ගෙන සැකකරුවත් රුගෙන ඔහුගේ නිවෙස පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායම පිටව ගියෝය. කොළඹ කෙළවර පිහිටි වත්තක කුඩා ලෑලි නිවෙසක් වෙත ගිය පොලිස් කණ්ඩායම එම නිවෙස පරීක්ෂා කළේය. එසේ පරීක්ෂා කරන විට නිවෙසේ තිබී හෙරොයින් සුළු ප්‍රමාණයක් හැඳුනුම්පත් තුනක් සහ විදේශ ගමන් බලපත්‍රයක් සොයාගනු ලැබීය. අවසානයේ ඒ සාක්ෂි මත සැකකරු අත්අඩංගුවට පත්විය.

කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගත් මොහොතේ පටන් පොලීසියට කොළඹ තරුණ මන්ත්‍රීවරයකුගෙන් එක දිගට ඇමතුම් ගලාගෙන ආවේය. ඒ සැකකරු නිදහස් කරන ලෙස ඉල්ලා සිටිති. එපමණක් නොව පොලීසියේ සිටි ඇතැම් ලොකු ලොක්කෝ පවා ඇමැතුම් ලබාදුන්හ. ඒ වනවිටත් සැකකරු සම්බන්ධයෙන් පොලිස් ලොක්කා පරීක්ෂණ පටන් අරගෙන තිබුණේය. එහෙත් පුදුමය දනවන කතාව එන්නේ ඊට පස්සේය.

එනම් හමුවූ හැඳුනුම්පත්වලින් මීට කාලයකට පෙර ගත්, නිවැරදිම හැඳුනුම්පත යැයි සහතික කරගත් හැඳුනුම්පතේ නම රුගෙන ගොස් සැකකරුට එරෙහිව ඇති නඩු, චෝදනා සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී මේ කතාව එළියට ආවේය. අහෝ පුදුමයකි. එවැනි කෙනෙක් ජීවතුන් අතර නැත. එවැනි කෙනෙක් ජීවත් වී ඇතත් ඔහු මියගොස් වසර පහකටත් වඩා වැඩිය. එය දුටු පොලිස් නිලධාරීහු අන්දමන්ද වූහ. ඇති නම් ගම්වලට අනුව එම පුද්ගලයාම වූ අතර උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ ස්ථානයෙන් පරීක්ෂා කරන විට එම පුද්ගලයා මියගිය අයකු ලෙස සටහන් වී තිබුණේය. සැබවින්ම මෙය හතර බීරි කතාවක් විය.

කෙසේ වෙතත් සැකකරු සම්බන්ධයෙන් තවත් සොයා බැලීමේදී අනාවරණය වුණේ සැකකරුට එරෙහිව ඝාතන සහ කුඩු නඩු රුසක් ඇති බවය. එසේ නම් සැකකරු මිය ගියේ කෙසේද? පසුව සැකකරු පාපෝච්චාරණය කළේය.

''සර් මම නඩුවලට වරෙන්තුවෙලා හිටියේ. මාව අල්ලන්න එහෙන් හිටියා, අනෙක් පැත්තෙන් කට්ටිය ගහන්න හිටියේ. ඉතිං ඒ වෙද්දි මම වැඩ කළේ.... මන්ත්‍රීතුමා ළඟ. එතුමාට එන යන කෙනෙක් ඉන්නවා ලොකු තැනක. එතුමට කියලා තමයි මම මැරුණා කියලා මරණ සහතිකේ ගත්තේ. ඊට පස්සේ මම වෙන අයිඩින්ටියක් හදාගෙන පාස්පෝට් එක හදාගෙන රට ගියා. ඒ ගිහින් ආයේ ආවේ මන්ත්‍රීතුමාගේ ඡන්දේ නිසා. ඒ වෙලාවේ පොඩි කේස් එකක් වෙලා මර්ඩර් එකක් වුණා. ඒ නිසයි තුන්වෙනි අයිඩින්ටි කාඩ් එක හැදුවේ.'' යැයි සැකකරු පාපෝච්චාරණය කළේය.

සැබැවින්ම පොලීසියට පවා එය හිතාගත නොහැකි සිදුවීමක් විය. ජීවත්ව සිටින කෙනාට විරුද්ධව අධිකරණයට යනවා නම් එසේ යා යුත්තේ විදේශ බලපත්‍රයට අදාළ නමින්ද එසේ නැතිනම් ඔහුගේ සැබෑ නමින්ද යන්නය. සැබෑ නමින් ගියහොත් සැකකරු මියගොස් ඇති බව සහතික වීම නිසා අධිකරණයේදී නඩුව විසිවී යා හැක. ඒ නිසා පොලීසිය මෙහිදී අසරණ විය.

අවසානයේ පොලීසිය සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමේදී අනාවරණය වුණේ සැකකරු පොලීසියේ ඉහළම අයකු සමඟ සමීපව සබඳතා පැවැත්වූ බවය. එකට කා බී බාල් නැටූ බවත් අනාවරණය විය. ඒ සියල්ල සිදුකර ඇත්තේ මරණ සහතිකය ළඟ තියාගෙනය. ඊටත් වඩා පුදුම එම පොලිස් නිලධාරියා පවා එය දැන සිටීමය. අතර එහෙත් මන්ත්‍රීවරයාගේ මිත්‍රකම නිසා ඊට විරුද්ධව කිසිවක් සිදුකර නැත. ඒ නිසාම මෙම සැකකරු කොළඹ පාතාලයේ සැඟවුණු මාරයා ලෙස ක්‍රියාත්මක වී තිබේ.

කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුවද මන්ත්‍රීවරයාත්, පොලීසියේ ජ්‍යෙෂ්ඨයාත් ඇමතුම් ලබාදුන්නේ මේ සිදුවීම අනාවරණය වීමට පෙරය. එහෙත් එය වැරදී ගියේය. එහෙත් මේ ශ්‍රී ලංකාවය. අරමුණ වෙනස් කරගැනීමට ඕනෑම උපක්‍රමයක් භාවිතා කරන අය මෙහි සිටිති. ඒ අනුව ජ්‍යෙෂ්ඨ ලොක්කා අදාළ පරීක්ෂණය එම පොලීසියෙන් වෙනත් පොලීසියකට මාරුකරනු ලැබීය. ඒ මෙම පරීක්ෂණය යට ගැසීම සඳහාය. ඒ අනුව අදාළ පරීක්ෂණය රහසේ සිදුවන තැනකට බාරදුන් අතර අදටත් ඒ පරීක්ෂණය රහසකි. ඊටත් වඩා මැරුණු පුද්ගලයාටද සිදුවූ දෙයක් නැත.

I ගයාන් ගාල්ලගේ