2023 මාර්තු 19 වන ඉරිදා

දරුවාගේ උප්පැන්නේ ජාතිකත්වය හදාගන්න උසාවි ගිය නීතිඥ තාත්තා

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 260

දරුවෙක් ලොවට බිහිවූ විට ඔහුට අනිවාර් යෙන්ම උප්පැන්න සහතිකයක් ලබාගත යුතුය. එය ඔහුගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් සඳහා අතිශයින් වැදගත්වන ලියවිල්ලකි. තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඇතැම් රෙගුලාසි අධිරාජ්‍යවාදි සමයේ සකසන ලද ඒවාය. ඔවුන්ගේ රෙගුලාසිවලට අනුව ශ්‍රී ලංකාවේ වාසය කරන සිංහල, ශ්‍රී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ, ඉන්දියානු යෝනක, ශ්‍රී ලංකා යෝනක, හා බර්ගර් යන ජාතිකත්ව අනුව එම ජාතීන්ට අයත් දරුවන්ගේ උප්පැන්නයේ පියාගේ ජාතිය සඳහන් විය. 

තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එම පැරණි රෙගුලාසි බැවින් ජාතිය ලෙස ඉහත කී ජාතීන්ගෙන් එකක්  උප්පැන්න සහතිකයේ සඳහන් කළ යුතුය. එකම ශ්‍රී ලංකාවක ජීවත්වන මිනිසුන් බෙදා වෙන් කිරීම සම්බන්ධයෙන් 15 වසරකට අධික කාලයක් පුරා මෙරට ප්‍රකට සමාජ ක්‍රියාකාරී නීතිඥවරයකු හා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයකු වන නීතීඥ නුවන් බෝපගේ තුළ වූයේ නොපැහැදීමකි.  රටක මිනිසුන් ආගම්, ජාති වශයෙන් බෙදා වෙන් කිරීමට ඔහු එරෙහි විය. මේ වන විට ලොව බොහෝ රටවල් එරට ජනතාව මෙන්ම රටේ ජීවත්වන සුළුතර ජනතාවද සලකන්නේ තම රටේම ජන කොට්ඨාශයක් ලෙසිනි. එහෙයින් ශ්‍රී ලංකාවේද එලෙස පැවතිය යුතුය යන්න ඔහුගේ මතය විය. ඔහු තම දරුවන් උපන් අවස්ථාවේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ලෙස සඳහන් ස්ථානයේ මනුෂ්‍ය හෝ ශ්‍රී ලාංකික යනුවෙන් සඳහන් කළේ ඒ අනුවය. එහෙත් පළමු දරුවාගේ උප්පැන්න සහතිකයේ ඔහු අයැදුම් කළ පරිදි ශ්‍රී ලාංකික යැයි සඳහන් නොකොට එම ස්ථානයේ ඉරිකැබැල්ලක් සටහන් කර උප්පැන්නය ලබා දීමට බලධාරීහු කටයුතු කළහ. ඔහුගේ දෙවැනි දරුවා උපත ලද්දේ මින් දෙවසරකට පමණ ඉහතදීය. එම අවස්ථාවේද නීතීඥවරයා අයැදුම් පතේ පියාගේ ජාතිය යනුවෙන් සඳහන් ස්ථානයේ සටහන් කළේ මනුෂ්‍ය‍ හෝ ශ්‍රි ලාංකික යනුවෙනි. එසේ සඳහන් කළ නොහැකි නම් එම ස්ථානය හිස්ව තබන ලෙස ඔහු ඉල්ලා තිබිණි. එහෙත් ඔහුගේ ඉල්ලීම අනුව කටයුතු කිරීම රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ප්‍රතික්ෂේප කළේය. 

මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ නීතීඥ නුවන් බෝපගේ මහතා,

''මගේ වැඩිමල් දරුවගේ උප්පැන්න සහතිකයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේ මම පියාගේ ජාතිය කියන තැන යෙදුවේ මනුෂ්‍ය හෝ ශ්‍රී ලාංකික ලෙසටයි. නමුත්  උප්පැන්නය නිකුත් කළේ එහි කිසිවක් ඇතුළත් කරන්නේ නැතිව නිකම් ඉරක් යොදලයි. මීට වසර දෙකකට පමණ ඉහත මගේ දෙවැනි දරුවා උපන් අවස්ථාවේත් උප්පැන්න සහතිකය ලබා ගැනීම සඳහා මම එම ඉල්ලීමම කළා. එම අවස්ථාවේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ''කලින් වතාවේ ඉරක් යොදා එවීමත් වැරදි ක්‍රියාවක්. නීතිය අනුව එසේ කළ නොහැකියි. ඔබේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය සිංහල යනුවෙන් සඳහන් වන හෙයින් අනිවාර්යයෙන්ම පියාගේ ජාතිය සිංහල කියා මෙම උප්පැන්නයේද සඳහන් කළ යුතුයි'' යනුවෙනුයි. එසේ සඳහන් නොකරන්නේ නම් මගේ පුත්‍රයාට උප්පැනන් සහතිකයක් ලබා දීම ඔවුන් ප්‍රතික්ෂේප කළා. වසර දෙකකට අධික කාලයක් ගතවුණත් මේ වන තෙක් මගේ දරුවාට උප්පැන්න සහතිකයක් නැහැ. මෙම අසාධාරණ ක්‍රියාවට එරෙහිවයි මම 2021 වසරේ නඩුවක් ගොනු කළේ.. ඒ අනුව නඩුව පවත්වාගෙන යාමට අධිකරණය අවසර දුන්නා''

සිය පුත්‍රයාගේ උපැන්න සහතිකයේ ‘ජාතිය’ ශ්‍රී ලාංකික වශයෙන් සඳහන් කරන ලෙසත්, එසේ කළ නොහැකි නම් එම ස්ථානය හිස්ව තබන ලෙසත් කළ ඉල්ලීම මත එම උප්පන්නය ලියාපදිංචි. කිරීම ප්‍රතික්ෂේප කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා නීතිඥ නුවන් බෝපගේ මහතා ඉදිරිපත් කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබිණි. 2021 දෙසැම්බර් මාසයේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගම්පොල යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල ඉදිරියේ  පෙත්සම කැඳවූ අවස්ථාවේ උප්පැන්න සහතිකයක ජාතිය සඳහන් නොකර සිටීමට හැකියාවක් තිබේදැයි රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් විමසා දැනුම් දෙන ලෙස අධිකරණය නීතිපතිවරයාට නියම කළේය. 

පසුගිය මාර්තු 10 වැනිදා අභියාචනාධිකරණයේදී නඩුව කැඳවන ලදී. එම අවස්ථාවේ පෙත්සම්කාර නීතිඥවරයාගේ දරුවාගේ උප්පැන්න සහතිකයේ පියා ඉල්ලා ඇති පරිදි සඳහන් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා එකඟතාවකට පැමිණීම හේතුවෙන්
පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

''නඩුව පවත්වාගෙන යාමේදී මගේ ඉල්ලීමට අනුව උප්පැන්න සහතිකයක් නිකුත් කරන බවට. රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා අධිකරණයට වාර්තා කළ බැවින් නඩුව සමතයකට පත් වුණා.  සමතය අනුව උප්පැන්න සහතිකය අප ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව ලබා දෙන බව පවසා තිබෙනවා. මට සැකයක් තිබෙනවා උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී යළි පරණ දෙයම කරයිද කියලා. එසේ කළහොත් අප ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට පියවර ගන්නවා.'' යනුවෙන් නීතිඥ නුවන් බෝපගේ මහතා සඳහන් කළේය.

උප්පැන්නයේ ජාතිය ලෙස සඳහන් කොටුවේ ශ්‍රී ලාංකික වශයෙන් සඳහන් කිරීම  සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන ගෙන ඒමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කර තිබේ.  එහෙත් විවිධ බලපෑම් හේතුවෙන් එය යටපත් විය. ''ඇතැම් භික්ෂූන්වහන්සේ සහ සිංහල බෞද්ධ පිරිස් මෙයට විරුද්ධ වුණා. ශ්‍රී ලාංකික කියා යොදන්නට අකමැති කෙනකුට සිංහල හෝ දෙමළ හෝ වෙනත් ජාතියක් හෝ සඳහන් කිරීමට බාධාවක් නැහැ.  ලංකාවේ සිංහල කියා සඳහන් කිරීම වරප්‍රසාදයක්, සුළු ජාතීන්ට තමයි ගැටලුවක් පවතින්නේ. ඒ නිසා පොදුවේ ශ්‍රී ලාංකික කියා සඳහන් කිරීමෙන් සුළු ජාතීන් පීඩාවට පත්වීම අවම වෙනවා.'' යනුවෙන් නීතීඥ බෝපගේ සඳහන් කළේය.

අලුත උපන් දරුවන්ට ලබාදෙන උප්පැන්න සහතිකයේ 2019 වසරේ සිට දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳව දැක්වීමේදී ''ශ්‍රී ලාංකික'' යනුවෙන් සඳහන් කිරීමට පියවර ගන්නා බවට හිටපු රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා වරක් ප්‍රකාශ කොට තිබිණි.

අනුරාධපුර නැගෙනහිර නුවරගම්පළාත් ප්‍රාදේශිය සභාවේ සභාපති එස්.බී. කුමාරදාස මහතාට 2019 ජූලි 12 වැනි දින එවන ලද ලිපියක ඔහු එලෙස සඳහන් කර තිබිණි.

අලුත උපන් දරුවන් සඳහා ලබාදෙන උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳව දැක්වීමේදී ශ්‍රී ලාංකික යනුවෙන් සඳහන් සුදුසු බවට කුමාරදාස මහතා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම ලිපියට පිළිතුරු ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා විසින් ජූලි මාසයේ ලිපියක් එවමින් එලෙස සඳහන් කරන බවට ප්‍රකාශ කර තිබූ බවට වාර්තා විය. එහෙත් නීතීඥ නුවන් බෝපගේ මහතා අධිකරණයෙන් එවැනි ඉල්ලීමක් කරන තෙක් එවැන්නක් ක්‍රියාත්මක වූයේ නැත.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා