2023 මාර්තු 19 වන ඉරිදා

රට පුරා අඬු විහිදුවන පාතාල බූවල්ලා

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 66

ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊය හඳුනාගෙන යුදමය වශයෙන් පරාජය කොට වාර්තාවක් තැබීමට මෙරට හමුදාව සමත් වූයේ දහතුන් වසරකට පෙරය. එහෙත් දවස් පතා වාර්තා වන පාතාල ගැටුම් ජාවාරම් කොතෙක් වුවද ඒවායේ අග මුල සොයනවා මිස මෙරටින් පාතාලය අතුගා දමන්නට තවමත් ආරක්ෂක අංශවලට හැකි වී නැත. ඒ සඳහා උපදෙස් දෙන්නට, ක්‍රියාත්මක වන්නට ආරක්ෂක ප්‍රධානියකු හෝ ඉදිරිපත් වී නැත. පාතාල නායකයන් ප්‍රබලයන් එකිනෙකාගේ ප්‍රහාර හමුවේ මැරී වැටුණද ගෝල බාලයන් කොපමණ අත්අඩංගුවට ගෙන සිරගත කළද ඒ සගයන්ගේ අඩුවක් නම් නැත.

පොලිස් අපරාධ විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන ඇති පරිදි මේ වනවිට ලංකාවේ පාතාලය හෙවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 750 – 800 අතර ක්‍රියාත්මක වෙමින් සිටිති. ඔවුන් පාතාල කණ්ඩායම් 40කට අයත් වූවන් බවටද පොලිසිය හඳුනාගෙන තිබේ. මෙම පාතාල ක්‍රියාකාරීන්ගේ බහුතරය බස්නාහිර පළාත හා දකුණු පළාත ආශ්‍රිතව ක්‍රියාත්මක වන බවට හඳුනාගෙන ඇත. මොවුන් විසින් සිදු කරන අපරාධ බරපතළ අපරාධ, භීෂණකාරී සිදුවීම්, බල අපරාධ හා සුළු අපරාධ වශයෙන් හඳුනාගෙන ඇති බවද ඇතැම් කල්ලි ප්‍රධාන වශයෙන් මත් කුඩු ජාවාරම, කුලියට මිනී මැරීම, කොල්ලකෑම, කප්පම් ගැනීම මෙන්ම පස් වෙළෙඳාම, ඉඩම් හා දේපළ වෙළෙඳාම පසුපසද ක්‍රියාත්මක බවද හඳුනා ගැනිණි.

ලංකාව කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක පාතාල කල්ලිවල ඇතැම් ප්‍රබලයන් හා නායකයෝ මේ වනවිට විදෙස්ගතව සිට මෙරට පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවති. ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල මෙන්ම ඉන්දියාව, ඉන්දුනීසියාව හා යුරෝපයේ රටවල සැඟවී සිටින බව කියැවේ. මොවුන් අතර මැදපෙරදිග සැඟවී සිටින පාතාලයන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීමේ පුරෝගාමීහු වෙති. ඔවුහු හෙරොයින් සහ අයිස් ජාවාරම මෙහෙයවමින් සිටිති. මෙසේ විදෙස්ගතව සැඟවී සිටින පාතාල අපරාධකරුවන් සංඛ්‍යාව 70ක් පමණ බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) සමඟ එක්ව මෙහෙයුමක් අරඹා තිබේ.

මේ වනවිට එවැනි අපරාධකරුවන් 7 දෙනකු අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන අතර ඉකුත් සතියේ හරක් කටා හා පානදුර සළිඳු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන මෙරටට රුගෙන ආවේ ඒ අනුවය. ඉහත කී පාතාල ප්‍රබලයන් 70 දෙනාට අමතරව බල අපරාධවලට සම්බන්ධ වූවන් ගණනාවක් විදෙස්ගතව සිටින බවට තොරතුරු හඳුනාගෙන ඇත. ඒ අනුව පාතාල ප්‍රබලයන් ඇතුළු සෙසු අපරාධකරුවන් 150ක් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගැනිණි.

ඉන්දියාව, ඉන්දුනීසියාව හා මැදපෙරදිග රටවල සැඟව සිටින පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්තරුවන් පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම ජාත්‍යන්තර මට්ටමෙන් සිදු කරගෙන යන බව කියැවේ. ගතවූ 2022 වසරේ දෙසැම්බර් අවසානය වනවිට එවැනි පුද්ගලයන් 135 දෙනකුට පමණ ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කොට තිබුණේ වහා අත්අඩංගුවට ගැනීමටය. අනතුරුව ගෙවුණු මාස තුනක් තුළ පාතාලයන් 15 දෙනකුට පමණ අලුතින් රතු නිවේදන නිකුත් කෙරිණි.

දැනට බන්ධනාගාරගතව සිටින ඇතැම් පාතාල කල්ලි නායකයන් හා ප්‍රබලයන් එහි සිටම නිදහසේ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන බව ප්‍රසිද්ධය. එවැනි සිදුවීම් සනාථ වී තිබෙන බැවින් පාතාලයට සම්බන්ධ සිරකරුවන් විශේෂ කාර්ය බලකායේද සුවිශේෂ ආරක්ෂාවක් මත බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි. එහිදී තහනම් දුරකථන භාවිතය, සිම්පත් හඳුනා ගැනීම හා දුරකථන දත්ත හඳුනා ගැනීමේ නවීන පහසුකම් සහිත මැදිරියක්ද ස්ථාපිත කිරීමට පියවර ගනු ලැබීය.

මේ වනවිට ලංකාව ඇතුළත ක්‍රියාකාරී පාතාල සාමාජිකයන් 160 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින බව වාර්තා වේ. විදෙස්ගත පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ මැඩගස්කර රාජ්‍යයේදී ඉකුත් දා අත්අඩංගුවට ගත් හරක් කටා හෙවත් නඳුන් චින්තක නැමැත්තා 2008 වසරේ සිට මෙරට අපරාධ රුසකට සම්බන්ධ වූවකු බවට හඳුනා ‌ෙගන තිබේ. ඒ අතර හෙරොයින් ජාවාරම, මිනීමැරුම් හා කොල්ලකෑම් ප්‍රධාන බව කියැවේ.

බස්නාහිර හා දකුණු පළාත ආශ්‍රිතව මෙරට පාතාලය බහුලව ක්‍රියාත්මක අතර කොළඹ, ගම්පහ, කළුතර ප්‍රදේශවලට අමතරව දකුණු පළාතේ ගාල්ල, මාතර ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් ගැටුම් බහුලව දැකගත හැකිය. ඒ අතර කොළඹ ආශ්‍රිතව තොටළඟ, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය, කොළොන්නාව, අංගොඩ, කඩුවෙල, රණාල, නවගමුව, හංවැල්ල ප්‍රදේශ ආශ්‍රිත කැලණි ගං මිටියාවත දිගේ පාතාල ක්‍රියාකාරීන් බහුලව ගැවසෙන හා එවැනි සිදුවීම් බහුලව සිදුවන කලාපයක් වශයෙන් හඳුනාගත හැකිය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර