2023 මාර්තු 12 වන ඉරිදා

මැඩගස්කරයේදී මැණික් මුදලාලිලා වූ හරක් කටා කල්ලිය

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 385

සුපිරි පන්තියේ ධන කුවේරයන් පිරිසක් පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයේ 'නොසීබී' ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සේන්දු වී තිබුණේ පෙබරවාරි 12 වැනිදාය. එරට පෞද්ගලික සමාගමකට අයත් ගුවන් යානාවක් වෙන් කරවාගෙන පසු දිනම 'ඇන්ටනානාරිවෝ' ගුවන් තොටුපොළට ගිය පිරිස පෙනී සිට තිබුණේ මැඩගස්කරයේ මැණික් පතල් ආකරයකට මුදල් යෙදවූ ආයෝජකයන් පිරිසක් ලෙසය. අනතුරුව එරට ඉවාටෝ හා අම්බෝහිමංගකේලි නගරවල පිහිටි සුඛෝපභෝගී හෝටල්වල දින ගණනක් ගෙවූ පිරිස වෙනත් රටක් බලා යාමට යළිත් ගුවන් තොටුපොළට පැමිණ සිටියහ. මැඩගස්කර ආරක්ෂක අංශ නිලධාරීන් විසින් පිරිස එහිදී හිටිහැටියේ අත්අඩංගුවට ගෙන තිබුණේ ලැබුණු පැහැදිලි තොරතුරු මතය.

එරට ආරක්ෂක අංශ සනාථ කොටගෙන තිබුණේ සැකකරුවන් ශ්‍රී ලංකාවේ පොලිසියට අවශ්‍ය කරන අපරාධකරුවන් පිරිසක් බවය. මෙකී පිරිස ඉකුත් පළවැනිදා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවට මැඩගස්කරයේ ප්‍රධාන මාධ්‍ය ජාලයකට අයත් L’ Express වෙබ් අඩවිය වාර්තා කළේය. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 'හරක් කටා' හෙවත් 'මිදිගම චින්තක' නොහොත් නඳුන් චින්තක වික්‍රමරත්න සමඟ එවැනිම ජාවාරම්කරුවකු වන 'පානදුරේ කුඩු සලිඳු' හෙවත් සලිඳු මල්ෂිත ගුණරත්න මේ අනුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මොවුන් සමඟ තවත් සගයන් කිහිප දෙනකු සිටින බවත් හරක් කටාගේ බිරිය හා ඇයගේ පියාද වන බවත් වාර්තා වේ. මේ අතර නිල නොලත් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ජිංලේ, බඩෝවිට අසංක, පානදුරේ සුදූ හා තරංග යන අපරාධකරුවන් අතරින් කිහිප දෙනකුද අත්අඩංගුවේ පසුවන බවකි.

හරක් කටා හා පානදුරේ සලිඳු ඇතුළු අපරාධකරුවන් මෙරට ගෙන්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුෙව් මූලිකත්වයෙන් රහසිගත විමර්ශනයක් ආරම්භ කොට තිබේ. ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මැඩගස්කරය බලා යාමට සූදානමින් සිටිති. මෙම කණ්ඩායම සඳහා නිලධාරින් සිව්දෙනකු පත්කර ඇති බවත් ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ලැබී ඇති බවත් වාර්තා වේ. පසුගිය 7 වැනිදා රුස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ අවධානය යොමුකර ඇතැයි දැනගන්නට ලැබෙන අතර මැඩගස්කර ආරක්ෂක අංශ වෙතින් අපරාධකරුවන් බාරදීම සඳහා කැමැත්ත පළ කර ඇති බැවින් ඊට කඩිනම් පියවර ගන්නා බවද කියැවේ.

අපරාධකරුවන් මෙරටට රැගෙන එන අවස්ථාවේ ආරක්ෂාව සඳහා මැඩගස්කර ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකු ගිනිඅවි සහිතව පැමිණෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අනුව මැඩගස්කරය සිට ශ්‍රී ලංකාව දක්වා ඍජු ගුවන් යානයකින් සැකකරුවන් රැගෙන ඒමට කටයුතු සූදානම් කෙරෙනු ඇත. මෙසේ ගුවන් මගින් අපරාධකරුවකු රැගෙන ඒමේදී ආරක්ෂාව සඳහා නිලධාරින් තිදෙනකු යෙදවිය යුතු බවට නීතියක් ගුවන් සමාගම් සතුව පවතී. එසේම එක් ගුවන් යානයක එක් අපරාධකරුවකු වශයෙන් රැගෙන ආ යුතු බවටද නීතියක් බව කියැවේ. මේ නිසා සැකකරුවන් එක ගුවන් ගමනකදී රැගෙන ඒම ගැටලුවක්ව පවතී.

මීට පෙර අවස්ථාවකදී හරක් කටා ඩුබායිහිදී අත්අඩංගුවට පත්විය. ඒ බව ප්‍රසිද්ධ වීමත් සමඟ ඇතැම් නීතිඥවරු මෙරට සිට ඩුබායි බලා ගොස් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කළහ. ඒ ආකාරයට මෙවරද මැඩගස්කරයේ නීතිඥ සමාගමක් මගින් හරක් කටා ඇතුළු පිරිස මුදාගැනීම සඳහා මෙහෙයුමක් අරඹා ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී තිබිණ. හරක් කටා ඇතුළු පිරිසට ඩුබායි සිට මැඩගස්කරය දක්වා යාමට පෙර යානයක් වෙන්කොට ලබා දී ඇත්තේ එම පුද්ගලයාගේ මැදිහත් වීමෙනි. එම තැනැත්තා හරක් කටාගේ මෙරට මත්කුඩු ජාලයේ මුදල් උණ්ඩියල් කරන පුද්ගලයා බවත් දැනට ඩුබායිහි සිටින ඔහු මෙරට මහනුවර ප්‍රදේශයේ පදිංචි කෝටිපතියකු බවටත් කියැවේ. එම පුද්ගලයා මෑතකදී කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති බවත් පොලිසිය අනාවරණය කරයි. හරක් කටා මීට ඉහතදී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මුදාහැර සිටියදී පළමු වරට විදෙස්ගත වී තිබුණේ මැඩගස්කරය වෙතය. එම පළමු අවස්ථාවේදීම ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබූ බව බුද්ධි අංශ අනාවරණය කරයි. 

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් සැකකාර අපරාධකරුවන්ගේ නම් හෙළි නොකිරීමට පොලිසිය තීරණය කර ඇතැයිද වාර්තා වේ. ඒ ඔවුන්ගේද ආරක්ෂාව සනාථ කර ගැනීම සඳහාය. සැකකරුවන් ව්‍යාජ නම්වලින් විදෙස් ගමන් බලපත්‍ර සකසාගෙන සිටින නිසා හඳුනා ගැනීම අසීරු බැවින් ඔවුන්ගේ සමීප ඡායාරෑප මෙරටට එවා හඳුනා ගැනීමට ක්‍රියා කර ඇත. ඊට අමතරව ඔවුන් මැඩගස්කරයේ නවාතැන් ගෙන සිටි හෝටල්වල ඇති සී.සී.ටී.වී කැමරා දර්ශන විමර්ශනය කොට ඔවුන් ඇසුරු කළ පිරිස් හඳුනා ගනිමින් ඇත. එම තොරතුරු අනුව හෙළිවෙමින් ඇත්තේ මෙම අපරාධකරුවන් මැඩගස්කරය ආශ්‍රිතවද හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇති බවකි. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මොවුන් මෙරටට රැගෙන ආ පසුව කරන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වනු ඇත.

කලක් පුරා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි හරක් කටා එරටට පැන ගොස් තිබුණේ සන්ෂයින් සුද්දා නැමැති අපරාධකරු ඝාතනය කිරීමෙන් පසුවය. කුඩු සලිඳු නැමැත්තා පානදුර ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන හෙරොයින් ජාවාරම මෙහෙයවූ අයෙකි. තමන් පාවා දෙන හෝ තමන්ට එරෙහි වන ඕනෑම අයකුට කුලී ඝාතකයන් යොදවා මරා දමන්නට ඔහු පියවර ගත්තේය. පසුව කාටත් රහසේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් ඩුබායි රාජ්‍යයට පැනගත් පසුව මෙරට හෙරොයින් ජාවාරමෙහි නිරත වන අතරතුර වෙඩික්කරුවන් යොදවා මිනීමැරුම් ගණනක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර ඉකුත් දිනෙක වාර්තා වූයේ ඩුබායි රැඳී සිටින පාතාල නායකයන්ගේ කීමට කුලියට මිනී මරණ බූරුමූණා නැමැති වෙඩික්කරු ඩුබායි බලා පිටත්ව යාමට ගුවන් තොටුපොළට ගිය මොහොතේ ආගමන විගමන නිලධාරීන්ට කොටු වූ බවය. අනතුරුව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය භාරයේ සිටියදී සැකකාර අපරාධකරු පලා ගිය බව ප්‍රසිද්ධ පුවතකි. මොහු වෙඩි තබා සිදු කර ඇතැයි කියන ඝාතන සංඛ්‍යාව විස්සක් පමණය. වග ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රවිඳු වර්ණ රංග නමින් පෙනී සිට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කොට ඩුබායි බලා යාමට මොහු උත්සාහ කර තිබුණේ පසුගිය 24 වැනිදාය. එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ අවිස්සාවේල්ල අධිකරණය මගින් නිකුත් කර තිබූ නියෝගයක් අනුවය.

බූරුමූණා ඩුබායි බලා යාමට සැලසුම් කර ඇත්තේ ඩුබායි සහ ඉතාලියේ සිට මොහු ලවා ඝාතන සිදු කරන ජාවාරම්කරුගේ මුසා බසකට රුවටීමෙන් බව කියැවේ. එසේ රවටා මොහු ලවා ඝාතන රුසක් සිදු කිරීමට එම පුද්ගලයන් දෙදෙනා සමත්ව ඇතැයි කියයි. ඊට අමතරව හරක් කටා ඇතුළු බොහෝ පාතාලයන් මොහු ලවා මිනිස් ඝාතන සිදු කර ඇතැයි කියැවේ. පසුගිය 24 වැනිදා සවස 6.30ට පමණ අත්අඩංගුවට පත්වූ මොහු පොලිස් සිර මැදිරියේ නොතැබූ බවද කියති. මධ්‍යම රාත්‍රියේ හෙට්ටිපොල රිට්ටදෙණිය ශ්‍රී ජයලංකාරාම දහම් නිකේතනයේ විහාරාධිපති පොතේවෙල ඉන්ද්‍රසාර භික්ෂුව සමඟ තවත් සාමණේර හිමිනමක පැමිණ සුව දුක් විමසා ගොස් ඇතැයි පැවසේ. ඊට මොහොතකට පසුව බූරුමූණා පොලිසියෙන් පලා ගිය බව වාර්තා විය. 
මීට මාස තුනකට පමණ ඉහතදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු ලෙස ප්‍රකටම සිටි කංජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් ද අධිකරණයෙන් ඇප ලබාගත් පසු දිනම මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා පලා ගොස් ඇති බව වාර්තා විය. ඒ පසුගිය දෙසැම්බර් 21 වැනිදාය. මත්ද්‍රව්‍ය ජාවාරම, පුද්ගල ඝාතන හා ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා රුසක් සම්බන්ධයෙන් ඔහු වසර තුනක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව පසුවිය. 

මේ පුවත ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට පෙර වාර්තා කර තිබුණේද ඉන්දීය 'ද හින්දු' පුවත්පත මගිනි. කංජිපානි ඉම්රාන් ද කලක් මෙරටින් පලා ගොස් ඩුබායි සැඟවී සිට ශ්‍රී ලංකාවේ පාතාල ඝාතන රුසක් සිදු කරමින් හෙරොයින් කිලෝ ගණනින් විකුණා රුපියල් කෝටි ගණනින් උපයාගත් අයෙකි. ඔහු ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් ගණනක ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූවෙකි. මොහු ඉන්දියාවට පලා යාම පිළිබඳව අදටත් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය දැඩි අවධානයකින් පසුවන බව වාර්තා වේ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර