2023 මාර්තු 12 වන ඉරිදා

පුවක් මැජික් ලංකාවෙත්

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 285

පුවක් යනු අපේ සංස්කෘතියෙන් වෙන් කිරීමට නොහැකි දෙයකි. විවිධ සංස්කෘතික අවස්ථා සඳහා භාවිතයට ගනු ලබන පුවක් වාණිජමය වශයෙන්ද වාසිදායක නිෂ්පාදනයකි. විශේෂයෙන්ම පුවක්, අග්නිදිග ආසියාවේ වැදගත් වාණිජ පළතුරක් හැටියට ද සැලකෙයි. ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය වැනි රටවල් පුවක් නිෂ්පාදනයෙන් විශාල ආදායමක් උපයයි.

වෙළෙඳපොළේ පුවක් වර්ග දෙකකින් දක්නට ලැබේ. රතු පුවක් සහ සුදු පුවක් වශයෙන් වර්ණය අනුව මේවා වර්ගීකරණය කෙරේ. අමු පුවක්වලින් රතු පුවක් ලබාගන්නා අතර සුදු පුවක් නිපදවන්නේ ඉදුණු ගෙඩිවලිනි. පුවක් ගෙඩි මේද පොලිසැකරයිඩ, පොලිෆෙනෝල්, ප්‍රෝටීන් සහ තන්තුවලින් සමන්විතයි. 

ශ්‍රී ලංකාවේ බුලත් සමඟ හැපීමට පුවක් බහුලව භාවිත කළද ලෝකයේ විවිධ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස ද මේවා යොදා ගනී. විශේෂයෙන්ම මේවා ලෝක ආහාර වෙළෙඳපොළේ ප්‍රචලිත පෑන් මසාලා (pan masala) නිෂ්පාදනයට භාවිත කරන අමුද්‍රව්‍යවලින් ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙසද සැලකෙයි. මීට අමතරව, නොමේරූ පුවක් ඇටවලින් සාදාගන්නා අතුරු නිෂ්පාදනයක් වන ටැනින්, ආහාර වර්ණයකයක් ලෙස ද, පදම් කළ සම්, ඇඳුම් පැළඳුම් වර්ණකාරක ඩයි වශයෙන් ද යොදා ගනී. ආහාර නිෂ්පාදනවලට අමතරව ඖෂධ නිෂ්පාදනය සඳහා ඉන්දියාව සහ චීනය පුවක් අමුද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගනියි.

ඉන්දියාව ලොව විශාලතම පුවක් නිෂ්පාදකයා ලෙස සැලකෙයි. පුවක් නිෂ්පාදනය කරන අනෙකුත් ප්‍රධාන රටවල් අතර බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මියන්මාරය, චීනය, මැලේසියාව සහ තායිලන්තය ඇතුළත් වේ. ශ්‍රී ලංකාව ද මෑත කාලයේ සිට පුවක් නිෂ්පාදන දියුණු කිරීමට අවධානය යොමු කර ඇති රටකි. ශ්‍රී ලංකාව විශාල පුවක් නිෂ්පාදකයකු නොවුණද ලෝක වෙළෙඳපොළ පුවක් අපනයනය කිරීමේ තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාවයි. සමස්ත පුවක් අපනයනයෙන් 62% ක් ඉන්දියාවද 24% ක් මියන්මාරය ද ආවරණය කරද්දී ශ්‍රී ලංකාව 8% ක් ආවරණය කරයි.

අමෙරිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මෙක්සිකෝව, තායිලන්තය, සිංගප්පූරුව, කැනඩාව ඇතුළු රටවල පෑන් මසාලා වැනි පුවක් නිෂ්පාදන සඳහා දිනෙන් දින වර්ධනය වන ඉල්ලුම පුවක් වෙළෙඳපොළේ වර්ධනයට හේතු වී ඇත. මීට අමතරව, පුවක්වල අඩංගු 8% සිට 12% දක්වා වන මේදය නිස්සාරණය කර රසකැවිලි නිෂ්පාදන සඳහා භාවිත කළ හැකිය. එසේම, පුවක්වලින් ලබාගන්නා මේදය කොකෝවා බටර්වලට සාපේක්ෂව උකු ස්වභාවයක් සහිත බැවින් මිශ්‍රණයක් ලෙස භාවිත කිරීමේ හැකියාව පවතී. එබැවින් ඉදිරි වසරවලදී පුවක් වෙළෙඳපොළේ වර්ධනයට එම තත්ත්වය ද බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකයට සුවිශාල රුකුලක් බවට පත් වී තිබෙන වගාවක් ලෙස පුවක් වගාව ප්‍රචලිත වී තිබේ. අපනයන කෘෂි බෝගයක් ලෙස පුවක් වගාව අන්තර්ජාතික මට්ටමින්ද කීර්තියක් ලබා තිබීම සුවිශේෂ වේ. වාණිජ වගාවක් වශයෙන් පුවක් නිෂ්පාදනයේදී හෙක්ටයාර් 1ක තනි පුවක් වගාවකින් ලක්ෂ 15ක පමණ ආදායමක් වාර්ෂිකව උපයාගත හැකිය. තනි වගාවක් නම් හෙක්ටයාර් 1ක සිටුවිය හැකි පුවක් ගස් ප්‍රමාණය 1100 කි. එක් පුවක් ගසකින් වසරකට ගෙඩි 750කට වඩා නෙළාගත හැකිය.

මේ දිනවල පුවක් ගෙඩියක මිල රුපියල් 4-9 දක්වා පරාසයක් තුළ දෝලනය වෙයි. සාපේක්ෂව මිලෙහි පහත වැටීමක් පෙන්නුම් කරයි. මීට වසරකට ඉහත දී පුවක් ගෙඩියක මිල රුපියල් 17ක් 18ක් ලෙස දැක්විණි. එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ කරුංකා අපනයනය අත්හිටුවා තිබීම නිසා කරුංකා කිලෝවක මිල ද අඩුවීමක් පෙන්නුම් කරයි. කෙසේ නමුත් ඉදිරි කාලය තුළ අපනයන තහනම ඉවත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

I සකීෆ් සාම්