2023 මාර්තු 12 වන ඉරිදා

ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක්!

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 215

අද වනවිට ලෝක බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපුරාගන්නේ ඛණිජ තෙල් ගල් අඟුරු, වැනි පොසිල ඉන්ධන භාවිතයෙනි. එහෙත් ඒවා දැන් නිපැයුම්- සැපැයුම් මිල අධික සහ පරිසරයට ඉතා හානිකර, කෙමෙන් වැනසී යන බලශක්ති ප්‍රභවයන් ලෙස හඳුනාගෙන තිබේ. මේ නිසා ලෝකයේ රටවල් බොහෝමයක් වඩාත් කාර්යක්ෂම නව බලශක්ති ප්‍රභව වෙත සංක්‍රමණය වී හමාරය. දිනෙන් දින වැඩිවන විදුලි ඉල්ලුම සහ ඒ සඳහා ගෙවිය යුතු ඉහළ මිල හේතුවෙන් වඩාත් කාර්යක්ෂම බලශක්ති ප්‍රභවයක් කරා යාමේ අවශ්‍යතාව අප රටටද දැන් වඩාත් දැනී තිබේ. ඒ සඳහා සුදුසු විකල්පයක් ලෙස ලංකාවටත් න්‍යෂ්ඨික බලාගාරයක් ලබාගැනීමේ කතාබහ දැන් නැවතත් මතුව තිබේ.

දිනෙන් දින වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ලොව ඕනෑම රටකට පරමාණු ශක්තිය යොදාගැනීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ඇත. ඉන්දියාව ඒ මත පිහිටා තම රට තුළ මේ වනවිටත් කලක් ආන්දෝලනයට ලක්වූ කුඩන්කුලම් ඇතුළු න්‍යෂ්ටික බලාගාර 23ක් ඉදිකොට ඇත. තවත් 17ක් හැදීමට නියමිතය. ඒ අන්දමටම ශ්‍රී ලංකාව තුළද න්‍යෂ්ටික බලාගාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා රටක් වශයෙන් අපටද අයිතියක් ඇත. දැනුම සහ තාක්ෂණය නිවැරදි ආකාරයෙන් යොදාගෙන, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම දැන් අපටත් තවදුරටත් සිහිනයක් නොවේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා   දේශය සමග හෙළි කළේ දැනටමත් ඒ සඳහා මූලික පියවර ගෙන ඇති බවයි. 2040-43 පමණ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කල් පැන අත්හැරීමට සිදුවීමත්, රටතුළ අඛණ්ඩ පාදක බලශක්ති ගබඩාවක අවශ්‍යතාව පැවතීමත් ඒ සඳහා අප අත්සන් තබා ඇති අන්තර්ජාතික ගිවිසුම් අනුව  වඩාත්  පිරිසුදු කාබන් ශූන්‍ය බලශක්ති ප්‍රභවයක් සොයා ගැනීමේ අවශ්‍යතාව මතුවීමත් සමග ලෝකයේ මේ වනවිට ඒ සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රමුඛ විකල්පයක් වන න්‍යෂ්ඨික බලශක්තිය කෙරේ අවධානය යොමුකිරිමට අපට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

මෙහිදී මහා පරිමාණ බලාගාර වෙනුවට අපේ රටේ ආකාරයට කුඩා බලාගාර කිහිපයක් ගැන අවධානය යොමුව තිබේ. මෙගාවොට් 100ක ජනන ධාරිතාවක් ඇති කුඩා මොඩියුලර් ප්‍රතික්‍රියාකාරක - SMR හෝ පාවෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයන් හෝ  පාවෙන බලාගාර වෙරළ සහ වෙරළ ආසන්නව මුහුදේ ස්ථාපනය කිරීමට ඇති  හැකියාව ගැන දැනටමත් සලකා බැලෙමින් පවති. මේ වනවිටද රුසියානු රජය වෙතින් මේ සම්බන්ධයෙන් වඩාත් සුබදායක යෝජනා මාලාවක් ඉදිරිපත්ව තිබේ. මෙහිදී අවශ්‍ය තාක්‍ෂණය ඔවුන් විසින් සපයනු ලබන අතරම, මානව සම්පත් පුහුණුව මෙන්ම විශේෂයෙන්ම න්‍යෂ්ටික අපද්‍රව්‍ය නැවත සැකසීමේ තාක්ෂණය රුසියාව සතුව ඇති නිසා  න්‍යෂ්ටික අපද්‍රව්‍ය ආපසු ගැනීමටද ඔවුන් එකඟ වී ඇත.

ශ්‍රී ලංකාවේ නව රුසියානු තානාපති Levan Dzhagaryan ද පසුගිය මාසයේ ප්‍රකාශ කළේ  මෙගාවොට් 55ක න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීමට සහාය දීමට රුසියාව සූදානම් බවය. එය ආරම්භයේදී, බලාගාර දෙකක් වුවද, පසුව එක්වන බලාගාර හතරක් සමග  අවසානයේ බලාගාර හයක් දක්වා විය හැකි බව ඔහු කියා තිබුණි. මෙම තානාපතිවරයා  මීට පෙර ඉරානයේ රුසියානු තානාපතිවරයා වූ අතර 2011දී බුෂෙර්හි එම රටේ පළමු වාණිජ ප්‍රතික්‍රියාකාරකය නිමකිරීම අධීක්ෂණය කළ තැනැත්තාය.

මේ ලිපිය සමග ඇති පින්තූරයේ දැක්වෙන ඇකඩමික් ලොමොනොසොව්, යනු මේ කියන පාවෙන බලාගාරයකට හොඳම සහ ළඟම නිදසුනකි. එය 2020 මැයි මාසයේදී රුසියානු ඈත පෙරදිග පෙවෙක්, චුකොට්කා ප්‍රදේශයේ ආරම්භ කරන ලද පුරෝගාමී පාවෙන න්‍යෂ්ටික මධ්‍යස්ථානයකි. මෙගාවොට් බල 35 MWe  බැගින් වූ  KLT-40S වර්ගයේ  ප්‍රතික්‍රියාකාරක දෙකකින් සමන්විත මේ බලාගාරයට වෙරළබඩ යටිතල පහසුකම් සහ පාවෙන උපකරණ ඇතුළත්ය.

රුසියාව ආසියා කලාපයේ න්‍යෂ්ටික බලය සඳහා සහාය දැක්වීම මේ වනවිටත් අරඹා හමාරය. ඔවුන්ගේ දායකත්වය ලද බංග්ලාදේශයේ පළමු න්‍යෂ්ටික බලාගාරය වන, ගිගා වොට් 2.4-GW බලයෙන් යුතු රෑප්පූර්-Rooppur බලාගාරය ලබන වසරේ වාණිජ ක්‍රියාකාරීත්වයට පිවිසීමට අපේක්ෂා කරයි. එය රුසියානු රජය සතු න්‍යෂ්ටික බල සැපයුම් ආයතනයක් වන Rosatom වෙතින් ලද VVER-1200 ප්‍රතික්‍රියාකාරක වලින් සමන්විතය. බංගලිදේශය න්‍යෂ්ටික බලාගාර 2ක් තැනීමට බලාපොරොත්තුවේ. මේ හැර අපේ කලාපය තුළ ඉන්දියාව සතුව ප්‍රතික්‍රියාකාරක 23ක් ද, පකිස්තානය සතුව 6ක් ද, පවතී.

න්‍යෂ්ටික බලශක්තිය භාවිතාවට ගැනීම ශ්‍රී ලංකාවට අලුත් අදහසක් නොවේ. එය 1969 තරම් බොහෝ ඈතට ඇදී යන සංකල්පයකි. නමුත්, එය නිසිලෙස හැඩගැසීමට කාලයක්  ගතවිය. වසර ගණනාවකට පසු 2010දී වියානාහි පැවති ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) 54 වැනි මහා සමුළුව අමතමින් එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ ශ්‍රී ලංකාව රටේ බලශක්ති ප්‍රබව එකතුවට න්‍යෂ්ටික බලයද ඇතුළත් කර ඇති බවයි. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය (AEASL) න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ පුද්ගලයින් පුහුණු කිරීමේ ක්‍රියාවලියක ඒ වනවිටද නිරත වෙමින් සිටින බව ඔහු එහිදී කියා තිබුණි. ඒ අනුව බලශක්ති අධිකාරින නියාමන කොමිසම සහ මණ්ඩලය ලෙස වගකීම් බෙදා ගැනීමද සිදුවිය. 2010 දීම වාගේ බලශක්ති උත්පාදනය සඳහා 2020න් ඔබ්බට ශක්‍ය විකල්පයක් ලෙස න්‍යෂ්ටික ශක්තිය යොදා ගැනීම පිළිබඳ පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට AEASL වෙත පැවරී තිබුණි. පරමානු බලාගාර සඳහා භුමි කලාප හඳුනා ගැනීමේ වාර්තාවන්ද කැඳවූ අතර මන්නාරම ත්‍රිමලය හෝ අම්පාර ආශ්‍රිත කලාපයන් ගැන නිර්දේශ ලැබී තිබුණි.

අංක 40 දරණ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති පනත 2014දී සම්මත විය. 2022 අප්‍රේල් මාසයේදී, IAEA විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික යටිතල පහසුකම් සංවර්ධනය සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දින හයක මෙහෙයුමක යෙදෙන ලදී. ඒ කණ්ඩායම් නායක ජෝස් බැස්ටෝස් කියා ශ්‍රී ලංකාවට අවශ්‍ය පුහුණු මානව සම්පත් තවදුරටත් වර්ධනය කළ යුතු බවය.

2018දී කොළඹ විශ්වවිද්‍යාලයේ මහේෂ් එන් ජයකොඩි සහ ජෙයිසිංහම් ජෙයසුගිත්තන් සහ රජයේ නියෝජිත ප්‍රසාද් මහකුමාර විසින් ශ්‍රී ලංකාව උදෙසා වන න්‍යෂ්ටික බලාගාර යෝග්‍යතාවය පිළිබඳ පත්‍රිකාවක් ප්‍රකාශයට පත්කරන ලදී. එහිදි බලශක්ති උත්පාදනය සඳහා පොසිල ඉන්ධන, පුනර්ජනනීය මූලාශ්‍ර සහ න්‍යෂ්ටික බලාගාර මිශ්‍රණයක් ඔවුන් නිර්දේශ කර තිබුණි. ඔවුන් පෙන්වා දුන් අභියෝග වූයේ න්‍යෂ්ටික බලාගාර ස්ථාපනය කිරීමේ පිරිවැය ඉහළ වනු ඇති අතර න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීම අභියෝගාත්මක වනු ඇති බවය. නමුත් න්‍යෂ්ටික බලාගාර අඩු නඩත්තු වියදම් සහ අවම අහිතකර පාරිසරික බලපෑම මගින්  විශේෂත්වයක් දිනා ඇති බවට ඔවුහු තර්ක කළහ.

දිගු කාලීනව සලකා බැලූවිට, න්‍යෂ්ටික බලශක්තිය වඩාත් ලාභදායී වනු ඇතැයි ඔවුහුද පැවසූහ. මෙම පර්යේෂකයන් විසින් ශ්‍රී ලංකාවට සුදුසු ලෙස පීඩන ජල තාක්ෂණය (PWR) මත පදනම් වූ VVER-1000 සහ AP-1000 මාදිලි නිර්දේශ කරන ලදී.
මේ අන්දමට දැනටමත් විවිධ යෝජනා ඉදිරිපත්ව ඇති අතර බලශක්ති මණ්ඩලය ඇතුළු විද්වත් ආයතන මේ ගැන සුදුසු කම් පරීක්ෂාකර තිබේ. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා, දේශය සමඟ කීවේ මේ ලිපිය ලියන මොහොත වනවිටද රාජ්‍ය ආයතන 14ක මැදිහත් වීමෙන් වඩාත් හොඳ ආයෝජනයක් සොයා ගැනීම සඳහා වූ නිර්දේශ ඉදිරිපත්කර ඇති බවයි. මේ යෝජනා සාකච්ඡාවට සහ සංශෝධනයන්ට ලක්ව පසුව කැබිනට් අනුමැතියද ලද පසු නීතිපති අනුමැතිය  සඳහා යොමුවන අතර ඉන්පසු අපට වඩාත් සුදුසු අනතුරුදායක බවින් අඩු විකල්පය තෝරා ගැනීම සූදානම් බවය. මේ අන්දමට දැන් ලංකාවට පරමාණුක බලය ලැබීමේ සිහිනය සැබැවෙමින් පවතී.

I සුගත් පී. කුලතුංගආරච්චි