2023 මාර්තු 12 වන ඉරිදා

දවස් 05ක් මිනිය සාලේ: බූරු පිටිය ගේ පිටිපස්සේ

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 67

''ධර්මදාස ඔන්න ඔතනින් වාහනේ නවත්තනවා. මළ ගෙදරට පොඩ්ඩක් ගොඩවෙලා යන්න.'' අලුත් ස්ථානාධිපතිවරයා තම රියැදුරුට පැවසුවේය.

''සර්... දන්න කෙනෙක්ද?'' රියැදුරු ඇසීය.

''දන්නේ නෑ. ඒත් මගේ ඒරියා එකේනේ. මොනවා වුණත් මනුස්සයෙක්නේ...'' ස්ථානාධිපතිවරයා කීය.

රියැදුරුට පුදුම සිතුණි. එතරම් මනුස්ස හැඟීමක් ඇති පොලිස් නිලධාරියෙක් දැකීමම ඔහුට සතුටට ගෙනෙන කරුණක් විය.

ස්ථානාධිපතිවරයා සහ රියැදුරු මළ ගෙදරට ගොඩවූහ. කීපදෙනකු හැර මළ ගෙදර කිසිවකු සිටියේ නැත. පොලිස් ස්ථානාධිපතිවරයා සිය රාජකාරි ආචාරය සැලියුට් එකක් ගසා පිරිනැමුවේය. ඒ අසල සිටි තරමක මැදිවියේ කෙනකුගෙන් විමසුවේ මේ මරණය කාගේද යන්නය.

''මේ අපේ ඥාති කෙනෙක්. මෙයා ගෙදරින් ගිහින් හිටියේ ඔලුව හොඳ නැතුව. මළාමයි දැනගත්තේ. ඉතිං මොනවා වුණත් අපි ඒ මනුස්සයට ගෞරවයක් කරන්න එපැයි සර්. ඒ නිසා අපි ගෙනාවා.'' යැයි එම පුද්ගලයා කීය.

ඒ මිනිසුන්ගේ කාරුණිකත්වය අගය කළ ස්ථානාධිපතිවරයා තම ශෝකය පළකර යන්නට ආවේය.

''සර්... සර් ගැන හරිම පුදුමයි. මරණයකට ගිහින් ගෞරවය දැක්වීම ගැන. නැත්තන් ලොකු මහත්වරු යන්නේ ලොකු ලොකු මරණ ගෙවල්වලටනේ.'' යැයි රියැදුරු කීවේය.

''අයිසේ රජ මැදුරේ වුණත් පැළේ වුණත් වෙලා තියෙන්නේ මරණයක්. අනික මේ මිනිස්සු මගේ පොලිස් ඒරියා එකේ. ඒ මිනිස්සුන්ට ගෞරව කරන්න අපි දැනගන්න ඕන. එතකොටයි ඒ මිනිස්සුන්ට පොලීසිය ගැන ගෞරවයක් එන්නේ.''

දෙදෙනා කතාවෙන් කතාවෙන් පොලීසිය වෙත ආහ. එදින රාත්‍රියේ පොලිස් ස්ථානාධිපතිවරයා එළියට යනවිට මළ ගෙදර නොසෑහෙන්න පිරිසක් සිටියෝය. මිනිස්සුන්ටත් වඩා ත්‍රීරෝද රථ රුසක් තිබුණේය. කෙසේ වෙතත් ඊට පසුදින පොලිස් ස්ථානාධිපතිවරයා පොලීසියට ගිය අවස්ථාවේ මළගෙදර සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් පවා ඇවිත් තිබිණි. ඒ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකි. එහෙත් ස්ථානාධිපතිවරයා සුළු පැමිණිලි අංශයට එය යොමුකර දෙපාර්ශ්වයම සමථයකට පත් කළේය.

මේ අතර ස්ථානාධිපතිවරයා හතර වැනි දිනයේත් එම මළගෙදර අසලින් එනවිට ඒ මළ ගෙදර ඒ ආකාරයෙන්ම තිබුණේය.

''අයිසේ ධර්මදාස ඔය මළගෙදර ගාවින් නවත්තලා ගිහින් බලලා එනවා මළගෙදර එහෙමමද කියලා.'' ස්ථානාධිපතිවරයා කීය.

''ධර්මදාස ඇතුළට ගොස් මළගෙදර නිරීක්ෂණය කළේය. මිනිය ඒ ආකාරයෙන්මය. සෙනඟ නැත. මිනිය සාලයේ තනියම සිවිලිම දෙස බලාගෙනය. ඒ අසල සිටි අයකුගෙන් රියැදුරු විමසා සිටියේ මරණයේ අවසන් කටයුතු අදද කියාද යන්නය. එම පුද්ගලයාගේ පිළිතුර වූයේ ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.

වහාම පැමිණි රියැදුරු ස්ථානාධිපතිවරයාට ඒ බව කීය. ස්ථානාධිපතිවරයා ''ඈ බං මුන් මිනිය වළලන්නේ නැතුව කරෝල කරනවද?'' ඇසුවේය. එසේ කියා සිනාවෙමින් දෙදෙනා විසිර ගියෝය. එහෙත් ඊට පසුදාද නැවත එනවිට මළ ගෙදර ඒ ආකාරයෙන්මය. දවස් පහක් ඉක්මව ගොස් ඇත. ස්ථානාධිපතිවරයා පුදුම විය. ස්ථානාධිපතිවරයා පොලීසියට ගොස් මේ සම්බන්ධයෙන් වහාම සොයාබැලීමට කණ්ඩායමක් පත් කළේය. එම කණ්ඩායම ඒ මොහොතේම රාජකාරිය සඳහා පිටත් වුහ. ඒ පිරිස මළ ගෙදර ආවේක්ෂණ රාජාකාරිවල නිරත විය. ඒ රාත්‍රිය වන තෙක්ය.

සවස 6 වනවිට පිරිමි විශාල සංඛ්‍යාවක් ත්‍රීරෝද රථවලින් මරණ ගෙදරට පැමිණියහ. ඒ සෑමදෙනාම මළ ගෙදර පිහිටි නිවෙස මැද්දෙන් පිටුපසට පෝලිමේ යන අයුරු දැක ගන්නට හැකිවිය. පොලිස් නිලධාරීහුද එම පිරිස පසුපස වැටුණෝය. මිනිය අසලින් යන විට ඒ මිනියෙන් වහනය වූ දුර්ගන්ොධය දරාගැනීමට හැකිවූයේ නැත. මළ සිරුර විකෘති වෙමින් තිබුණේය.

කෙසේ වෙතත් නාසය වසාගෙන නිවසෙන් එළියට ගිය පොලිස් නිලධාරීන්ට දැකගැනීමට හැකිවූයේ නිවෙස පිටුපස පුංචි කානිවල් එකකි. පැදුරු එළා, කෑම මේසවලින් වටවූ එතැන බූරුවා පිටියක් දැකගත හැකි විය. සීයක් පමණ පිරිස 1000 කොළවලින් ඔට්ටු අල්ලමින් සිටියහ. එතැන එකම ගාලගෝට්ටියක් විය. කුඩු, කංසා, අරක්කු ඇති පදමටය. එතන සිටි බොහෝ දෙනකුගෙන් මරණය ගැන විමසුවත් කිසිවකු මරණය ගැන තොරතුරක් දැන සිටියේ නැත.

පොලිස් නිලධාරීන් එකා දෙන්නා විසිර ගොසින් තොරතුරු ලබාගන්නා අවස්ථාවේ හෙළිවුණේ අපුරු දෙයකි. එනම් මේ මළසිරුර එම නිවැසියන්ට අයත් නොවන එකක් බවය. වහාම ක්‍රියාත්මක වුණු පොලීසිය නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන පොලීසියට රුගෙන ගියේය. හේ අවුරුදු 37 වැයසැති අයෙකි. ස්ථානාධිපතිවරයා අඩිය පොළවේ ගසා කතාව අසන්නට විය.

''සර් මේ මිනිය අපේ එකක් නෙමේ'' නිවැසියා කීවේය. ස්ථානාධිපතිවරයාගේ ඇස් උඩ ගියේය.

''එහෙනම් කාගෙද ඕයි...'' ඇසීය.

''සර් මේක පාරේ වැටිලා හිටිය කෙනෙක්ගේ. බාරගන්න කෙනෙක් හිටියේ නෑ. ඉති අපි ගිහින් බාරගත්තා. අපි එයාගේ ඥාතීන් කියලා. පව්නේ සර්... අපි උදව් කරන්න එපැයි.'' නිවැසියා කීවේය.

''ඕයි ගත්‍තා නම් වළලන්නේ නැතුව දවස් පහක් වෙනකල් කරෝල කරලා කන්නද තියන් හිටියේ. බොරු නොකියා ඇත්ත කියනවා...'' ස්ථානාධිපතිවරයා කීය. ඒ සත්තමට සැකකරු ඇඹරී ගියේය. ඒ අනුව සියල්ල වැමෑරුවේය.

එනම් මේ කණ්ඩායම බූරුවා ගැසීමේ කප්පිත්තන්ය. ඒ සඳහා ඉඩක් හදාගැනීම ඔවුන් සිදුකරන්නේ මරණ ගෙවල් හරහාය. කෙසේ වෙතත් මෑතක මරණ ගෙයක් සිදුනොවූ නිසා මෙම පුද්ගලයා ඇතුළු පිරිස පුවත්පත් දැන්වීමක දුටු නාඳුනන මළ සිරුරට ඥාතිකම් කියා ඇත. ඒ මරණය බාර ගැනීම සඳහාය. එසේ ලබාගත් මරණය මල්ශාලාවට බාරදී දවස් හතරක් තබා ගැනීම සඳහා සකසා ගෙන ඇති අතර, එහෙත් බූරුවා තිප්පොලේ වාසිය හේතුවෙන් තවත් දිනයක් තබා ගැනීමට තීන්දු කර ඇත. කෙසේ වෙතත් ඔවුන් එදින සවස අවසන් කටයුතු කිරීමද කල්දමා තිබිණි. මේ නිසා අවසානයේ පොලීසියට වැඩේ කොටුවන තෙක්ම ඇදී ගොස් ඇත.

මේ කතාව ඇසූ සැණින් පොලීසියට තරු විසිවුණේය. රාත්‍රියේම ගොස් එම නාඳුනන මළසිරුරට අයිතිවාසිකම් කීමට කවුරුන් හෝ පැමිණ ඇතැයිද යන්න විමසා බැලීය. එහෙත් කිසිවකු සිටියේ නැත. වහාම රාත්‍රියේම අධිකරණ වෛද්‍ය නිලධාරියා දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගනිමින් අධිකරණයටද කරුණු වාර්තා කර රාත්‍රියේම මරණය පොලිස් බාරයට ගෙන අවසන් කටයුතු කළේය. නාඳුනන මළසිරුරකට වංචාවක් සිදුකිරීම මත නිවැසියන් සහ තව පුද්ගලයන් කීප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම සිදුවීම එම ස්ථානාධිපතිවරයගේ කිසිදා අමතක නොවන සිදුවීමක් බව අපට පැවසීය.

(මෙය කොළඹ ප්‍රදේශයේ එක්තරා පොලිස් බල ප්‍රදේශයක සිදුවූ සිදුවීමකි. තවමත් එම ස්ථානාධිපතිවරයා සේවයේ නිරත වෙමින් සිටී. මෙහි එන නම් ගම් මනඃකල්පිතය)

I ගයාන් ගාල්ලගේ