2023 මාර්තු 12 වන ඉරිදා

හදිසියේම ’’මීටර්’’ වූ දියවැඩියා මීටර් හොරේ

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 44

රටක් ලෙස අප පීඩා විඳින ප්‍රධානතම බෝ නොවන රෝගය දියවැඩියාව බවට සැක නැත. ඇතැම් පරීක්ෂණ වාර්තාවලට අනුව මෙරට වැඩිහිටියන් දහදෙනකුගෙන් දෙදෙනෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙති. එවන් වටපිටාවක් තුළ ග්ලූකෝ මීටර් හෙවත් දියවැඩියා මාපක සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය උපකරණයක් වී තිබේ. එහෙත් පසුගිය දිනවල ග්ලූකෝ මීටර් සම්බන්ධව අසන්නට ලැබුණේ වෙනස්ම කතාවකි. ඒ ග්ලූකෝ මීටර් ආනයන මගඩියක් පිළිබඳ කතාවකි.

පසුගිය සතියේ වාර්තා වූ පුවතකට අනුව කියැවුණේ ටෙන්ඩර් පටිපාටියට යටත්ව දියවැඩියා පරීක්‍ෂණ පටි හා මාපක තොගයක් මෙරටට ගෙනැවිත් තිබියදී රුපියල් කෝටි 38ක් වැයකර ප්‍රමිතියෙන් තොර තවත් පටි හා මාපක තොගයක් ඉන්දියාවෙන් මිලදී ගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශය සැරසෙන බවයි.

මෙම  ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට  තොරතුරු වාර්තා වීමත් සමඟ ඉහත අවස්ථාවක මෙය නවතා දමා තිබූ බවද කියැවුණි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMR) ලියාපදිංචි නැති සමාගමක් හරහා ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරීක්‍ෂණ පටි හා මාපක මිලදී ගැනීම සිදුවන බවට පිරිසක් චෝදනා කරති.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු වාර්තා කර ඇත්තේ මෙම පිරිස අතරේ සිටින වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් පිරිසක් යැයි කියැවේ. කෙසේ වෙතත් මෙම කතාවේ පැතිකඩ කිහිපයක් ඇති බව අප සිදුකළ සොයා බැලීමකදී දැන ගැනීමට ලැබුණි. ඒ අනුව ඉන්දියානු ගනුදෙනුවට පක්ෂපාතී පිරිසක්ද වන බව පෙනී යයි.

හරි කතාව දිගහැරෙන්නේ පසුගිය කාලයේ නිර්මාණය වූ ''ග්ලූකෝ මීටර් 35mm'' හිඟයක් ඇතිවීමත් සමඟ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසින් ටෙන්ඩර් කැඳවීටත් සමඟය. එක් පාර්ශ්වයක් කියා සිටින්නේ මෙම ටෙන්ඩරය කැඳවන අවස්ථාවේදීම අදාළ උපකරණ ඉන්දීය ණය පහසුකම යටතේ ලබා ගැනීමට එස්.පී.සී. ය තීරණය කර තිබූ බවකි.

එවන් වටපිටාවක් යටතේ මෙම මිලදී ගැනීම සිදුකළ යුතුව තිබුණේ ඉන්දීය සැපයුම්කරුවන්ගෙනි. කෙසේ වෙතත් ඉන්දීය සැපයුම්කරුවන් යනු මෙරට ලියාපදිංචි වී සිටි පිරිසක් නොවෙති. ග්ලූකෝ මීටර් සඳහා මෙරට වෙළඳ අධිකාරිය පවත්වාගෙන ගොස් තිබුණේ දියුණු රටවලට අයත් ප්‍රකට වෙළෙඳ සන්නාම කිහිපයක් විසිනි.

ඒ අනුව ඉන්දියානු සමාගම් ලියාපදිංචි කිරීම සම්බන්ධව ගැටලුවක් නිර්මාණය වී ඇතැයි කියැවේ. මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ ඖෂධ නියාමන අධිකාරියයි. (NMR) විද්‍යාගාර උපකරණ සඳහා අවසර ලබාදීම විධිමත් පරීක්ෂාවන් යටතේ විද්වත් සංසදවල මැදිහත්වීම මත සිදුවන බව කියැවේ. මෙම පර් යේෂණ සිදුකරන්නේ අධිකාරිය සමඟ කටයුතු කරන ස්වාධීන පරිපාලනයක් ඇති විද්වත් සංවිධානයක් බව කියැවේ.

ඒ අනුව පිරිසක් චෝදනා කරන්නේ මෙම කණ්ඩායම ඇතැම් සමාගම් වෙත පක්ෂ පක්ෂපාතීත්වයක් පෙන්නුම් කරන බවයි. ඒ අනුව ඉන්දියානු ග්ලූකෝ මීටර් සඳහා අනුමැතිය ලබාදීම ඔවුන් විසින් ප්‍රමාද කර ඇති බව කියැවේ. සත්‍ය කවරක් වෙතත් මේ ගැටලු දේවල් විද්වත් මත ඔස්සේ ගලා යන්නක් බව අපට පැහැදිලිය.

තවත් ආරංචි මාර්ගයකට අනුව දැන ගන්නට ලැබුණේ එන්.එම්.ආර්. හා සම්බන්ධ පාර්ශ්ව දෙකක් අතර කඹ ඇදිල්ලක් පවතින බවයි. ඒ අනුව පිරිසක් ප්‍රමිතිය ප්‍රමුඛ කර මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ අවධනය යොමුකර ඇත. තවත් පිරිසක් ඉන්දියානු ණය පහසුකමේ ආර්ථික වාසිය සලකා මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වී සිටිති. මීට දේශපාලනික බලපෑම්ද වන බව අසන්නට ලැබේ.

කෙසේ වෙතත් මධ්‍යස්ථව කල්පනා කර බැලූ විට අදාළ විද්‍යාගාර උපකරණ නිසි ලෙස පරීක්ෂාකර බලා ඒවායේ ප්‍රමිතීන් සංසන්දනය කිරීම පළමුව සිදුවිය යුතුය. එහෙත් එම කටයුත්ත හිතාමතා පමාකරමින් සිටින බවට චෝදනාවක් එල්ල වී තිබේ. කෙසේ වෙතත් දෙවැනි උපකරණ ආනයනයට අවශ්‍යතාවය සලකා තාවකාලික අවසරයක් ලබාදීමට ඖෂධ නියාමන අධිකාරියට (NMR) හැකිය.

එහෙත් භාණ්ඩ රැගෙනවිත් සිදුකරන පරීක්ෂණයන්ට යටත්ව එම අවසර හිමිවෙයි. කෙසේ වෙතත් දැනට රුගෙනවිත් තිබෙන ග්ලූකෝ මීටර්වලට අදාළ පරීක්ෂා කිරීම තවමත් සිදුවනු ඇති බව කියැවේ. එය මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ සිදුකළ හැකි බව පිරිසක් පෙන්වා දෙයි. පරීක්ෂාව මාස හයක් පමාවීම පිළිබඳ එම පිරිස ප්‍රශ්න කර සිටිති.

කෙසේ වෙතත් මේ හා සම්බන්ධ ගැටලුව විවිධ පාර්ශව විසින් වෙනස් කෝණවලින් දකිමින් අර්ථකථනය කරමින් සිටින අපට පෙනීයයි. මේ හා සම්බන්ධව ඖෂධ නියාමන අධිකාරිය මතය විමසීමට අප උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. අවසානයේ කිව යුත්තේ මෙවන් නාටකීය ජවනිකාවල වින්දිතයන් බවට පත් වන්නේ අසරණ රෝගීන් බවයි. එක් එක් පාර්ශ්ව එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටීමෙන් තවදුරටත් පළක් නැත. කඩිනම් විසඳුමක් සඳහා විද්වතුන් දේශපාලකයන් ඇතුළු සියල්ලෝම මැදිහත් විය යුතුය.

I චමිඳු නිසල්

රවී කුමුදේශ් - සභාපති - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

''ඉන්දියානු ණය පහසුකම් යටතේ භාණ්ඩ මිලදී ගන්න ඕනෑ කියන කාරණාව, නොසලකා හරින්න බැහැයි කියලයි මම කියන්නෙ. ඉන්දියානු ණය පහසුකම් යටතේ බඩුගන්න අපිට සැපයුම්කරුවෝ නෑ. මේ ණය පහසුකම මගහැරලා බඩුගන්න අපිට ඩොලර් ඇත්තෙත් නෑ. 

ඔය එන ග්ලූකෝ මීටරේ වැරදි නම් එතන ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන නිල වශයෙන් කියන්න ඕනෑ. ''මේක අපිට ගන්න බෑ මේකේ ප්‍රතිඵල වැරදි'' එහෙම කියන්න පුළුවන්. නමුත් දැන් අපි කියන්නේ කොලිටිද නැද්ද කියන එක නෙවෙයි. මේ අය ලියාපදිංචි වෙලා නෑ කියන එක.''