2023 මාර්තු 12 වන ඉරිදා

ගෙන්දගම් පොළොවේ නිල් තණ පලස

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 134

කොළොම්පුර ගිමන් නිවාගන්නට ඉඩක් ඇති එකම තැන විහාර මහාදේවී උද්‍යානයයි. මේ උයනේ නෙත ගැටෙන ගහකොළ සතුන් සිව්පාවන් අතරේ අපූරුතමයන් මිනිසුන්ය. එනිසාම මේ උයනේ සියුම් මානව බැඳීම්වල සලකුණද අපමණය. අප දිනක වරුවක් විහාර මහා දෙවි උයනේ නතර වීමු. බලා සිටියෙමු. අවසන ඒ ඇසිල්ලේ පෙනුණු දැනුණු හැඟුණු දෑ සජීවීව අකුරු කරන්නට අපට සිත්විය.

මේ උයනේ සවන්පත් විවර කළවිට මහමඟ මෝටර් රියසක කැරකෙන හඬ එක පොකුරකට සවන් වැකේ. බොහෝවෙලා ඇද හැළෙන වර්ෂාවක හඬ සවනට හුරු වන්නේ යම් සේද එලෙසින්ම මේ හඬටද අපි නිතැතින්ම හුරුවෙමු. ඉඳහිට ඇසෙන මෝටර් රථ නලා හඬ මේ තනුවේම කොටසකි. කපුටන්ගේ කාක් කාක් ගීතය මේ උයනේ නොනවතින රිද්මයයි. ඉඳහිට වෙනත් කුරුල්ලෙක් නගන කිචිබිචිය වෙතත් එය වුවමනාවෙන්ම අසා සිටියොත් මිස නෑසේ. එහෙත් අසන්නෙක්ට රසත්වය.

දිවා රාත්‍රී දෙකෙහිම මේ උයනේ ශබ්ද පරිපාලකවරුන්ගේ රාජකාරිය රැහැයියන් සහ තණකොළ පෙත්තන් විසින් ඉටු කෙරේ. පරිසරයේ සිදුවන සියලු වෙනස් කම්වලට මේ ඇත්තෝ සංවේදීය. ඔවුහු මේ උයන සියලු හඬවල් ඔවුන්ගේ තනුව මත රඳවා ගන්නට පරිස්සම් වෙති.

තුන් ඉරි අප්පුලාගේ පාලනයට කොළොම්පුර මහ උයන නතුව ඇති බැව් නොකියාම බැරිය. ගමේ ගස් අතර දුව පනිමින් අඹයක් පළතුරක් කමින් මිනිසකු දුටුවිට සලිතව සැඟවෙන තුන් ඉරි අප්පුලා අප කොතෙකුත් දැක ඇත. එහෙත් කොළොම්පුර තුන් ඉරි අප්පුලා සිය නෑසියන්ගේ ඒ ගති සිරිත් නොසලකති. මේ උයනේ අසුනකට බර වූ කල දෙපා අද්දරටම විත් සුකුරුත්තන් පාන්නට මේ තුන් ඉරි අප්පුලා තුළ ඇත්තේ මහත් අභිරුචියකි.

මෙහි සිව්පාවුන්ගේ අභිමන විදහා දක්වනුයේ තුරඟුන්ය. පීඩනයෙන් ගස් අද්දර කෙටි ලණුවකින් බැඳ දමා කාෂ්ඨක අව්වේ පීඩිතව සිටින මේ සතුන් අප සංවේදී කරයි. සත්ව රාජධානියේ තුරඟුන්ට ඇති අභිමානය මොවුන් සන්තක නොවේ. ඉඳහිට නකුට වනමින් ඒ මේ අත සැරිසරන සුනඛයන් සහ බළල්ලු මේ උයනේ අසුන්ට වඩා ගරු සැලකිලි ලබති.

කුරුළු ඇසින් බැලූ කළ කොළඹ කොළපාට තවත් ඉතිරිව ඇත්තේ මේ උයනේ බව වරෙක අපට හැඟේ. හිරු කිරණින් පීඩිත වූ නමුදු හරිත වර්ණ තණපලස මේ උයනේ ආධිපත්‍යය පතුරවයි. මෙහි තණපත් උජාරුවෙන් සිටින්නේ නිතර නිතර ලැබෙන ගරු සැලකිලි නිසාවෙනි. මේ තණපලස ජල පහස ලබා දෙන්නට, නිසි කල නිසි ලෙස කපා ඔප මට්ටම්කොට හැඩ ගන්වන්නට මේ සිවිල් ආරක්ෂක බලකායේ උයන්පල්ලෝ වෙති. තැන තැන විරාජමානව වෘක්ෂයන්ට පවා සිතුසේ සිය තුරුපත් තණපලස මත හෙලන්නට මේ මිනිස්සු ඉඩ නොදෙති.

ප්‍රේමය, විරහව, කෝපය, තනිකම, වෙහෙස, ඉච්ඡාභංගත්වය ඇතුළු මානව හැඟුම් සමුදාකින් මේ උයන පිරී ඇතැයි හැඟෙන්නේ මසැසින් බැලූ විටය. කවදත් මේ උයන කොළොම්පුර පෙම්වතුන්ගේ පාරාදීසියයි. ප්‍රේමයේ ශෘංගාරය සේම ප්‍රේමයේ නිස්කාංසුවද විරහවේ රුදුරු වේදනාවද මේ උයන සරණ මඳනළ හොඳින් දැක ඇතුවාට සැක නැත.

සිය උකුල මත හොවාගෙන පෙම්වතියගේ කෙහෙරුලි පිරිමදිමින් සැනසුම් පෙම්බස් දොඩන පෙම්වතෙක්, ගස මුලක හරිබරි ගැසී ප්‍රේමයේ ශෘංගාර මායිම් පැන යන පෙම්වතියක්, බැඳි පෙම්හබය කෙළවර කර එකිනෙකාට දොස් දෙවොල් කියාගත්තා පෙම්වතුන් යුවළක්, තහනම් ගහේ රස බලන උනුඅනට අයිති නොවුණු මැදිවියේ පෙම් යුවළක් මේ උයන වටා ඇවිද යන මඳ නළකට එක්විටකදී දකින්නට හැකිය.

එහෙත් මේ උයනේ තැන තැන හුදකලා වී සිටින මිනිසුන් එක ගමනකදී මඟ හැරෙන්නටද ඉඩ තිබේ. සිසිර නින්දක බදු කල්පනාවක ගිලී සිටින මනුෂ්‍යයෝද මෙහි වෙති. එවැන්නන්ගේ ශෝකාන්විත මුහුණ තුළින් පෙනෙන්නේ ජීවිතයේ අඳුරු යථාර්ථය නොවේද? මොහොතක අප සිත නැගී පැනයකි. කවරක් වෙතත් මුහුණු කියවනු මිසක, පර චිත්ත විචාරණයට ඥානයක් අප සතු නොවේ.

මිත්‍යා කථාවල එන මායාකරුවන් අත ඇත්තේ මහා බලසම්පන්න පළිඟු ගෝලයකි. මේ උයනේ හුදෙකලා මායාකරුවන් අතරද එවැන්නක් තිබේ. එය නම් ජංගමයකි. ජංගමයා අතින් ගෙන උයනේ තනුව පසෙක හල ඇතැම්හු, සවන් මත හඬඇබ රඳවාගෙන සිටිති. ඒ මායාවේ අනුහසින් අයෙක් ගීයක් රස විඳින අතරේ, තවකෙක් දුර අවකාශයේ කොහේ හෝ ඉන්නා කෙනෙකු සමඟ සම්මුඛ වී සිටී. සැබැවින්ම එය අප වර්ගයාගේ මායා කර්මයක් නොවේද?

මේ උයනේ අපූර්වතමයන් මිනිසුන්ය. එයද මිනිසෙකු කියන කතාවකි. යථාර්ථයක් වුවද නොවුවද මේ උයනේ සරන්නකුට ජීවිතයේ විවිධ අවදි පිළිබඳ මනා අවබෝධයක් ලැබෙනු හැකිවේ. මාපියන් ඇකයේ හොවා පැමිණෙන ළමා ළපටින්, පෙර පාසල් නිමාවී සීයලා ආච්චිලා සමග මෙහි එන පැංචන් පැංචියන්, පාසල් අධ්‍යාපන චාරිකා අතරේ ගිමන් හරින දරුදැරියන් ජීවිතයේ එක්තරා පරිච්ඡේදයක් සිහි එළවා ගන්නට අපිට දිරිදෙයි.

ප්‍රේමයෙන් මුසපත් වූ නව යෞවන යෞවනියන් සහ ප්‍රේමයේ වියපත් පූර්වජයන් මේ උයනේ ලියා තබන්නේ අපූරු කතාවකි. හුදකලා වූවන් සහ වියපත් වූ මිනිසුන් මේ උයන හරහා ඇවිද යන්නේ බර අඩිතබමිනි. ඒ එවන් මිනිස්සුන්ගේ පියසටහන්වල ගැඹුර ළමා ළපටින්ට, ලද බොළඳ පෙම්වතුන්ට වඩා වැඩි යැයි අපිට හැගේ. සැබෑවටම මෙය උයන සිද්ධාර්ථයන්ට අභිනික්මන්මනට නිමිති සපයයයි. එහෙත් මෙහි සරන්නෝ සිද්ධාර්ථයන් නොවෙති.

කොළොඹ මහා උයනේ ජාති වර්ණ භේද නොවේ. උස් මිටිකම්ද මේ උයන්තොමෝ නොසලකති. සවස්වරුවේ මුස්ලිම්වරු පවුල් පිටින් පැමිණ දරුවන් සමඟ කෙළිදෙලෙන් පසුවන අයුරු අපූරුය. ඔවුන් කෑම බීම ටිකක් ගෙනවිත්, තණපලස මත රෙද්දක් එලා රසවත් වෙති. සැබවින්ම එවිට මේ මහ උයන ගිමන නිවන නවාතැනකි.

මේ උයන් අවකාශය හැඟුන දෑ ලියා තබන්නට අකුරු මදි වෙතැයි සිතේ. මෙහි දැන් නොයෙන්නේ උයන් කෙළි ප්‍රියකරන රජුන් පමණි. කොළොම්පුර මහා උයනේ කෙළිකරන්නෝ උයන් රජුන් තනන්නෝය.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00