2023 මාර්තු 12 වන ඉරිදා

ලංකාවේ හැදූ වේගා කාර් එකට ලංකාවෙම උප්පැන්නයක්

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 52

මෙරට නිෂ්පාදනය කරන ලද මෝටර් රථයකට ලියාපදිංචි අංක තහඩුව නිකුත් කිරීම පසුගිය 03 වැනිදා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මේ අනුව ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ මූලිකත්වයෙන් මෙරට නිෂ්පාදනය කළ වේගා (Vega) මෝටර් රථය සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් විසින් අදාළ ලියාපදිංචි අංක තහඩුව ලබා දෙනු ලැබීය.

මෙය විද්‍යුත් බලයෙන් ධාවනය වන සුපිරි මෝටර් රථයකි. එමෙන්ම වේගා මෝටර් රථය සියයට සියයක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරුණු මෝටර් රථයකි. මෙවැනි මෝටර් රථයකට මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් මාර්ගයේ ධාවනය කිරීමට අවසරය ලබා දෙමින් ලියාපදිංචි අංක තහඩුවක් ලබා දුන් පළමු අවස්ථාව ලෙසින් මෙය හැඳින්විය හැකිය.

විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වන වේගා මෝටර් රථය නිෂ්පාදනය කිරීමේ කටයුතු 2013 වසරේදී ආරම්භ කෙරිණි. ඒ මෙරට පාසල්වලින් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ඉංජිනේරුවන් පිරිසකගේ එකතුවෙනි. 2013 වසරේදී ආරම්භ කෙරුණු මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව ලබා දුන්නේ වසර දහයකට පසුවය. 

පරිගණක මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වූ කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගම මෙම මෝටර් රථය නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය. මෙම මෝටර් රථයේ විශේෂත්වය නම් සියලු කොටස් සහ මෘදුකාංග ශ්‍රී ලංකාව තුළම නිර්මාණය කර තිබීමය.
මෙය විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක මෝටර් රථයක් වන අතර පැයට කිලෝමීටර් 240 උපරිම වේගයෙන් ධාවනය කළ හැකිය. මෙහි බැටරිය ආරෝපණය කිරීමෙන් පසුව කිලෝමීටර් 240ක උපරිම දුරක් ධාවනය කළ හැකිය. කෝඩ්ජෙන් ඉන්ටර්නැෂල් සමාගම ආරම්භ කෙරුණේ 2000 වසරේදීය.

''වේගා මෝටර් රථය ලංකාවේ ප්‍රථම වතාවට නිෂ්පාදනය කෙරුණු සුපර් කාර් එකයි. මේ මෝටර් රථය බැටරිවලින් ධාවනය වන මෝටර් රථයක්. එක් වරක් චාර්ජ් කළාම කිලෝමීටර් 240 – 260 අතර දුරක් ධාවනය කරන්න පුළුවන්. මේ මෝටර් රථයේ සියලුම නිර්මාණ කටයුතු ලංකාවේම කරපු නිර්මාණයක්. මෝටර් රථයේ ඇතුළත සහ පිටත සියලු කොටස් ලංකාවේ නිර්මාණය කරපු ඒවායි. මේ වෙනුවෙන් බොහෝ කාලයක් අපි මහන්සි වුණා. ලංකාවේ ඉඳගෙනම ලංකාවේම හදල අවසානයේදී නිර්මාණය වුණු මෝටර් රථයක්.'' යැයි වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

වේගා මෝටර් රථය අපූරු නිර්මාණයකි. මෝටර් රථය නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව එය පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා මාර්ගයේ ධාවනයේ යෙදෙන හැම මොහොතකම මාර්ගයේ ගමන් ගන්නා මගීන්ගේ පමණක් නොව බොහෝ දෙනකුගේ අවධානය ඒ වෙත යොමුවන්නේ එම රථයේ ඇති ආකර්ශනීය පෙනුම නිසාමය.

විශේෂයෙන්ම තරුණයන්ගේ සිහිනයක් වන්නේ තමන්ටම වෙන්වුණු මෝටර් රථයකි. මෙවැනි සුපර් මෝටර් රථයක් හිමිකර ගැනීමට බොහෝ තරුණ හිත්වලට ඇත්තේ දැඩි කැමැත්තකි. වේගා මෝටර් රථයේ ඇති සුවිශේෂත්වය නම් මෙම නිෂ්පාදන කටයුතු සිදුවූයේද එවැනිම තරුණ පිරිසකගේ ඒකරාශි වීමෙනි. ඒ නිසාම එය තමන්ගේම වැඩ කොටසක් සේ සලකා මෙය නිෂ්පාදන කටයුතු සඳහා සම්බන්ධ වීමට ඔවුන් දැක්වූයේ දැඩි කැමැත්තකි. අවසානයේදී එහි ප්‍රතිඵලය වූයේ ඉතා අනගි මෝටර් රථයක් නිෂ්පාදනය වීමත් එය ධාවනය කිරීම සඳහා ලියාපදිංචි අංක තහඩුව ලබාගැනීමට හැකි වීමත්ය.

''තරුණ පිරිසෙන් බොහෝ දෙනෙක් කාර්වලට හරි කැමතියි. වේගා මෝටර් රථය මේ වෙද්දි ඉතා වේගයෙන් ධාවනය වන මෝටර් රථයක්. මෙහි ඇතුළත බොහෝ පහසුකම් තියෙනවා.'' යැයි ද ආචාර්ය හර්ෂ සුබසිංහ වැඩිදුරටත් පැවසීය.

හර්ෂ සුබසිංහගේ සංකල්පයකට අනුව නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරුණු වේගා මෝටර් රථයේ සියලුම කොටස් සහ මෘදුකාංග ශ්‍රී ලංකාව තුළ නිර්මාණය විය. මෙය අශ්ව බල 900 ජවය ඇති මෝටර් රථයකි. ටොන් 1.5ක බරුති මෙම මෝටර් රථය පැයට කිලෝමීටර් 100ක වේගයට පැමිණීමට අවශ්‍ය වන්නේ තත්පර 3.1 පමණි. මෙය පැයට කිලෝමීටර් 260ක් උපරිම වේගයෙන් ධාවනය කළ හැකිය. මෝටර් රථයේ සම්පූර්ණ පිටත ආවරණය වී ඇත්තේ කාබන් හා ෆයිබර් මගිනි.

මෙම මෝටර් රථය 2020 වසරේදී ජිනීවා ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයටද ඉදිරිපත් කර තිබිණි. මෝටර් රථය ඇතුළත ඇති පුළුල් තිර දෙකක් මගින් සියලුම දෑ පාලනය කිරීමේ හැකියාවක් ඇති අතර කාලගුණය, අන්තර්ජාලයට පිවිසීම ආදී බොහෝ තොරතුරු පරීක්ෂා කිරීමේ හැකියාව ද පවතී.

කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් කෘත්‍රිම බුද්ධිය හා මෘදුකාංග පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබූ ශ්‍රී ලාංකිකයෙකි.

''ලෝකයේ හොඳම මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න මට අවශ්‍ය වුණා. මුලින්ම මෝටර් රථය නිෂ්පාදනය කරලා ඊට පස්සේ ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් නිෂ්පාදනය කරන්න අපිට හැකි වුණා. ඉදිරියේදී තවත් නිෂ්පාදනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.'' යැයි ආචාර්ය හර්ෂ සුබසිංහ වැඩිදුරටත් පැවසීය.

ඉතා සුළු සේවක පිරිසකගෙන් ආරම්භ කළ මෙම නිෂ්පාදනයේ සේවය ලබාගැනීමට බොහෝ දෙනකුට අවශ්‍ය වී තිබේ. ඒ අනුව ඉදිරියේදී වේගා සුපිරි මෝටර් රථයක හිමිකාරිත්වය දැරීමට අප රටේ තරුණ පිරිසටද හැකිවනු ඇත.

I දිශානි ජයමාලි කරුණාරත්න