2023 මාර්තු 12 වන ඉරිදා

එළවළු මිල බැස්සට ගන්න කට්ටිය නෑ!

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 93

පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය හා විවිධ හේතු මත කලක් තිස්සේ ඉහළ ගොස් පැවැති එළවළු මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්දෝ දේශයට පැවසූහ. මේ අනුව සාමාන්‍ය වෙළෙඳපොළෙහි සැලකිය යුතු ලෙස එළවළු මිල පහළ ගොස් තිබේ.

භාණ්ඩවල සහ ද්‍රව්‍යවල මිල නොසිතූ ලෙස ඉහළ යන විට එම මිලට සාපේක්ෂව ජනතාවගේ දෛනික පරිභෝජනයේද විශාල වෙනසක් සිදු වූ බව වෙළෙන්දෝ පවසති. මේ නිසාම ඇතැම් ජනතාවට සිදු වූයේ තුන්වේල වෙනුවට දෙවේලකින් තම කුස පුරවා ගැනීමටය. දිව පිනවීම සඳහා ආහාර ගත් සමය අමතක කළ බොහෝ දෙනා මේ වනවිට කුස පිරවීම සඳහා පමණක් ආහාර ගැනීමට පෙළඹී සිටිති.

''දැන් නම් ජීවත් වෙනවා කියන්නෙත් එක්තරා විදිහකට මරණ සහතිකය අතේ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. ඉස්සර පෑලියගොඩ මැනිං වෙළෙඳපොළෙන් බඩු අරගෙන යන වෙළෙන්දන්ගේ විතරක් නෙමෙයි, ගෙවල්වලට එළවළු අරගෙන යන අයගේ පවා බඩු මලු අපි කර තියාගෙන වාහනවලට පටවලා දීලා දවසකට සෑහෙන මුදලක් අතට ගත්තා. අද මොන බඩු මලුද? උදේ ඉඳන් දවල් වෙනකම් තාමත් බඩු මලු අරගෙන ගියේ දෙන්නෙක්ගෙයි. ඒකටත් පොඩි ගාණක් තමයි ලැබුණේ. මෙහෙම ගියොත් අපිටත් මොනවා වෙයිද කියල දන්නෙ නැහැ. එළවළු මිල නම් මේ දවස්වල ටිකක් බැහැලලු. හැබැයි ඉතින් ඒත් අපිට වෙනසක් නැහැ. අපි මැනිං වෙළෙඳපොළේ ඉතුරු වුණු තැලුණු පොඩි වුණු ඒවා තමයි ගෙදර අරගෙන යන්නෙ.'' යැයි මැනිං වෙළෙඳ සංකීර්ණයේ සුළු සේවකයෙක් වන මිල්ටන් මහතා දේශයට පැවසීය.

මේ වනවිට එළවළු මිලෙහි යම් අඩුවක් දක්නට ලැබේ. එහෙත් මැනිං වෙළෙඳසල වෙත පැමිණෙන තොග සහ සිල්ලර වෙළෙඳුන්ගේත් පාරිභෝගිකයන්ගේත් යම් අඩුවක් පවතී. එනිසාම එළවළු තොග වශයෙන් මිලදී ගන්නා ගැනුම්කරුවන්ගේ අඩුවක් දක්නට ලැබේ.

''සාමාන්‍යයෙන් භාණ්ඩ මිල ඉහළ ගිය විට දෛනිකව තමත් හැඩගස්සවාගෙන ආ ජීවන රටාව වෙනස් වෙනවා. මැනිං වෙළෙඳපොළට ආ එළවළුවලට සාපේක්ෂව ආර්ථික මධ්‍යස්ථානවලත් යම් යම් ප්‍රමාණයක් අලෙවි වුණා. නමුත් අද වනවිට ඒ අලෙවි වීම සිදුවන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනත් ආර්ථික මධ්‍යස්ථානවලට ගෙන ආ එළවළු බොහොමයක් පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට සැපයෙනවා. ඒ වගේම එළවළු මිලදී ගැනීමත් මිනිසුන්ගෙන් ක්ෂය වෙමින් පවතිනවා. පවතින ආර්ථිකය අර්බුදය ඉහළ යාමත් සමඟ තම මූලික අවශ්‍යතා සඳහා පවා ඔවුන්  ලබා දෙන සැලකිල්ල අඩුවෙලා තියෙනවා. අද වනවිට මිනිසුන්ගේ දෛනික ජීවන රටාව තුළ ඔවුන් ආහාරවලට ලබා දෙන්නෙ ඉතා අඩු තැනක්. ඒ තරමටම ආහාර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලක්. කුමක් හෝ දෙයක් කා බඩ පුරවා ගැනීමයි ඔවුන් සිදු කරන්නෙ. එහි ගුණාත්මක, ප්‍රමාණාත්මක බව ගැන සැලකිලිමත් වෙන්නෙ නැහැ. ඉස්සර සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙක් මැනිං වෙළෙඳපොළට පැමිණ තමන්ගේ නිවෙසට අවශ්‍ය ආහාරපාන මිලදී ගත්තා. නමුත් අද වනවිට එහෙම නිවෙස්වලට මැනිං වෙළෙඳපොළෙන් ආහාර ගෙන යන පිරිස ඉතාම අඩුයි. ඔවුන් ඒ ඒ දවසට අවශ්‍ය විදිහට අසල වෙළෙඳසලකින් එළවළුවක් මිලදී ගන්නවා.'' යැයි මැනිං පොදු වෙළෙඳ සංගමයේ ලේකම් සමින්ද පීරිස් දේශයට පැවසීය.

මේ වනවිට පවතින එළවළු මිල අඩුවීමත් සමඟ මෙතෙක් ග්‍රූම් දෙසිය පනහක් මිලදී ගත් පාරිභෝගිකයකුට දැන් ග්‍රූම් පන්සියයක් හෝ මිලදී ගත හැකිය. එහෙත් එලෙස මිල අඩු වුවද පාරිභෝගිකයන් එළවළු මිලදී ගන්නා එළවළු ප්‍රමාණයේ වැඩිවීමක් සිදුවී නොමැත. ආර්ථික අර්බුදය හමුවේ තමන් පුරුදු වූ ජීවන රටාව අනුව තවමත් ඔවුහු එළවළු මිලදී ගනිති.

මිල අඩුවීමත් සමඟ මේ දිනවල මැනිං වෙළෙඳපොළේ කැරට් කිලෝවක් රුපියල් අසූවත් සියයත් අතර මිලකට තොග වශයෙන් අලෙවි වේ. ලීක්ස් කිලෝවක් රුපියල් සියයකි. හොඳ තත්ත්වයේ බෝංචිවල තොග මිල කිලෝවක් රුපියල් දෙසියයකි. හොඳම වර්ගයේ මාළු මිරිස් කිලෝවක් රුපියල් තුන්සියයකට අලෙවි වේ. අමුමිරිස් කිලෝවක් රුපියල් දෙසිය පනහත් තුන්සියයත් අතර මිලකට තොග වශයෙන් අලෙවි වේ. නමුත් මෙම මිලට සාපේක්ෂව තොග වශයෙන් මිලදී ගැනීමට මැනිං වෙළෙඳපොළට පැමිණෙන වෙළෙඳුන්ගේ යම් අඩුවක් පවතී. 

''සිල්ලර වෙළෙඳාම යම් තරමක් අඩු වූ විට දෛනිකව මැනිං වෙළෙඳපොළට පැමිණෙන වෙළෙඳුන්ගේ යම් අඩුවක් දක්නට ලැබෙනවා. සිල්ලර වෙළෙඳාමේ යෙදෙන වෙළෙඳුන් එළවළුවකින් කිලෝ දහයක් මිලදී ගත්තත් අද වනවිට ඔවුන් මිලදී ගන්නේ කිලෝ තුනත් කිලෝ පහත් වගේ ප්‍රමාණයක්. ඔවුන් මිලදී ගනු ලබන ප්‍රමාණයේ යම් අඩුවක් තියෙනවා. කිලෝ පනහක ගෝනියක් ගත්තු වෙළෙන්දෙක් අද වනවිට ගන්නා ප්‍රමාණය කිලෝ දහයක් දක්වා අඩුවෙලා තියෙනවා. ඒ තරමට අද වනවිට සිල්ලර වෙළෙදාම යම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවෙලා තියෙනවා. එයද එළවළු මිල පහත දැමීමට හේතුවක්. මැනිං වෙළෙඳපොළ කියන්නේ විශාල වෙළෙඳපොළක්. බොහෝ පැතිවලින් එළවළු හා පළතුරු මැනිං වෙළෙඳපොළට දිනපතා එනවා. මෙතන අතරමැදි ක්‍රියාවලියක් සිදුවන්නේ නැහැ. බොහෝ විට ගොවීන් සහ ව්‍යාපාරිකයන් අතර ඍජුවම ගනුදෙනුව සිදුවෙනවා.'' යැයි ද මැනිං පොදු වෙළෙඳ සංගමයේ ලේකම් සමින්ද සඳහන් කළේය.

එළවළු මිලෙහි යම් අඩුවීමක් සිදුවුවද මිලදී ගනු ලබන එළවළු ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරයි. කොළඹ හා කොළඹ අවට බොහෝ හෝටල් සහ ආපන ශාලාවලට එළවළු මිලදී ගනු ලබන්නේ මැනිං වෙළෙඳපොළෙනි. එහෙත් මීට මාස ගණනාවකට පෙර පැවති තත්ත්වයට වඩා අද එළවළු මිලදී ගැනීමේ සැලකිය යුතු වෙනසක් පවතින බව මැනිං වෙළෙඳපොළට පැමිණෙන පාරිභෝගිකයෝ පවසති.

''අපි මොරටුවේ හෝටලයක් කරගෙන යනවා. ආර්ථික මධ්‍යස්ථානවලින් පසුගිය කාලයේදී එළවළු මිලදී ගත්තත් මැනිං වෙළෙඳපොළට ඇවිත් එළවළු මිලදී ගැනීම ලාභදායී කියල හිතුණු නිසා අපි මාස කිහිපයකට පෙර සිට දිගටම මැනිං වෙළෙඳපොළට එනවා. මොරටුව, රත්මලාන ප්‍රදේශවල පවත්වාගෙන යන හෝටල් කිහිපයක හිමිකරුවන් කිහිප දෙනෙක් එකතුවෙලා දවසේ කුලියට ලොරියක් හයර් එකට අරගෙන තමයි අපි මෙතනට ආවේ. හැබැයි පසුගිය කාලෙදි එළවළු මිල පුදුම විදිහට ඉහළ ගියා. ඒ විතරක් නෙමෙයි මිල කරපු ආහාරවල මිල පාරිභෝගිකයන්ට දැරිය නොහැකි ලෙස ඉහළ ගිය නිසා අපේ ආහාරවල ඉල්ලුමද අඩු වුණා. වෙනදාට කෑම පාර්සල් වේලකට එකසිය පනහක් දුන්නත් මේ වෙද්දි අපිට දෙන්න වෙන්නෙ ඒ ප්‍රමාණයෙන් අඩක් පමණයි. ඒ නිසා සතියකට දෙවරක් මැනිං වෙළෙඳපොළට පැමිණ එළවළු මිලදී ගත්තු අපිට මේ මිල අඩුවීම කියල එතරම් ගාණක් නැහැ. එළවළු මිල අඩු වුණත් හෝටල්වලට එන පිරිස නම් වැඩි වෙන්නෙ නැහැ.'' යැයි මොරටුවේ ව්‍යාපාරික නිමල් මහතා දේශයට පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ