2023 මාර්තු 12 වන ඉරිදා

දූ දරුවන්ට අපබ්‍රංස නම් තබන අපේ ඇත්තෝ

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 578

උපදින සෑම අයකුටම නමක් තැබීම ලෝකයේ කොයි රටෙත් සිරිතකි.  ඕනෑම රටක ඕනෑම ජාතියකට අයත් ඕනෑම පුද්ගලයකුට නමක් තබන්නේ ඔහු හෝ ඇය වෙන්කර හඳුනා ගැනීම සඳහායි. අද නමට නිත්‍යනුකූල භාවයක්ද ලැබී තිබේ. උප්පැන්න සහතිකයේ නම ලියාපංදිචි කර තිබෙන හෙයිනි. අතීතයේ එවැනි ලියාපදිංචියක් වුණේ නැත.

පුරාණයේ තැබූ නම අද මෙන් වාසගම් සහිතව තබනු ලබන දිගු නමක් නොවේ. බොහෝ විට තබා ඇත්තේ එක නමකි. මෑත අතීතයේ සිට අපට පෙනෙන්නේ විවිධ බහුභුත තේරුම් ඇති නම් දරුවන්ට තබන බවයි. රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි නම් මේ විපරීත ස්වභාවය ගැන මෙසේ සඳහන් කර තිබේ.

''සමහරු නමෙන් ගුණදාසලා නැත්නම් සමහරු ධර්මදාසලා වෙති. එහෙත් ක්‍රියාවෙන් මේ බොහෝ දෙනා අගුණදාසලා, අධර්මදාසලා වෙති. අද නම් තැබීමේ වෙළෙඳ ව්‍යාපාර හෙවත් කඩ රැසක් අප රටේ දකින්න ලැබේ. එක නමක් තැබීම සඳහා මේ කඩකරුවෝ අඩුම වශයෙන් රු.3000/- හෝ 5000/- ක් පමණ අය කරති. හීනමානයෙන් පෙළෙන අනුවණ මව්පියෝ මෙකී නම් කඩවලට ගොස් තමන්ට නොවැටහෙන, ළමයින්ට කෙසේවත් නොවැටහෙන බොහෝවිට නම සදන අති පණ්ඩිතයනුත් අරුත නොදන්නා නමක් රැගෙන ගෙදර එති.

හොඳින් මතක තබා ගතයුතු කරුණක් වන්නේ, යම් නමක සර්වකාලීන අගයක් තිබිය යුතුය යන්නයි. අප්පුසිංඤො, පොඩිසිංඤො, කරෝලිස්, වැනි නම් දෙස බලන විට පැහැදිලි වන්නේ සර්වකාලීන අගයක් නැති බවයි. එහෙත් ආනන්ද, සුමේධ, නයනානන්ද, අරුණ, සම්පත්, උපාලි, ධර්මා, සුධර්මා, සුලෝචනා, සවිද්‍යා, අමරා, විනීත, සුභද්‍රා වැනි නම් කෙතරම් අරුත් බරද? සර්වකාලීනද? එනිසා අපේ මව්පියන් සර්වකාලීන අගයක් ඇති, සිංහල කටට හුරු, අපේකම දැනෙන, නමක් තම දූ දරුවන්ට තැබීමට අවධානය යොමුකළ යුතුය.''

නම් තැබීමේදී වැදගත් වන්නේ කාටත් නොතේරෙන උච්චාරණය පවා අපහසු නමක් තැබීම නොව ඉතා සරල නමක් තැබීමයි. අද සමහර ළමුන් සඳහා තබා ඇති නම් කියවීමට අපහසුය. ඒවායේ තේරුමක්ද නැත.

බුද්ධ චරිතයේ සඳහන් වන අන්දමට සුද්ධෝදන රජතුමා සිය පුත් කුමරුට නම් තැබීමේ මංගල්‍යයේදී  දේහ ලක්ෂණ ශාස්ත්‍රය දන්නා බමුණන් රජ මාලිගයට කැඳවීය. ඔවුන්ට සංග්‍රහ සත්කාර කර පුත් කුමරා පෙන්වා නමක් තබන ලෙස දන්වා සිටියේය. බමුණන් කුමරුගේ දේහ ලක්ෂණ පරීක්ෂා කර ඔහුට තැබූ නම සිද්ධාර්ථ විය.

ජ්‍යෝතිෂය අනුව නමකට අකුරු දෙන්නේ උපන් දවසට, ලග්නයට හා උපන් නැකතට අනුවය. අද වැඩි දෙනෙක් කරන්නේ එම අකුරු රැගෙන නම් තැබීමට ප්‍රකට පුද්ගලයකු සොයා යාමයි. ඔහු දෙන අපබ්‍රංස නමක් අවසානයේ දරුවාට උරුම වේ. වැඩිහිටි වී එහි තේරුම දැනගත් විට දරුවාට නම එපාවේ.

අද මධ්‍යම පන්තියේ කාන්තාවන් වැඩි දෙනෙක් විවිධ අන්දමින් කැපී පෙනීමට උත්සහ කරති. එය අරඹන්නේ තම දරුවන්ට තබන නමෙනි. කාටත් නොමැති නමක් ප්‍රසිද්ධ පුද්ගලයකු ලවා මුදලට ලබාගැනීම සිදුවේ. ඉන්පසු හොඳම පාසල තෝරා ගැනීමේ තරගයකි. දශක හතළිකට පෙර තිබුණු නම්වලට වඩා හාත්පසින් වෙනස් නම් අද භාවිත වේ. කලකට පෙර දරුවන්ට නම් තැබූවේ ගමේ පන්සලේ හාමුදුරුවෝ හෝ ඉස්කෝලෙ ගුරු මහතාය. ඔවුන් සේවය කළේ මුදලට නොවේ. අද එය විශාල ව්‍යාපාරයක් බවට පත්ව ඇත. අන්තර්ජාලයේද නම තැබීමේ සේවා ක්‍රියාත්මකය.

විසිවැනි සියවසේ මුල් භාගයේ ජනප්‍රියත්වයට පව තිබුණේ  ‘දාස’ ‘සේන’ ‘පාල’ ආදී නම් ය. එකල නම්වලට ඉංග්‍රීසි බලපෑම ද ලැබුණි. මේ නිසා වික්ටර්, ඩේවිඩ්, පීටර්, චාල්ස් වැනි නම්ද ධනවතුන් භාවිත කළෝය. මේ නම් ගමේදී කටවහරට හුරු ආකාරයට වෙනස් විය. පීටර් පීතර වශයෙනුත් චාල්ස් චාර්ලිස් ලෙසිනුත් හැඳින්විණි. විසිවැනි සියවසේ මැද භාගය වනවිට නිමල්, විමල්, සුනිල්, කමල්, ජයසිරි ආදී වශයෙන් නම් වෙනස් විය. කාන්තා නම්ද සුමනාවතී, සුමනලතා ආදියෙන් මිදී සුමනා, යමුනා ආදී වශයෙන් නවීකරණය විය.

අද සමාජය සයිබර් අවකාශයක ජීවත් වේ. වැඩි දෙනෙක් ස්මාට් දුරකථනය ඔබමින් කල් යවති. කෙසේ වුවත් දරුවන්ට තබන නම් පැවසීමට පවා අසීරුය. ඒවා මතක තබා ගැනීමටද අපහසුය. එම නම් වැඩි ප්‍රමාණයක් විශාල මුදලක් ගෙවා ප්‍රකට නම් තබන්නන්ගෙන් ලබාගත් ඒවා වේ. සමහරු දරුවාට තබා ඇති තිමිර යන්නේ අඳුර ඝන අඳුරය. කලකට පෙර දරුවන්ට තැබූ දීප්ති නමේ විරුධාර්ථයකි. පංකජ මඩෙහි උපන් යන්නය. රෝෂීණී යන නම තරුණියන් අතර සුලබ අතර එහි අරුත තරහ ඇත්තීය. තිවංක යනු තුන් පැත්තකින් වක්වූ යන අරුතය. සමහර පැරණි බුදු පිළම තිවංක ආකාරයෙන් නෙළීමට අපේ කලාකරුවා උනන්දු වී ඇත. සංක යන්නේ අරුත සැක සංකා සහිත බවය. සමහරු පිච්ච මල යන්නේ අරුත හැඟවෙන නම් තබති. පිච්ච මලේ සංස්කෘත වචනය ගණිකාය. ඉතින් දරුවකුගේ නම් තැබීමේ දී එවැනි අරුත්ද විමසා බැලිය යුතු වේ.

මෑත සමාජයේ දරුවන් අතර භාවිත වන නම් කීපයක් සලකා බලමු. ඖසර යනු ඔසු සාරයයි. ඖධික යන්නේ අරුත වදමල්ය. වදමල් අසුබ මලක් සේ සැලකේ. චක්ෂුර යනු අත්තික්කාය. ඔහාස, ඔදාන, ඔනෙල්, දිශත්‍ර වැනි නම් ද ශබ්ද කිරීමට අපහසුය. දැරියන්ට තබන නම් අතර තිබෙන අශිර්කා, යශිෂා, දුශායා වැනි නම් කියවීම කෙතරම් අපහසුද?

දරුවකුට නම් තැබීමේ මූලික අරමුණ වනුයේ ඒ දරුවා සෙසු දරුවන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීම හෙවත් ඒ දරුවාගේ අනන්‍යතාව ස්ථාපිත කර ගැනීම ය. එහෙත් අද වනවිට ඒ තත්ත්වය ඉක්මවා ගොස් බහුවිධ අවශ්‍යතා මත දරුවන්ට නම් තැබීම සිදු කරන බව පෙනේ. 

අතීතයේදී ගම්වල වැඩිහිටියෝ දරුවකුට නම් දෙකක් දරුවාට තැබූ බව පෙනේ.  එක් නමක් රජයේ උප්පැන්න සහතිකයට සීමා විය. ගෙදරත් ගමෙත් ඔහු හැඳින්වූයේ වෙනත් නමකිනි.  සුදු, අප්පුහාමි, චූටි, ලෙකූ, කළු මහත්තයා, නෝනා, කුමාරි, ආදී ලෙස ගමේ නම් තිබුණි.

දරුවන්ට නම් තැබීම පුරාණ භාරතීය ග්‍රන්ථවලට අනුව මංගල අවස්ථාවක් ලෙස සැලකුණි. නක්ෂත්‍ර නාමය, රහස්‍ය නාමය, භාවිත නාමය සහ යාඥා නාමය ලෙසින් පැරණි භාරතීය ගෘහ සූත්‍ර අනුව දරුවකු සඳහා නම් හතරක් තැබිය යුතු බව සඳහන් වේ.
අපේ රටේ මෑත නම් දෙස බලන විට නම් පේන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති නම් බහුලව සමාජයේ දැකගත හැකි බවයි.

I කුසුම්සිරි විජයවර්ධන