2023 මාර්තු 05 වන ඉරිදා

අපේ රටට හොඳ තණකොළ මදිවෙලා!

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 57

හිඟයක් ඇතැයි හාංකවිසියක් නොදැනුණත් අපේ රටේ මේ වන විට තණකොළත් හිඟ වී තිබේ. ඒ බව අනාවරණය වූයේ සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් සමඟ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය. කිරි ගොවීන් බලධාරීන් ඉදිරියේ අඳෝනා නැගුවේ හොඳ තණකොළ නැති නිසා කිරි දෙනුන්ට කිරි නොඑරෙන බවයි. බැලූ බැල්මට එය සරල ප්‍රශ්නයක් යැයි දැනුණද එය බරපතළ ප්‍රශ්නයකි. 

ගොවීන්ගේ ප්‍රශ්නයට ඇහුම්කන් දුන් බලධාරීන්ගේ තීරණය වූයේ සත්ත්ව ආහාරයක් සඳහා වගා කළ තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමටයි. එමෙන්ම පුරන් කුඹුරුවල වාණිජ බෝගයක් ලෙසත්, තම තමන්ට පෞද්ගලිකවත් තණකොළ වැවීමට තීරණය කෙරිණ. සත්ත්ව ආහාර සැකසීම සඳහා උසස් තණකොළ අවශ්‍යය. එහෙත් අපේ රටේ හරකුන් සිටින තරමට තණකොළ නොමැතිවීම මේ වන විට විශාල ප්‍රශ්නයකි. සර්වාගමික දර්ශනයෙන් පවා පහදා දී ඇත්තේ සතකු සීපාවකු හෝ කුසගින්නේ නොතබන ලෙසයි.

තණකොළ වැඩි වශයෙන් යොදාගන්නේ සත්ත්ව ආහාරයක් ලෙස සහ ගෙවතු අලංකරණය සඳහාය. එහෙත් ගෙවතු අලංකරණය සඳහා තණකොළ ගෙන්වන්නේ මැලේසියාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙනි. එසේම කිරි ගව පාලනයේදී ගවයන්ට ලබා දෙන සයිලේජ් නිෂ්පාදනය සඳහා ද තණකොළ අවශ්‍ය වෙයි.

ගුණාත්මක බවින් උසස් සහ වැඩි කිරි ප්‍රමාණයක් ලබාගත හැකි තෘණ විශේෂ තෝරාගෙන ඒවා තෝරාගත් පුරන් කුඹුරු ඉඩම්වල වගා කිරීමට තීරණය විය.

මෙරට පුරන් කුඹුරු අක්කර 47,000 ක් පමණ තිබේ. ඒ අතරින් බස්නාහිර පළාතේ පමණක් කිසිදු බෝගයක් වගා කළ නොහැකි පුරන් කුඹුරු අක්කර 11,000 ක් හඳුනාගෙන ඇත. එම ඉඩම් තෝරාගෙන තණකොළ වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැරසෙයි. එය පෞද්ගලිකව මෙන්ම වාණිජ වගාවක් ලෙස ද සිදු කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණය පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් අනාවරණය වූයේ මේ සම්බන්ධයෙන් තවම විධිමත් ක්‍රමවේදයක් සකසමින් පවතින බවයි. මෙම යෝජනාව බොහෝ දෙනාට විහිළු සපයන මාතෘකාවක් සේ දැනෙයි. විදෙස් රටවල තෘණ වර්ගවලට ඇත්තේ විශාල ඉල්ලුමකි. තණකොළ නිෂ්පාදනයට තණකොළ බීජ සහ දඬු කැබලි යොදා ගනියි. එහෙත් තණකොළ වැවීමට පුරන් කුඹුරු යොදාගැනීම වෙනුවට සිංහරාජය ආදී මහ ගණ වනාන්තර ඩෝසර් කළහොත් එයින්ද සිදුවන්නේ ඉඟුරු දී මිරිස් ගැනීමක් හා සමාන පාඩුවකි.

අපේ රටේ සූපවේදියකු වරෙක පැවසුවේ ලංකාවේ පොළොවේ වැවෙන නිල්ල නිලන සමහර තණකොළ වර්ග ආහාරයට ගැනීමට හැකි බවයි. ඉදිරියේදී නියඟයක් ඇතිවුවහොත් ජනතාවට කොස් කොළ, ක්‍රෝටන් කොළ ආහාරයට ගැනීමට සිදුවන බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ප්‍රධානියෙකි. කන්න ඕනෑ විට කබරගොයා තලගොයා කර ගන්නා සේ තණකොළවලටද එසේ වුවහොත් එක අතකට හොඳය. එවිට අපට ගෙදර යද්දී සුපර් මාකට්ටුවට ගොස් තණකොළ මිටියක් රැගෙන ගොස් සිංහල හාලේ බතක් සමඟ තණකොළ සම්බෝලයක්, තණකොළ මැල්ලුමක් සාදාගෙන බඩ පුරවාගන්නට හැකිය. කෙසේ වුවද හරකුන්ට හොඳ තණකොළ අවශ්‍යය. එහි කිසිදු වාදයක් නැත. ඒ සඳහා තණකොළ ප්‍රමාණවත් නොවන්නේ නම් එය යම් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ වගාවක් ලෙස හෝ සංවර්ධනය කර ලබාගත හැකි නම් උචිතය.

තණකොළ වගා කිරීමෙන් ගොවීන්ට අමතර ආදායමක් උපයා ගැනීමටද හැකිය. එයින් ගොවීන්ගේ අතමිට සරු වෙයි. හරකුන්ට ද කෑම ලැබී හරකුන්ගේ පෝෂණය ද වැඩි වැඩියෙන් සිදු වෙයි. එම ව්‍යාපාරය දියුණු කර ගැනීමෙන් මතු අනාගතයේදී අපේ රටේ තණකොළ ව්‍යවසායකයන් වුවද බිහිවීමට හැකිය. ගවයන් සිටින රටකට එය හොඳ ව්‍යාපාර අවස්ථාවක් වන්නේය. කාලීන ආයෝජනයකි.

කෙසේ වුවද සිංහල සංස්කෘතිය අපට උගන්වා ඇත්තේ 'බඩගිනි හැදුණාට ඉඳුල් නොකව්, තණකොළ නුබුදිති සිංහ පැටව්' යනුවෙනි. අතීතයේ ජනතාව එරට රාජ කුමරුන් වන සාලිය කුමරුන් සොයා රාජ මාලිගයට ගවයකුගේ පියවර සලකුණු ඔස්සේ ගවයකු පසුපස ගිය වග සද්ධර්මාලංකාරයේ එන සාලිරාජ කතා වස්තුවේ දැක්වෙයි. අද කාලේ සිදුවෙන සමහර දේවල් දිහා බලන විට ඒවා සිදුවනුයේ එදා මිනිසුන් ගවයන් පසුපස ගිය නිසාමදෝ යැයිද නිකමට සිතෙයි.

■   සසංක චලන ගිම්හාන