2023 මාර්තු 05 වන ඉරිදා

500 බිල 3500 වෙලා විදුලි බිලේ නැග්ගිල්ල

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 186

විදුලිය රතු එළි දල්වා ඇත. රතු බිල ළඟ එන බව පැහැදිලිය. ඉහළ ගිය විදුලි ගාස්තු මිල සමඟ රටම කැළඹී සිටී. ලක්ෂ ගණනින් විදුලි බිල් ගෙවාගන්නට බැරි බව ප්‍රසිද්ධ මාධ්‍යයේම විදුලි පාරිභෝගිකයෝ කියති. විදුලි ගාස්තු වැඩිවීමට සාපේක්ෂව රටේ තවත් බොහෝ අත්‍යාවශය සේවා සහ භාණ්ඩ මිල යනු ඇති බවට අනාවැකි පළවේ. ලාම්පු පන්දම් දල්වාගත් විරෝධතාද මහමග තැන තැන දක්නට ලැබේ. සිදුවන්නට යන්නේ කුමක්ද? අප විමසා බලමු.

"ගෙවන්න බෑ. ගෙවන්නෙ නෑ" යන සටන් පාඨය යටතේ පසුගිය රටපුරා විවිධ ප්‍රදේශවල විදුලි ගාස්තුව එරෙහි විරෝධතා සංවිධානය විය. විදුලිය පාවිච්චිකරන්නන් ගේ සංගමය, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා දේශපාලන පක්ෂ විසින් මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.

මෙම විරෝධතාවලට සම්බන්ධ වෙමින්, විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි සටනට අවතීර්ණ වී සිටින ඕමල්පේ සෝභිත හිමියන් මෙම නව සටන් පාඨය සම්බන්ධ පළ කලේ මෙවන් අදහසකි.

"යටි අරමුණ තමයි. විදුලිබල මණ්ඩලයේ කෘත්‍රිම ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා. මේ ආයතනය විකුණා දැමීම.  එය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. වැඩිවෙන විදුලි බිල ගෙවන්න බෑ. ඒ නිසා ගෙවන්නෙත් නෑ. මේක තමයි සමස්ත ජනතාවගේ මතය."

විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව පසුගිය සතිය පුරාම මාධ්‍ය සාකච්ඡා රැසක්ද සංවිධානය විය. මේ අතර විදුලි බල මණ්ඩලයේ පාඩු ලැබීම හේතු අතර නව හේතුවක් කරළියට පැමිණියේය.

"ඒ.එස්. ඇඹිලිපිටිය කියන බලාගාරය 2005 වසරේ තමයි ගිවිසුම් ගතවෙන්නෙ. පළමුවෙන් අවුරුදු දහයකට. 2015දී මේ ගිවිසුම් අවසන් වෙනවා. අදාළ සමාගමට වාසිදායක වන විදිහට තමයි මේ ගිවිසුම් සකස් කරල තියෙන්නේ. පළවෙනි අවුරුදු 10 දහය ඇතුළත මේ ආයතනය ලාභ ලබලා තියෙනවා රුපියල් බිලියන 8.6 ක්. ප්‍රාග්ධන වියදමට සාපේක්ෂව ගත්තු සීයට 511%ක ලාභයක්. කොහොමද ගේම් එක."

විදුලිබල මණ්ඩලයේ සම්බන්ධ මෑතක නිකුත් වූ  විගණන වාර්තාවක් උපුටා දක්වමින් මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජය ධම්මික මහතාය. විදුලි ගාස්තු ඉහළ යාම සම්බන්ධ නවතම අනාවරණය මෙය විය.

ඒ අනුව පාරිභෝගික සංගම් ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් චෝදනා කර සිටියේ මේ ආදී දූෂණ අක්‍රමිකතා හේතුවෙන් පාඩු ලැබූ විදුලි මණ්ඩලයේ බර බොහෝ ජනතාව පිට පැටවීම අසාධාරණ බවයි.

මේ අතර විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 6කට පමණ වැඩිවූ විදුලි බිල්පත් ගෙවා ගැනීමට නොහැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග කියා සිටී. ඒ වාඩුව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකගේ පමණ විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහි බරපතළම කරැණ නම් එම සියලු විදුලි පාරිභෝගිකයාට අඩු ආදායම් ලාභීන් සහ වතුකරය ආශ්‍රිත ජීවත්වන ප්‍රජාව වීමයි.

නිවෙසේ විදුලි බිල්පත් අතට ලැබුණු පසුව දැනට පවතින විරෝධතා තවත් උග්‍රවනු ඇති බවට ඉඟි පළවෙමින් තිබේ. මේ වනවිටත් සමාජ මාධ්‍ය ඔස්සේ විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි සංවිධානගත වීම් දක්නට ලැබේ. #DontPay නමින් හෑෂ් ටැග් එකක් ඉකුත් සතියේ කරළියට පැමිණ තිබුණි.

 #DontPay අසාධාරණ විදුලි බිල්පත් වැඩිකිරීමට එරෙහිව ගොඩනැගෙන බහුපාක්ෂික සමාජ ව්‍යාපාරයක් ලෙස එය ගොඩ නැගූ පිරිස් හඳුන්වනු ලබයි. මෙම ව්‍යාපාරය පහත සඳහන් දත්ත සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි.
විදුලි ඒකකයක් ජනනය කිරීමට යන පිරිවැය 

ජල විදුලිය - රුපියල් 2.80
පුනර්ජනනීය බලශක්තිය - රුපියල් 35ත් 40ත් අතර
ගල් අගුරු බලාගාර මගින් - රුපියල් 50ත් 60ත් අතර
ඛණිජ තෙල් බලාගාර මගින් - රුපියල් 90 සිට 200 දක්වා
ශ්‍රී ලංකාවේ සමස්ත ගෘහස්ථ විදුලි පරිභෝජනය 
ඒකක 30ට අඩු - පවුල් මිලියන 1.46
ඒකක 31ත් 60ත් අතර - පවුල් මිලියන 1.68
ඒකක 61ත් 90ත් අතර - පවුල් මිලියන 1.70
ඒකක 91ත් 120ත් අතර - පවුල් මිලියන 0.89
ඒකක 120ට වැඩි - පවුල් මිලියන 0.97

මෙතෙක් පැවති සම්මතය අනුව ජල විදුලියෙන් ලබාගන්නා සහනය ආදායම් අවම ජනගහනය වන ඒකක 90ට අඩුවෙන් භාවිත කරන පවුල් මිලියන 5ක් වෙත ලබාදුන් අතර එය නව මිල වැඩි කිරීම් යටතේ උල්ලංඝනය වන බව ඔවුහු කියා සිටිති.
 පසුගිය වසරේ ජූලි මස රැපියල් 120ක් ලද දුප්පත්ම පුරවැසියකුට නව සංශෝධනය යටතේ රැපියල් 1300ක අවම මිලක් ලැබෙනු ඇතැයි ද ඔවුන් පවසයි. එසේම ඔවුනට අනුව රුපියල් 500ක පමණ බිලක් ලද අයෙක්ට රුපියල් 3500ක ආසන්න බිලක් නියම වනු ඇත.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති විදුලි බිල සංශෝධනයට අනුමැතිය ලබාදුන් මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කොට තිබේ. අතිබහුතරයක් මහජනතාව පීඩාවට පත් කරමින් විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව නඩු පැවරීමට ඒ මහතා තීන්දු කොට ඇතැයිද කියැවේ. එම නීති කටයුතු සිය පෞද්ගලික මුදලින් ඔහු විසින් සිදුකරනු ඇතැයිද දැනගන්නට ලැබේ.

මේ අතර පසුගියදා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ රජයේ ප‍්‍රතිපත්තිය වන්නේ 2030 වසර වනවිට පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය සියයට 70ක් දක්වා ඉහළ නැංවීම වන අතර වසර 2050 වනවිට කාබන් උදාසීනත්වයට පත් කිරීම බවයි. 2028 දක්වා ජනන සැලැස්මද ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

■   චමිඳු නිසල් ද සිල්වා