2023 මාර්තු 05 වන ඉරිදා

ඡන්දය ඉල්ලා කරන සටනේ පළමු බිල්ල

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 46

"ඡන්දය නවතා ප්‍රජාතන්ත්‍රවාදය වැළැක්වීමේ ආණ්ඩුවේ බියගුළු උත්සාහය පරදවමු" තේමා පාඨය මුල්කරගෙන පළාත් පාලන මැතිවරණය කල් නොදමන්නැයි රජයට බලකරන ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පාගමනක් කොළඹදී පැවැත්විණි. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයන් හා පක්ෂයේ ආධාරකරුවන් රැසක් ඊට දායක වූහ. එම විරෝධතා පා ගමනට එක්ව සිටියදී රත්නපුර නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග අපේක්ෂකයකු ජීවිතක්ෂයට පත්වීම රටේම කතාබහට ලක්විය.

මෙම විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි. එම ප්‍රහාරයට මැදිවූ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේග අපේක්ෂක නිමල් අමරසිරි මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමග එම පක්ෂයේ නියෝජිතයන් හා ආධාරකරුවන්ට කොළඹ ලිප්ටන් වටරවුම ඇතුළු රෝහල් චතුරශ්‍රය පිහිටි කලාපයට ඇතුල්වීම, එම ප්‍රදේශයේ පදික වේදිකා අවහිර වන සේ උද්ඝෝෂණය හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබිණ. ජාතික රෝහල, ඇස් රෝහල, හෘද රෝහල සහිත ප්‍රධාන රෝහල් චතුරශ්‍රය පිහිටි ප්‍රදේශවල දෛනික කටයුතුවලට බාධා වන ලෙස උද්ඝෝෂකයන් ඇතුල්වීම වළක්වාලමින් අධිකරණ නියෝගය නිකුත් කොට තිබුණේ පොලීසිය අධිකරණයට දැන්වූ තොරතුරු විමසීමෙන් පසුවය. මේ අතර ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර, සීමන්ස් පාර හන්දිය දක්වා ඇති මහාමාර්ගය හා පදික වේදිකා අවහිර කරමින් කරන පෙළපාළි හා උද්ඝෝෂණද අධිකරණ නියෝගය හරහා තහනමට ලක්කොට තිබුණි. මීට අමතරව ජනාධිපති මන්දිරය හා මුදල් අමාත්‍යංශය මෙන්ම ගාලුමුවදොර වෙත උද්ඝෝෂකයන්ට ඇතුල්වීම තහනම් කරන නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත්කොට තිබිණ. කෙසේ නමුත් සාමකාමී උද්ඝෝෂණවලට කිසිදු බාධාවක් නැති බව එම නියෝගවල දැක්විණි.

එසේ තිබියදි රැඳී සිටි උද්ඝෝෂකයන් පලවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ඒ කොළඹ යුනියන් පෙදෙස ආශ්‍රිත ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයේදීය. ප්‍රහාරයට ලක්වූ 20කට වැඩි පිරිසක් තුවාල ලැබීම නිසා රෝහල් ගත කරන්නට සිදුවිය. පිරිස පලවාහැරීමට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයට නිවිතිගල සිට පැමිණි නිමල් අමරසිරි මහතා මැදිවී තිබේන අතර ඔහුට යම් අපහසුතාවක් ඇතිවූ බව දුටුවෝ පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා "උද්ඝෝෂණයට කිසිදු හේතුවක් නැතුව පොලීසිය පහර දුන්නා. ජලය කඳුළු ගෑස් දෙකම ගැහුවා. 28 දෙනෙකුට තුවාල වුණා. ඒ අතරින් දෙන්නකුට අසාධ්‍ය වුණා. ඉන් එක්කෙනෙක් තමයි මියගියේ. ඔහු නිවිතිගල ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වූ කෙනෙක්. අනෙක් පුද්ගලයා තවමත් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. රනිල් ඇතුළු ආණ්ඩුව මේ මරණයේ වගකීම බාරගත යුතුයි. ඒ වගකීමෙන් මිදෙන්න මේ ආණ්ඩුවට බෑ... මේ සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා."

ජීවිතක්ෂයට පත්වූ නිමල් අමරසිරි මහතා එක්දරු පියෙකි. 60 හැවිරිදි වියේ පසු වූ ඔහු මීට ඉහතදී ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිලධාරියෙකි. ඔහුගේ බිරිය අසනීප තත්ත්වයෙන් පසුවන අතර එකම පුත්‍රයා විදෙස්ගතව සිටී. නිමල් අමරසිරි මහතා නිවිතිගල ප්‍රාදේශීය සභාවට මොරගල්ල කොට්ඨාසයෙන් සමානුපාතික ලැයිස්තු අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට සූදානමින් සිට ඇත.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ නිමල් අමරසිරි මහතා දුවන බව දුටු බවත් එහිදී, බිම ඇද වැටෙනවා දුටු බවත් ප්‍රකාශ කළේ ඔහුගේ මිත්‍රයකු වූ විජේතිලක මහතාය. ටික වෙලාවකට පසුව නිමල් මහතා වමනය දැමූ බවත් ඒ අවස්ථාවේ රෝහල් ගත කිරීමට පියවර ගත් බවද වැඩිදුරටත් පැවසීය. ඔහු සමඟ රෝහල් ගත කෙරුණු සෙසු පිරිසද කඳුළු ගෑස් ප්‍රහාරය හමුවේ ස්වසන ආබාධයන්ට ලක්වූ පිරිස් බව වාර්තා විය. මේ අතර පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේ පසුගිය 26 වැනිදා උද්ඝෝෂකයන්ට එල්ල කළ ජල ප්‍රහාරය සඳහා වතුර ලීටර් 6500ක් භාවිතාවට ගත් බවකි.

මෙම ප්‍රහාරය තරයේ හෙලා දකින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ. මේ අතර නිදහස් ජනතා සන්ධානයේ සාමාජික ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරන්නේ ඡන්ද අයිතිය ඉල්ලා පාරට බහින මහජනතාව මර්දනය කිරීමට රජය ගෙනයන ක්‍රියාකලාපය හෙළා දකින බවකි. මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

මෙම විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කිරීමෙන් පුද්ගලයන් 28 දෙනකු පමණ තුවාල ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ පැය 24ක් ඇතුළත සිදුවීමට අදාළ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසය. මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ පා ගමන කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ ක්‍රියාත්මකව තිබෙන අතරතුර ඒ ආශ්‍රිතව විරෝධතා පැවැත්වීම තහනම් කොට නොතිබුණු මොහොතක යුනියන් පෙදෙසේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳව එම කොමිසමේ අවධානය යොමුව ඇති බවය.

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජල බලවේගයේ සාමාජිකයන් 26 දෙනකුට පසුගිය 26 වැනිදා කොළඹ පැවැති විරෝධතාවට සහභාගිවීම තහනම් කර තිබියදී ජාතික ජනබලවේගය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා පා ගමන පවත්වා තිබුණි. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවැත්වූ සාමකාමී උද්ඝෝෂනයට පහරදීමෙන් සිදුකළ ඝාතනයේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාරගත යුතුව ඇතැයි ජාතික ජනබලවේගය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කොට තිබිණි.

■    සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00