2023 මාර්තු 05 වන ඉරිදා

ශවේන්ද්‍ර බිත්තියට හේත්තු කළ කමිටු වාර්තාව

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 48

හිටපු යුද හමුදාපති සහ හිටපු වැඩ බලන ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉතා බරපතළ ලෙස ඔහු වෙත පැවරී තිබූ රාජකාරි වගකීම් පැහැර හැර ඇති බවට පසුගිය 24 වැනිදා අභියාචනාධිකරණයේදී අනාවරණය විය. හිටපු යුද හමුදාපතිවරයා මැයි මස 9 හා 10 දිනවල රට පුරා සිදුවූ නිවාස සහ දේපළ ගිනිබත් කිරීම් සහ අපරාධ පිළිබඳ ඍජුව වගකිව යුතු බවට චෝදනා එල්ල වී තිබේ. එම ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගැනීම අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය අසල ආරක්ෂක තත්ත්වය පාලනය කිරීමට පියවර නොගැනීම මෙන්ම එයට පෙර මිරිහානේ හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස අසල ඇතිවූ කලහකාරී තත්ත්වය මැඩපැවැත්වීමට අපොහොසත් වීම පිළිබඳව ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මෙම කරුණු සාකච්ඡා වූයේ මෑතකාලීනව සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිවලදී සන්නද්ධ හමුදාව හා රාජ්‍ය ඔත්තු සේවාව විසින් සිදු කරනු ලැබූ අඩුපාඩු හා දුර්වලතා සොයා බැලීමට පත් කළ විමර්ශන කමිටු වාර්තාව අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් වීමේ ප්‍රතිඵලයක් ලෙසටය. මෙම වාර්තාව ඉදිරිපත් කළ කමිටුවේ සභාපතිවරයා අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ මහතා වූ අතර, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක සහ විශ්‍රාමික හමුදා ජෙනරාල් දයා රත්නායක යන මහත්වරු සෙසු සාමාජිකයෝ වූහ.

මෙම විමර්ශන වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර සෑහෙන කාලයක් ගත වී තිබුණද එය මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කර නොතිබූ අතර, අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනගත වීමක් සිදුවූ බව පෙනේ. මෙහි වගඋත්තරකාර නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් කර නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ ඇතුළු 34 දෙනකු ගොනුකර තිබූ පෙත්සම පසුගිය 24 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න, විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්වරුන් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම විමර්ශන වාර්තාව නඩුකරය සඳහා අවශ්‍ය බව පැමිණිල්ලේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වාර්තාව සභාගත විය.
එම වාර්තාවේ ඉදිරිපත් කර තිබූ ප්‍රධාන නිරීක්ෂණ සහ නිගමන සමහරක් මෙසේ විය.

"සන්නද්ධ හමුදා අණ දෙන ප්‍රධානියා දුන් නියෝග සහ උපදෙස් ද පසුව ආරක්ෂක ලේකම්වරයා දුන් නියෝග ද වැඩ බලන මාණ්ඩලික ආරක්ධක ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ක්ෂේත්‍ර අණ දෙන නිලධාරීන්ට නිසි වෙලාවට දැනුම් දී නැත. වැඩිදුරටත් සඳහන් කරන්නේ නම් ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි උපදෙස් සපයා නැත. එය රාජකාරිය හිතාමතාම පැහැර හැරීමකි. එහි ප්‍රතිඵලයක් ලෙස හමුදාවට, මහජන දේපළවලට හා පුද්ගලයන්ට හානි සිදුවීම වළක්වා ගත නොහැකිව තිබුණු බව සනාථ වෙයි.

ඒ අනුව නිගමනය කළ හැකි වන්නේ අරලියගහ මන්දිරයේ, විශේෂයෙන් අගමැතිවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඒ මොහොතේ අරලියගහ මන්දිරයේ සිර වූ කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ ජීවිත බරපතළ තත්ත්වයකට පත් වීමය. එමෙන්ම අගමැතිවරයාගේ තනතුරින් සමුගැනීමේ අවස්ථාවට සුබ පැතීමට පැමිණ සිටි විශාල ජනතාවක් අරලියගහ මන්දිරයේ සිරවී සිට ඇත."

එම විමර්ශන වාර්තාවේ මෙසේ ද සඳහන්ව තිබිණ.

"අරලියගහ මන්දිරයේ විරෝධතාකරුවන්ගේ හැසිරීම ප්‍රචණ්ඩකාරී ස්වරෑපයක් ගැනීමේදී ඔවුන් විසුරුවා හැරීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව අවවාදාත්මක වෙඩි තැබීම් සිදු කිරීමට කටයුතු කර තිබිණ. මෙය සිදු කර ඇත්තේ ගුවන් හා නාවික හමුදා ප්‍රධානීන් ඔවුන්ගේ අණ දෙන නිලධාරීන්ගේ මාර්ගයෙන් ඍජු නියෝග නිකුත් කිරීමෙන් පසුව බවද ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පෙන්වා දෙයි. එකිනෙකට පරස්පර උපදෙස් මාලා දෙකක් නිකුත් කිරීම මෙන්ම සන්නද්ධ හමුදාවේ අණ දෙන ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ උපදෙස් සහ මැර ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ක්‍රියා කරන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා දුන් ඍජු නියෝග නොසලකා හැර දැමීම, තමා පෞද්ගලිකව නියෝග කරන තුරු හමුදා ඛණ්ඩ නොයොදවන ලෙස යුද හමුදාපතිවරයා ක්ෂේත්‍ර අණ දෙන නිලධාරීන්ට දැනුම් දීම, හමුදා ඛණ්ඩ යෙදවීමට නියෝග නිකුත් කිරීම පස්වරු 6.30 – 6.45 අතර කාලසීමාවේදී සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දේශපාලනඥයන්ගේ දේපළවලට හානි සිදුවීමෙන් වළක්වා ගැනීමට පොලිසියට සහාය දීමට තිබූ කාලසීමාව අහිමි කිරීමද එහි සඳහන් විය. එසේම බොහෝ ස්ථානවලදී යුද හමුදාව අවශ්‍ය බලය අවම ලෙස භාවිත කිරීම, හමුදාව සිටි ස්ථානවල පාලනය මැර කණ්ඩායම් සියතට ගැනීම නිසා නිවාසවලට හා දේපළවලට සිදුවූ හානිය ඉහළ යාම ආදී කරුණු ගණනාවක් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මෙම වාර්තාවේ දක්වා තිබුණි.

එසේම කමිටුව සඳහන් කරන තවත් සුවිශේෂ කාරණාවක් වන්නේ 2022 මාර්තු 5 දින මිරිහාන පැඟිරිවත්ත පාරේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙහෙයවූ විරෝධතාව පිළිබඳ ජනාධිපති ආරක්ෂක අංශයෙන් ලබාගත් තොරතුරු මුළුමනින්ම විමතිය දනවන සුළු වූ බවයි. පසුව හෝ එවැනි තත්ත්වයක් හටගැනීම වැළැක්වීමට ඉක්මන් සැලසුම් සකස් කිරීම සඳහා ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසු දිනම සාකච්ඡා කිහිපයක් පවත්වා තිබුණද එම සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවී ඇති බවද වාර්තාවේ සඳහන්ය. එයට හේතුව මිරිහාන ප්‍රදේශයට හමුදා අනුඛණ්ඩ ස්ථානගත කිරීමේදී සිදුවූ අනවශ්‍ය ප්‍රමාදය බවද වාර්තාව අවධාරණය කර ඇත.

එයට පෙර සාමකාමී විරෝධතා පැවැති බව කියන මිරිහානේදී අනතුරුව සිදුවූ මැර ක්‍රියා පිළිබඳ කිසිදු බුද්ධි අංශයකින් කරුණු අනාවරණය කරගෙන නොතිබුණි. එසේම ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ගුවන් හමුදාව හා නාවික හමුදාව නිසි වෙලාවට එම ස්ථානයට ළඟා වුවද යුද හමුදාව තම හමුදා ඛණ්ඩ අනුයුක්ත කිරීමට ප්‍රමාද කිරීම නිසා එම මාර්ගය අහුරා දමමින් සිටි විරෝධතාකරුවන් ගණන ඉහළ නැග තිබුණු අතර, ඒ හේතුවෙන් යුද හමුදාවට එම ස්ථානයට නියමිත වෙලාවට පැමිණීමට නොහැකි වී ඇති බවද වාර්තාවේ දැක්වේ.

විරෝධතාකරුවන් මිරිහාන හා ඇඹුල්දෙණිය දිශාවලින් පැරණි කැස්බෑව පාර මුළුමනින්ම වසා දැමීමට සමත් වී ඇති අතර ඒ ගැන නිරීක්ෂණය කිරීමට හා මෙහෙයුම්වලට සම්බන්ධ වීමට ආරක්ෂක ලේකම්වරයා, මහජන ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමඟ පොලිස්පති අකුරේගොඩ යුද හමුදා මෙහෙයුම් කාර්යාලයට පැමිණ තිබේ. ලංගම බසයක් ගිනි තබා ඇති අතර, පෞද්ගලික දේපළවලට හානි කිරීම හා ජනාධිපතිගේ නිවෙස අසල පිහිටි නිවාසවලට හානි කිරීම ආදී මැර ක්‍රියාකාරකම් උත්සන්න වී තිබේ. අප්‍රේල් 1දා පාන්දර 1ට පමණ විශේෂ කාර්ය බලකාය ගුවන් හමුදාවද සහාය කරගෙන බැටන් ප්‍රහාර එල්ල කරමින් කැරලිකරුවන් ඇඹුල්දෙණිය මංසන්ධිය දෙසට පලවා හැරීමට සමත් වී ඇත. මෙය පාලනය කිරීමට අපොහොසත් වීමට ප්‍රධානම හේතුව වන්නේ නියෝග දීමේදී ඇතිවූ දුර්වලතා වන අතර, අණ දෙන හමුදා නිලධාරීන්ගේ දුර්වලතා නිසා තත්ත්වය බැරෑරුම් වූ බවද වාර්තා කර ඇත.

මැයි 9 වැනිදා සිදුවූ පෞද්ගලික දේපළවලට හානි කිරීම් සහ නිවාස ගිනි තැබීම් පිළිබඳ කමිටුවේ අදහස වන්නේ හමුදා ඛණ්ඩ යෙදවීමට නියෝග කිරීම එදින පස්වරු 6.30 – 6.45 දක්වා ප්‍රමාද කිරීම නිසා දේශපාලනඥයන්ගේ නිවාසවලට හා දේපළවලට හානි කිරීම වළක්වා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගොස් ඇති බවය. අනුරාධපුරයේ ඥානා මෑණියන්ගේ නිවෙස ආරක්ෂා කිරීමට යුද හමුදා භටයන් 250ක් යෙදවුවද එයට කළ හානිවලින් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී තිබේ.

එසේම ශවේන්ද්‍ර සිල්වාට එල්ල වී ඇති තවත් ප්‍රධාන චෝදනාවක් වන්නේ ඔහු 2022 මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයේ සිදුවීම් පිළිබඳ ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමය. ඔහු පුවත්පතට එම ප්‍රකාශය කළේ ඒ පිළිබඳ විමර්ශන කණ්ඩායම පරීක්ෂා කරමින් සිටියදී වන අතර, එය මණ්ඩලයේ කටයුතු යටපත් කිරීමට බලපෑම් කිරීමට ගත් උත්සාහයක් බවට පරීක්ෂණ කමිටුව චෝදනා කරයි. ඔහු සාකච්ඡාව දුන් දින කොළඹට යොදවා සිටි එයා මොබයිල් බ්‍රිගේඩයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනා පරීක්ෂණ කමිටුවට දුන් පිළිතුරුවලට එයින් යම් බලපෑමක් ඇතිවූ බව ඔවුන්ගේ අදහස වේ. එයට හේතුව එම නිලධාරීන් දුන් සාක්ෂිවලට ජනරාල්වරයා පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවේ ප්‍රකාශ යම් ලෙසකට බලපෑම් සිදුවූ බව පෙනී යාමය.

සන්නද්ධ හමුදා අණ දෙන ප්‍රධානියා දුන් නියෝග හා උපදෙස් සහ ආරක්ෂක ලේකම් දුන් නියෝගද ශවේන්ද්‍ර සිල්වා අණ දෙන නිලධාරීන්ට නිසි වෙලාවට දැනුම් දී නැති අතර එය නිහතමානීව රාජකාරිය පැහැර හැරීමක් බවට චෝදනා කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හමුදාවට සහ මහජන දේපළවලට හානි සිදුවීම වළක්වා ගැනීමට නොහැකි වී තිබෙන බවද අවධාරණය කෙරේ.

මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී සිදුවීම වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳ නිර්දේශ ගණනාවක්ද මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත. මෙම නිර්දේශ ක්‍රියාවට නැගීමට වගකිවයුත්තන් වහා පියවර ගත යුතු නමුත් එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් තවම අනාවරණය නොවේ. ඒ සමඟම රාජකාරි පැහැර හැර ඇති බවට චෝදනා ලැබූ හිටපු යුද හමුදාපති සහ වැඩ බැලූ මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව අපේක්ෂාවෙන් බලා සිටින බවද කිව යුතුය.

I යසවර්ධන රුද්රිගූ