2023 මාර්තු 05 වන ඉරිදා

අපේක්ෂා රෝහලට එන රෝගීන්ට හැමදාම කන්න දෙන ’’ජන සුව බල’’ මහ දන්සල

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 163

මේ ගෙවෙන්නේ ජීවිතේ අමාරුම කාල පරිච්ඡේදයකි. දිනෙන් දින ඉහළ යන බඩු මිලත් සමඟ ජීවන බර මහ ඉහළින් ජනතාවට දැනෙද්දී ජීවිතය හරි අමාරු යැයි කෙනකුට සිතෙනු ඇත. ඒ අතරේ අනපේක්ෂිත ලෙසින් කෙනකු රෝගී වුවොත් ඒ පීඩනය දැනෙන්නේ රෝගියාට පමණක් නොව ඔවුන් වටා සිටින ඔවුන්ගේ සමීපතමයන්ටද එය දැඩිව බලපායි. මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන, එහි නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ටද ජීවිතය පිළිබඳ බලාපොරොත්තු රැසකි.

දිනපතා අපේක්ෂා රෝහලට දිවයිනේ නන් දෙසින් ප්‍රතිකාර ලබාගන්නට රෝගීහු පැමිණෙති. ඇතැමුන් සායනවලට පැමිණෙද්දී තවත් පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබාගන්නට රෝහලට පැමිණෙති. මේ රෝගීන්ට දිවා ආහාරය නොමිලේ ලබා දෙන 'ජන සුව බල' නම් සත්කාර සේවය දැකබලා ගැනීමට පසුගියදා අපට අවස්ථාව ලැබිණි.

මහරගම අපේක්ෂා රෝහලට ඉතා සමීපව පිහිටි ඉඩමක මෙම සත්කාරය සිදුවෙයි. ඒ මාසික කුලී පදනම යටතේය.

"මේ ප්‍රජා සත්කාරය ආරම්භ කළේ තිවංක ගුණවර්ධන නම් අපේ මිතුරා විසින්. අපි මේ වැඩසටහන ආරම්භ කරන්න පළමුව මේ වැඩසටහන වෙනත් පිරිසක් විසින් කරගෙන ගිහින් තිබුණේ. නමුත් එක්තරා සිදුවීමක් නිසා ඔවුන් මෙය අතරමග නතර කළා. මේ නිසා තිවංකට ඕන වුණා මේ වැඩසටහන අසරණ රෝගීන් වෙනුවෙන් ඉදිරියට කරගෙන යන්න. ඒ නිසා තිවංක මූලික වෙලා අපි 2019 වසරේ අගෝස්තු මාසෙදි නැවතත් මේ ප්‍රජා සත්කාර සේවය ආරම්භ කළා. මුල් කාලෙදි අපි සිය දෙනකුට පමණ තමයි දහවල් ආහාරය නොමිලේ ලබා දුන්නෙ. අද වෙද්දි අපි දිනකට මිනිසුන් හාරසීයක් පන්සීයක් අතර සංඛ්‍යාවකට ආහාර ලබා දෙනවා." යැයි උදයංග සමරසිංහ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මෙම ප්‍රජා සත්කාර සේවය වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබුණේ මුස්ලිම් ජාතික මිතුරු පිරිසක් විසිනි. නමුත් පාස්කු ප්‍රහාරයත් සමඟ රටේ උදා වූ තත්ත්වය හමුවේ ඔවුන්ට මෙම වැඩසටහන අතරමග නතර කර දැමීමට සිදු විය. මේ නිසා අසරණ වූයේ දුර බැහැර සිට මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණෙන රෝගීන්ය. මේ බොහෝ රෝගීන් ගමේ සිට පැමිණෙන්නේ අලුයම් කාලයේදීය. පෙර දින රාත්‍රියේ පැමිණෙන රෝගීහු ද මේ අතර වෙති. මේ නිසා ඔවුන්ට දහවල් ආහාරයට බත් පාර්සලයක් රැගෙන ඒමට හැකියාවක් නැත. මොවුන්ගෙන් බහුතරයකට දහවල් කාලයේදී රෝහලේ ආපන ශාලාවට හෝ අසල පිහිටි ආපන ශාලාවකට ගොස් බත් පැකැට්ටුවක් හෝ දහවල් ආහාරයට යමක් මිලදී ගැනීමට වත්කමක් නැත. මේ නිසාම මේ බොහෝ රෝගීන්ගේ කුසගිනි නිවුණේ මුස්ලිම් ප්‍රජාව විසින් එතෙක් පවත්වාගෙන ගිය වැඩසටහන හරහාය. නමුත් පාස්කු ප්‍රහාරය හමුවේ මෙම වැඩසටහන නතර වීමත් සමඟ සායනවලට පැමිණෙන අසරණ රෝගීහු තවත් අසරණ වූහ.
තිවංක ගුණවර්ධන මෙම වැඩසටහන ආරම්භ කළේ එම අසරණ මිනිසුන්ට කිසියම් හෝ සරණක් වීමේ අපේක්ෂාවෙනි. ඒ සඳහා සැලසුමක් තිබුණද, සහයෝගය ලබා දීමට, ධෛර්යමත් කිරීමට හොඳ මිතුරු පිරිසක් සිටියද ඒ සඳහා වියදම් කිරීමට සැලකිය යුතු මුදලක් තිවංක සතු නොවීය. ඔහු දහඅතේ කල්පනා කළේය. දුර බැහැර ප්‍රදේශවල සිට සායනවලට පැමිණෙන රෝගීන් කහට කෝප්පයක් හෝ වතුර වීදුරුවක් පානය කර, ටී බනිස් ගෙඩියක් කෑමෙන් කුස පුරවා ගත්තද එය බඩගිනි නිවීමට ප්‍රමාණවත් නොමැති බව ඔහු දැන සිටියේය. මේ නිසාම තිවංක අවසානයේදී තීරණයකට එළැඹියේය. ඔහු ලක්ෂ හයක මුදලක ණයක් ලබා ගත්තේය. තිවංකට මිතුරන්ගෙන්ද උපකාර ලැබිණි. නැවත 'ජන සුව බල' නමින් ප්‍රජා සත්කාර සේවයක් ආරම්භ කිරීමට තිවංක ඇතුළු මිතුරු කැල සමත් වූහ. ඒ අපේක්ෂා රෝහලට යාබද ඉඩමක කුලී පදනම මතය. 

"අපි 'ජන සුව බල' වැඩසටහනින් දහවල් කෑම ලබා දෙන්නේ අපේක්ෂා රෝහලේ සායනවලට දුර බැහැර සිට පැමිණෙන රෝගීන්ටයි. අපි දහවල් ආහාර වේල උදේ දහය හමාරේ සිට දෙක හමාර දක්වා ලබා දෙනවා. සමහරු සායනවලට එන්නෙ උදේ ආහාරයත් නොගෙනයි. ඒ නිසා තමයි දවල් 10.30 සිට ආහාර ලබා දෙන්නෙ. සතියේ දින පහේම අපි මේ වැඩසටහන කරගෙන යනවා. ඊට අමතරව අපි සතියේ දින දෙකක් තේ බනිස්, බිස්කට් රෝහල් සායනවලටත් අරගෙන යනවා. තේ, බනිස් රෝහලට ලබා දීම අපි වගේම තවත් පිරිස් කිහිපයක්ම සිදු කරනවා. දහවල් ආහාර ලබා දීමට අමතරව තේ, බනිස් ලබා දීමත් අපි විසින් සිදු කරනවා." යැයි උදයංග වැඩිදුරටත් පැවසීය.

'ජන සුව බල' සේවාවේ කිහිප දෙනෙක් සතියේ දින පහ පුරාවට අපේක්ෂා රෝහලේ සායනවලට ගොස් දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන් සොයා බලා ඔවුන්ට කුඩා කාඩ්පතක් ලබා දෙති. ඒ අනුව සායනය අවසානයේදී හෝ අතරමගදී හෝ ඊට පෙර හෝ කාඩ්පත රැගෙන ඔවුහු තම දිවා ආහාර වේල ලබාගැනීමට 'ජන සුව බල' පිහිටි ස්ථානයට පැමිණෙති. ඉතා පිරිසුදු ලෙස රසවත්ව පිසූ ආහාර එම ස්ථානයේ සිට අසුන්ගෙන ආහාරයට ගැනීමේ පහසුකම් ද පවතී. ආහාර රැගෙන යාමට පහසුකම් නැත. පසුගිය කොවිඩ් කාලයේදී පවා ඔවුන් පිසූ ආහාර රෝහලේ සායනවලට ගෙන ගොස් අවශ්‍ය රෝගීන්ට ලබා දී තිබිණි. එමෙන්ම පසුගිය කාලයේදී රටේ පැවති ගෑස් අර්බුදය හමුවේද තිවංක ඇතුළු මිතුරු කැල පැය ගණන්, දින ගණන් පෝලිම්වල හිඳ ගෑස් ලබා ගනිමින් සුපුරුදු ලෙස මෙම රෝගීන්ට ආහාර පාන ලබා දුන්හ. දින කිහිපයක්ම ඔවුහු දර ලිප්වලින් ආහාර පිසූහ. නමුත් කිසිම දිනක රෝගීන් කුසගින්නේ තබන්නට මොවුහු කටයුතු නොකළහ.

"ආහාර වේල ලබා දීමේදී අපි පෝෂණය ගැන විශේෂයෙන් හිතනවා. රෝහලේ පෝෂණවේදී ඒකකය අපට නිර්දේශ කරලා තියෙන 'මෙනූ' එකට ගැලපෙන විදිහට තමයි අපි මෙතන නොමිලේ ආහාර ලබා දෙන්නෙ. විශේෂයෙන් අඹ සහ ඇඹරුල්ලා අපි අනිවාර්යෙන්ම ලබා දෙනවා. ඒකට ගොඩක් රෝගීන් කැමැතියි. ඒ වගේම සායනවලින් ලබා දෙන ඖෂධ හා එන්නත් නිසා ඇතැම් රෝගීන්ට ආහාර ගැනීමේ රුචිකත්වයක් නැහැ. ඒ අය ඇඹුල් කෑම ටිකක් තිබුණොත් කෑම කනවා. ඊට අමතරව තව එළවළු වර්ග දෙකක්, පරිප්පු, පපඩම්, බිත්තරයක් ආහාර වේලට එකතු කරනවා. මීට අමතරව අතුරුපස සඳහා යෝගට් එකක් අනිවාර්යෙන් ලබා දෙනවා." උදයංග වැඩිදුරටත් පැවසීය.

දිනපතාම සහල් කිලෝ තිස් පහක් හතළිහක් අතර බතක් පිසීම සිදුවන අතර බිත්තර හාරසීයක් පමණ තැම්බීම සිදු කරයි. එක් බත් පිඟානකට සම්පූර්ණ බිත්තරයක් ලැබෙයි. පසුගිය කාලයේ බිත්තර මිල ඉහළ ගියද 'ජන සුව බල' වැඩසටහන මගින් ලබා දෙන බිත්තරයේ අඩුවක් නොවීය. අද වන විට 'ජන සුව බල' වැඩසටහන සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙන්ම විදෙස් රටවලින් ද පරිත්‍යාගශීලීහු රැසක් එක් වී සිටිති.

"අද වෙද්දි අපිට බොහෝ පරිත්‍යාගශීලීන්ගෙන් මේ සඳහා අනුග්‍රහය ලැබෙනවා. අපගේ දුරකථන අංකයට කතා කළොත් මේ සඳහා පරිත්‍යාග ලබා දෙන්න පුළුවන්. ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් අපිට ආධාර කරන්න පුළුවන්. හැබැයි පිසූ ආහාර අපි බාරගන්නෙ නැහැ. මෙතනම අපි උයනවා. මේ ආහාර අපි පිරිසුදුව තමයි මේ රෝගීන් වෙනුවෙන් උයන්නෙ. පෝෂණය හා සෞඛ්‍ය පැත්ත ගැන අපි නිරන්තරයෙන් සැලකිලිමත් වෙනවා. මෙතන අපිට වැඩ කරන්න උදව් කරන අයට අපි දීමනාවක් ලබා දෙනවා. අද වෙද්දි මෙතන හය දෙනෙක් වැඩ කරනවා. අපි Trustees නමින් තමයි ලියාපදිංචි වෙලා ඉන්නෙ. ඒ හරහා 'ජන සුව බල' වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මෙම නොමිලේ දෙන දහවල් ආහාර වේල සඳහා පරිත්‍යාගශීලී කවුරුන් හෝ සිටී නම් සේවක වැටුප්, කුලී ඇතුළු සියලුම දෑ වෙනුවෙන් අපි එක බත් පතකට රුපියල් දෙසිය පනහක් ගණන් බලලා තියෙනවා. උදෑසන රෝහලේදී ලබා දෙන තේ, බනිස් සංග්‍රහය වෙනුවෙන් එක් අයකුට රුපියල් එකසිය දහයයි. මේ සඳහා දායකත්වය ලබා දෙන්න කැමැති පරිත්‍යාගශීලීයකු සිටී නම් අපගේ දුරකථන අංකය අමතා මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. මීට අමතරව Indira Cancer Trust, Roshan Mahanama Trust සහ Maacksons Holdings සත්කාරයන් ද අනුග්‍රහය දක්වනවා." යැයි උදයංග සමරසිංහ අවසාන වශයෙන් දේශයට පැවසීය.

ඔබ ද මේ මහඟු සත්කාරයට හැකි අයුරින් දායක වන්න. රෝගී වූ ජීවිතයකට පුංචිම හෝ අත්වැලක් වී ඒ කුසගිනි පුරවන්න. මේ අමාරු කාලයේදී ගතින් පමණක් නොව හිතින් ද වැටී සිටින ඔවුන්ට අපේක්ෂාවක් වන්න. ඒ සඳහා 'ජන සුව බල' 0772561321 අංකයට කතා කරන්න.

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00