2023 පෙබරවාරි 19 වන ඉරිදා

අන්තර්ජාලෙට ලීක් වුණත් රෙකෝඩ් කඩන ගජමෑන්

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 2863

මේ දිනවල අතිශය ජනප්‍රිය, ආදායම් වාර්තා බිඳ හෙලමින් තිරගත වන ''ගජමෑන්'' චිත්‍රපටය, සමාජ මාධ්‍ය හරහා දින කිහිපයක් ඇතුළතදී ඉතා සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතී. වසර ගණනාවක් තිස්සේ පරීක්ෂණ සහ බොහෝ වෙහෙස මහන්සි වී අවසන් ප්‍රතිපලයක් ලෙසින් සාර්ථක නිර්මාණයක් ලෙස සිනමාවට සම්බන්ධ කරන ලද මෙවැනි නිර්මාණයක් ඉතා අඩු කාල සීමාවක් ඇතුළතදී මෙලෙස සමාජ මාධ්‍ය හරහා මුදාහැරීම තුළින් සිනමා නිර්මාණයට සිදුවන්නේ බලවත් අසාධාරණයකි.

වසර ගණනාවක් තිස්සේ ඉතා ජනප්‍රිය නමක් දිනාගත් ''ගජමෑන්'' කැමිලස් පෙරේරා විසින් රචිත නිර්මාණයකි. මෙය චිත්‍රපටයක් ලෙසින් එළිදැක්වූයේ සුනෙත් චිත්‍රානන්ද සහ ගාමින්ද ප්‍රියවිරාජ් තිර රචනාවකට අනුවය. සුනෙත් සහ ගාමින්ද කලා ලොවේ බොහෝ දෙනා හඳුනන්නේ ''චූටි මල්ලි'' සහ ''පොඩි මල්ලි'' නමිනි.

''මා ඉගෙන ගත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙන්. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට ගියා. ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල වගේම එම කලාව සම්බන්ධවත් ඒ රටේදී ඉගෙන ගත්තා. අධ්‍යාපන කටයුතු අවසන් කළාට පස්සේ මම ලංකාවට ආවා. මට 3D චිත්‍රපටයක් කිරීමේ ලොකු අවශ්‍යතාවක් ඇතිවුණා. ඒ ගැන මම කතා කිහිපයක් ගැන හිතුවා. ඔය අතරේ මගේ යාළුවෙක් වෙන ඉන්සාඩ් මජීඩ් තමයි ගජමෑන් කතාව 3D ෆිල්ම් එකක් කරන්න පුළුවන් කියලා කිව්වෙ. ඇත්තටම ඔහුගේ යෝජනාවත් සමඟ මම ඒ ගැන හොයලා බැලුවා. අවුරුදු ගණනක් තිස්සේ මිනිසුන් ආදරයෙන් වැළඳගත්ත ''ගජමෑන්'' 3D චිත්‍රපටයක් කරන්න ඕනේ කියලා ඊටපස්සේ මටත් හිතුණා.

ගජමෑන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ චානක පෙරේරා දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.

ඒ අනුව චානක කැමිලස් පෙරේරා මහතාගෙන්ද අවසරය ගෙන මෙම චිත්‍රපටය සඳහා තිර පිටපතක් ලිවීමට බාර දුන්නේය. ඒ මෙරට ඉතා ජනප්‍රිය කලා දෙපළක් වන චූටි මල්ලී සහ පොඩි මල්ලීටය. චානක සමඟ කළ කතාබස් කිහිපයකින් අනතුව සුනෙත් සහ ගාමින්ද මෙහි තිරපිටපත ලිවීමට බාරගත්හ.

''2010 අවුරුද්දේදී මුල්ම වතාවට ''ගජමෑන්'' අධ්‍යක්ෂක චානක පෙරේරා අපිට මුණගැහුණා. ඔහු අවුරුදු විසි තුනක පමණ පොඩි තරුණයෙක්. ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු කරලා ඉවරවෙලා කැමිලස් මහත්තයාව මුණගැහිලා ඔහුගෙන් අවසරය අරගෙන මාවත් ගාමින්දවත් මුණගැමිලා අපිට මෙහි තිරපිටපත ලියන්නට බාර දුන්නා. ඊට පස්සේ තමයි මායි ගාමින්දයි මෙම තිරපිටපත ලිව්වේ. ඒ ලියවුණ පිටපත ලියන්නට මට හිතන විදිහට අපි දෙන්නට අවුරුද්දක් විතර ගියා. නමුත් ඒ මුල් පිටපත වරින්වර ගාමින්දයි මායි වෙනස් කළා. අවසන් වනතුරුම අපි ඒ පිටපත වෙනස් කළා. මට මතකයි චිත්‍රපටය නිර්මාණය කරලා එය මුලින්ම තිරගත කරන්නට යෙදුණ දවසට සතියකට පමණ කලිනුත් අපි දෙබස් කිහිපයක් වෙනස් කළා.'' යැයි සුනෙත් පැවසීය.

මේ අනුව ඉතා සාර්ථක ලෙසින් තිරගත වෙන, සතියෙන් සතිය ආදායම් වාර්තා බිඳහෙලන ගජමෑන් චිත්‍රපටය කිසියම් පිරිසක් විසින් සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාලයට මුදාහැර තිබේ. නමුත් මෙම චිත්‍රපටයේ තිර රචකයකු පවසන්නේ මේ අන්තර්ජාලයට මුදාහැරී ඇත්තේ ''ගජමෑන්'' චිත්‍රපටයේ අවසාන සංස්කරණයෙන් පසුව නිර්මාණය වූ චිත්‍රපටයේ කොපියක් නොවන බවයි.

''අද වනවිට මෙම චිත්‍රපටය අන්තර්ජාලයට කිසියම් පිරිසක් විසින් මුදාහැරලා තියෙනවා. නමුත් ඒ අන්තර්ජාලය ඔස්සේ ඔය දකින්නේ 2017 අවුරුද්දේ දෙවැනි වතාවට වගේ අපි කළ දෙවැනි පිටපතයි. ඊටපසුව අපි Version පහක් පමණ නැවත නැවතත් කරමින් තමයි අවසන් පිටපත නිර්මාණය කළේ. ඒ වගේම ගජමෑන් කියන්නේ 3D animation (3D සජීවිකරණය) චිත්‍රපටයක්. මෙහි ඉතාම හොඳ ශබ්ද පද්ධතියක් තිබෙනවා. ඒ නිසා එවැනි නිර්මාණයක් සිනමාහලක බලනවා හැරෙන්න ජංගම දුරකතනයකින්වත් පරිගණකයකින්වත් බලලා ඒ රසවින්දනය ලබාගන්න බැහැ. වෙන චිත්‍රපටයක් නම් ඒ විදිහට බලලා යම් රස වින්දනයක් ලබාගන්නට පුළුවන් වුණත් මෙවැනි 3D නිර්මාණයක් ඒ විදිහට රසවින්දනයක් ලබාගන්න බැහැ. ඒ නිසා මෙවැනි චිත්‍රපටයක් සිනමාහලකට ගිහින් එයටම වෙන්වුණ කණ්ණාඩි දෙකක් පළඳා ඒ ශබ්ද පද්ධතියට අනුව නරඹන්නට ඕනේ.'' යැයි ගජමෑන් චිත්‍රපටයේ තිරපිටපත් රචකයකු වන සුනෙත් චිත්‍රානන්ද දේශයට අදහස් දක්වමින් පැවසීය.

මෙවැනි නිර්මාණයක් අවසරයකින් තොරව අන්තර්ජාලය වෙත මුදාහැරීමෙන් සිදුවන්නේ නිර්මාණයට විශාල හානියකි. මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවකි. නමුත් මෙම සිදුවීමත් සමඟ එක් පැත්තකින් සිදුව ඇත්තේ චිත්‍රපටයට විශාල වාසියකි. තම ජංගම දුරකතනයෙන් හෝ පරිගණක තිරයෙන් ''ගජමෑන්'' නැරඹූ බොහෝ පිරිසක් මෙම රසවින්දනය උපරිමයෙන්ම, නිසි පරිදි ලබාගැනීමට සිනමාහල් ශාලාවෙතට යාමට පෙළඹී ඇත. ඒ අනුව තිරගත වූ මුල් දිනයේ සිට සතියෙන් සතිය ආදායම් වාර්තා බිඳ දමමින් ඉහළ යන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් සමඟ ඉහළ ආදායම් ලැබූ වාර්තාව ලෙසින් සනිටුහන් වන්නේ මෙය අන්තර්ජාලයට මුදාහැරි මුල් සතියේදීය. එතැන් සිට අද වනතුරු මේ සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් සිනමාහල් වෙතට එක්වන බව සුනෙත් පවසයි.

''මෙම චිත්‍රපටය අන්තර්ජාලයට පැමිණ එය ''ලීක් වුණා'' කියපු සතියේ තමයි ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ සතිය වන්නේ. සිංහල චිත්‍රපටයකට ඒ තරම් පිරිසක් එකතුවීමත් ඇත්තටම සතුටුදායක කරුණක්. නමුත් මෙවැනි නිර්මාණ මේ විදිහට මංකොල්ලකෑම, කඩාකප්පල් කිරීම ඇත්තටම අපරාධයක් ඒ නිසාම අපි ඒ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන අවවාද කරලා තියෙනවා. සමහරුන්ට තමන්ගේ මුහුණු පොත, යූ ටියුබ් චැනල් එක නැතිවෙලා තියෙනවා. මේ අතරේ කට්ටියක් ඕකට වෛරස් හදල තියෙනවා. ඒ නිසා සමහරු චිත්‍රපටය බලන්න හදද්දී ඒ වෛරය නිසා පරිගණකයට, ජංගම දුරකතනයට හානිවෙන්න පුළුවන්. ඒ නිසා කතාවක් බලන්නට කියලා ගජමෑන් බලන්න ගිහින් නිරපරාදේ තමන්ගේ පරිගණකයට හානිකරගන්න එපා. බොහෝම මහන්සියෙන්, අවුරුදු ගණනක් මහන්සිවෙලා හදපු නිර්මාණයක් මංකොල්ල කන්න යන්න එපා.'' යැයි සුනෙත් චිත්‍රානන්ද වැඩිදුරටත් දේශයට පැවසීය.

මොවුන් පවසන පරිදි මේ අන්තර්ජාලයට සමාජ මාධ්‍යයට මුදාහැරී ඇත්තේ ''ගජමෑන්'' චිත්‍රපටයේ මුල් පිටපතකි. ඒ අනුව මෙම පිටපත බොහෝ විට නිර්මාණයට යම් ලෙසකින් සම්බන්ධ කෙනෙකු මගින් සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවට සැකයක් පැවතීම සාධාරණය. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී සුනෙත් චිත්‍රානන්ද තම අදහස දැක්වූයේ මෙලෙසිනි.

''මේ සම්බන්ධයෙන් අපි අපරාධ විමර්ශනයට බාරදීලා තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔවුන් හොයනවා. මේක සාමාන්‍ය චිත්‍රපටයන් එකක් වගේ නෙමේ. 3D චිත්‍රපට එකක් කරද්දී අපි වරින් වර ඒක විශාල තිරයකට දාලා බලන්න වෙනවා. ඒ වගේ වෙලාවකදී මේක පිටට යන්න ඇතිද කියලත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් යනවා. ඒ නිසා ඒ හැම පැත්තෙන්ම මේ ගැන හොයලා බලනවා.''

මේ වනවිට ගජමෑන් චිත්‍රපටය මාසයකට ආසන්න කාලයක් සිනමාහල්වල තිරගත කොට ඇත.

''දැනට ලංකාවේ සිංහල සිනමාවේදී කෙටිම කාලයක් තුළදී වැඩිම ආදායමක් ලැබූ සිනමාව ලෙසින් හඳුන්වන්න පුළුවන්. මෙම චිත්‍රපටය මුල් සතියේ ලැබූ ආදායම් වාර්තාව දෙවැනි සතියේ කඩ කොට එය නව වාර්තාවක් වෙමින් ආදායම් ලැබූ අතර එය තුන්වන සතියේ නව වාර්තාවක් වෙමින් දෙවැනි සතියේ ආදායම් වාර්තාව කැඩුවා.'' යැයිද සුනෙත් චිත්‍රානන්ද කියයි.

''අපි කරපු ගජමෑන් චිත්‍රපටය ඉතා සාර්ථක නිසා තමයි අන්තර්ජාලයේ හෝ රටේ පිරිස් බලන්නේ. පසුගිය අවුරුද්දේ ගියපු චිත්‍රපට හදිස්සියේවත් ලීක් වුණා යැයි අපි හිතමු. නමුත් ඒ චිත්‍රපටවලින් කීයෙන් කීයද මිනිස්සු මේ විදිහට බලන්නේ. ඒ නිසා අද වෙද්දී අපිට අපේ නිර්මාණය ගැන සතුටු වෙන්න පුළුවන්. අපි අද වෙද්දී අවසානයේදී හොඳ නිර්මාණයක් හදලා තිබෙනවා. අන්තර්ජාලයෙන් හරි ඒක බැලුවත් හැමෝම අපේ චිත්‍රපටයේ හොඳ රසිකයෝ කියලයි මට හිතෙන්නේ. ඒ නිසා අලුත් අධ්‍යක්ෂකවරයෙක් විදිහට මට ඒ ගැන සතුටුයි. නමුත් මේක අපරාධයක්. මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශය සොයාගෙන යනවා. ඇත්තටම ඕක කේක් එක හදන්න කලින් බටර්, සීනි, පිටි දාලා හදපු බැටර් එකක්. ඒ නිසා භාගයට හදපු කේක් එකේ රස බලන්න එපා. හරිම රස කේක් එකේ රස බලන්න ළඟම තිබෙන ගජමෑන් සිනමාහලකට එන්න යැයි මට ආරාධනා කරනවා.'' යැයි ගජමෑන් චිත්‍රපටයේ අධ්‍යක්ෂක චානක පෙරේරා වැඩිදුරටත් දේශයට පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00