2023 පෙබරවාරි 05 වන ඉරිදා

ජනක - කාංචන සංග්‍රාමය!

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 102

ගෙවී ගිය වසර තුළ මහජන උපයෝගීතා කොමිසම පුවත් මවනු ලබන ආයතනයක් බවට පත්වූයේය. එහි සභාපති ජනක රත්නායකද පුවත් මවන්නෙකු විය. මෙම කොමිසම සහ එහි සභාපතිවරයා පිළිබඳ මේ වනවිට නිර්මාණය වී ඇති අලුත්ම පුවත නම් සභාපති ඉවත් කිරීමේ සැලසුමයි. මෙය දීර්ඝකාලීන ගැටුමක එක්තරා සංධිස්ථානයකි. එනිසාම ජනක රත්නායක ඉවත් කිරීම පිළිබඳ වැඩිදුරටත් කරුණු සොයා බැලීමට අපි තීරණය කළෙමු.

බොහෝ දෙනකු පවසන පරිදි මෙම ගැටුම නිර්මාණය වන්නේ විදුලි කප්පාදුව හේතුවෙනි. එහෙත් මේ ගැටුමේ ඉතිහාසය ඉතා දීර්ඝය. මහජන උපයෝගීතා කොමිසම සහ විදුලි බල මණ්ඩලය අතර එදිරිවාදිකම් බොහෝ කලක පටන් පැවතුණි. විදුලි බලාගාර ඉදිකිරීම්, විදුලි කප්පාදු, විදුලි ගාස්තු අදී බොහෝ ධාරාවන් ඔස්සේ එම ගැටුම් විකාශනය විය.

ගැටුම උච්චතම අවස්ථාවට ළඟාවූයේ පසුගිය වසරේ විදුලි කප්පාදුව ආරම්භ වීමත් සමඟයි. විදුලිබල මණ්ඩලයේ නිර්දේශයන්ට අනුකූලව, ජනක රත්නායක ඇතුළු කොමිසම විදුලි කප්පාදුවට අවසර ලබා නොදීම අද අප දකින ගැටලුවේ මුලවිය.
ආයතන දෙකක් අතර ගැටුමක්, ඇමැති සභාපති ගැටුමක් අවසානයේ ආණ්ඩුව සහ පුද්ගලයෙකු අතර ගැටුමක් බවට මෙය පරිවර්තන විය. විදුලි ගාස්තු ඉහළ දැමීමට කොමිසම පෑ විරෝධය මෙම ගැටුම බරපතළ තත්ත්වයකට රුගෙන ගියේය. විදුලි ගාස්තු සංශෝධන අවශ්‍යතාව ඉටුකර ගැනීමට ආණ්ඩුවට අමාත්‍යවරයාට සහ විදුලිබල මණ්ඩලයට තවමත් හැකි වී නැත. ඊට එදිරිව සිටින්නා ජනක රත්නායකයි.

ජනාධිපතිවරයා පවා මෙම පුද්ගලයා පිළිබඳ කතාබහ කරන තත්ත්වයක් පසුගිය සමයේ නිර්මාණය විය. ජනතාව නොමඟ යවන ප්‍රකාශ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් සිදුකරන්නේ ඔහු සුඛෝපභෝගී සමාගම් කිහිපයක අයිතිකරු හෙයින් ඔහුට වන පෞද්ගලික පාඩු නිසා යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අය-වැය විවාදයේ දී පැවසීය.

මේ වනවිට නිර්මාණය වී ගිය අලුත්ම ගැටුම නම් උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලි කප්පාදුවට කොමිසම හරස් වීමයි. පසුගියදා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම මේ හා සම්බන්ධව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් පවා ගොනු කළේය. අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙස කොමිසම ඉල්ලා තිබුණි.

මෙවැනි ගැටුම් අතර ජනක රත්නායක සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය ආණ්ඩුවට ඇතිවුවද, ඊට නෛතික බාධා එල්ල විය. මෙය පාර්ලිමේන්තු ක්‍රියාවලියක් තුළ සිදුවිය යුතු බැවින් ආණ්ඩුව ඉවසා සිටියේය. එහෙත් අවසානයේදී ජනක රත්නායක ඉවත්කිරීමේ පාර්ලිමේන්තු මෙහෙයුම දියත් කිරීමට විදුලිබල අමාත්‍යවරයා සහ ආණ්ඩුවේ පිරිස් සූදානමින් සිටිති.

පසුගිය ජනවාරි 29 වැනිදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සභාපතිවරයා ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

''මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව අවශ්‍ය නීතිමය කටයුතු හා ඔහුව ඉවත් කිරීම සඳහා වූ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර තියෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුදෙනා මේ සඳහා එකඟත්වය පළකර තියෙනවා. මොකද තමන්ගේ තනි මතය, මහජන උපයෝගීතා කොමිසම නෙමෙයි ජනක රත්නායකගේ තනි මතයට තමා පහුගිය කාලය පුරා මේ කටයුතු කරලා තියෙන්නේ.''

''ජනක රත්නායක කියන පුද්ගලයා මුළු රටක් බිත්තියට හේත්තු කරමින් මේ විදුලි කප්පාදුවටත් වගකිව යුත්තේ වෙන කවුරුත් නෙමෙයි මහජන උපයෝගීතා කොමිසමේ ඉන්න අනෙකුත් නිලධාරීනුත් නොමඟ යවමින් ඔවුන්ගේ අනුමැතියෙන් තොරව වැඩකටයුතු කරමින් මේ රටේ සමස්ත ජනතාව අසීරුතාවයට පත්කරලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා මේ වෙනුවෙන් කටයුතු ආකාරය පිළිබඳ.''

මෙම ප්‍රකාශයත් සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ස්වාධීන කොමිෂන් සභාවක කාර්යභාරය වන්නේ ස්වාධීනව කටයුතු කිරීම මිස දේශපාලන අධිකාරියේ තීරණ ක්‍රියාවට නැංවීමට නොවන බව කියා සිටියේය.
“මේ වගේ ස්වාධීන කොමිසම් සභාවලින් දෙන තීරණ නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම, කොමිසම් සභාවල ස්වාධීනත්වයට නිගරු කිරීමක් ඒ අනුව හෙට දිනයේ සිට මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර අපි ගන්නවා.''

'' මේ ඇමතිවරයා මේක කළමනාකරණය නොකර තමන්ට ඕන කැබිනට් තීරණය බලෙන් අපි ලවා කරවා ගන්න අසාධාරණ විදියට විදුලි බිල සංශෝධනය කරලා, මහජනතාවගේ මුදල් ලබාගැනීමට තමා මේ කටයුත්ත කරන්නේ. සිසුන්ට අවශ්‍ය විදුලිය ලබාදීමට ඇමැතිවරයාට කිසිදු අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා තමා එක එක ප්‍රශ්න ගේන්නේ.''

''ඇමැතිගේ භාෂාවෙන්ම කිව්වොත් අපිව බිත්තියට හේත්තු කරලා එයාට අවශ්‍යදේ ගන්න හදනවා. ඒක නම් හරියන්නේ නෑ. මම එක දේශපාලන පක්ෂයකවමත් සම්බන්ධ නෑ. එතුමා වගේ මම අලියාගේ වලිගයේ එල්ලිලා යන කෙනෙක් නෙමෙයි. ඒ නිසා කිසිම දේශපාලන බැඳීමක් නැතුව කොමිසමේ රාජකාරි ස්වාධීනව කරගන්න තමයි මට අවශ්‍ය වෙන්නේ.''

අප මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් සිදුකළ විමසීමකදී, ඔහු අප සමඟ පවසා සිටියේ තමා බලා සිටින්නේ චෝදනා පත්‍ර ඉදිරිපත් වන තෙක් බවයි. මේවාට පිළිතුරු දීමට තමා සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

I චමිඳු නිසල් ද සිල්වා