2023 පෙබරවාරි 05 වන ඉරිදා

ජයට සමරන ජාතික නිදහසේ 75 ජයන්තිය

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 107

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය උදාවී ඇත. නමුත් ජනතාව තුළ නිදහස් ප්‍රබෝධයක් නම් නැත. ඔවුන් එදාවේල සරිකර ගැනීමේ යුද්ධයකය. සමරු උත්සවයට සමගාමීව පෙබරවාරි 02දා සිට 19 වැනිදා දක්වා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂ දළදා පූජාව හා මහ පිරිත් දේශනාව, සර්ව ආගමික වතාවත්, නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය, ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන සාම්ප්‍රදායික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය, මහජනතාවට නොමිලේ ජාතික උද්‍යාන හා ජාතික සත්වෝද්‍යාන ප්‍රදර්ශනය, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම, මහනුවර ජනරජ පෙරහැර, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහස් පාපැදි සවාරිය පැවැත්වීම ආදී විශේෂ වැඩසටහන් පැවැත්වීමට සූදානම් කර තිබේ.

කෙසේ වුවත් මේ වනවිට රටපුරාම සාමාන්‍ය ජනතාව අතර විශාල මුදලක් සහ ශ්‍රමයක් වැයකර පවත්වන මේ උත්සවය ගැන යම් අසතුටක් දැකගත හැකිවිය. වෙනදා අලෙවි වන ජාතික කොඩිවලට පවා මෙවර ඉල්ලුමක් නැති බව පෙනේ. වාහනවලත් ජාතික කොඩි ප්‍රදර්ශනය දැකගත හැක්කේ කලාතුරකිනි. සමාජ මාධ්‍ය හරහා නිදහස් උළෙල වර්ජනය කිරීම පිළිබඳ නිවේදන නිරන්තරයෙන් සංසරණය වේ. සමහරුන් නිදහස් උළෙල රූපවාහිනියෙන් නැරඹීම පවා ප්‍රතික්ෂේප කරන බව මුහුණු පොතේ අදහස්වලින් පෙනේ.

75 වැනි නිදහස් දින උත්සවය සැමරීමට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාව තුළ කිසියම් විරෝධයක් පවතින බව පසුගියදා ජනාධිපතිවරයාද සඳහන් කර සිටියේය. ඒ කෙරෙහිද දැඩි අවධානය යොමු කරමින් අදාළ වියදම් අවම කර ගැනීමට කටයුතු කළයුතු බව ඔහු රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. කෙසේ වුවත් වියදම් කොපමණ අවම කළත් විශාල මුදලක් වැයවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාව, පෘතුගාලය, නෙදර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍යය යන යුරෝපීය රටවල් තුනේ යටත් විජිතයක් වශයෙන් සියවස් හතරහමාරක් පැවතුණි. මෙම රටවල් තුනේම යටත්විජිත සලකුණු අදටත් ශ්‍රී ලංකාව තුළ දැකිය හැකිය. මේ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ අවසන් වරට රට යටත් කරගෙන සිටි මහා බ්‍රිතාන්‍යයේ බලපෑමය. 1815 සිට 1948 දක්වා බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති අවධියේදී ශ්‍රී ලංකාව හැඳින්වූයේ 'සිලෝන්' ලෙසය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අදත් ලොව පුරා ජනප්‍රියව ඇත්තේ 'සිලෝන් ටී' ලෙසිනි. විචාරකයන් සඳහන් කරන්නේ යටත්විජිත මානසිකත්වය තවමත් බොහෝ දෙනා තුළ පැවතීම නිසා දේශපාලනඥයන්ට ජනතාව රැවටීම පහසු වී ඇති බවයි.

වර්ෂ 1815 මාර්තු 02 වැනිදා මහනුවරදී සිංහලයේ පැරණි ජාතික කොඩිය බිම හෙළා     රාජ්‍යය ඉංග්‍රීසීන් විසින් පවරා ගැනීමේ ගිවිසුම අත්සන් කෙරුණි. ඉන්පසු මෙරට භාවිත වූයේ ඉංග්‍රීසි කොඩියයි. 1948 පෙබරවාරි හතර වැනිදා ඩොමීනියන් තත්ත්වයේ නිදහස පිරිනැමීම එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව උත්සවාකාරයෙන් සමරන ලදී.  1972 වසරේදී ලංකාව ඩොමීනියන් තත්ත්වයේ නිදහසින් සම්පූර්ණයෙන් ඉවත් වී ජනරජයක් බවට පත්විය. නමුත් ජනරජ දිනයට වඩා උත්කර්ෂවත්ව සමරනු ලබන්නේ ඩොමීනියන් නිදහස දිනාගත් දවසයි. මෙවර උදාවූයේද එවැනි දිනයකි.

වර්ෂ 1947 මහ මැතිවරණයට පෙර අගමැති ඩී.එස්. සේනානායක ඇතුළු තවත් සිවිල් ක්‍රියාකාරිකයන් රැසක් ලංකාවට නිදහස ලබා ගැනීමට ඇති අයිතිය පිළිබඳව බ්‍රිතාන්‍ය රජයට කරුණු ඉදිරිපත් කළහ. කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට මාස කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලබාදීමට කටයුතු කරන බවට බ්‍රිතාන්‍ය කිරීටය ප්‍රකාශයක් නිකුත් කිරීම සිදුවිය.

ඒ අනුව ලංකා ස්වාධීනතා පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන්නේ  1947 දෙසැම්බර් 03 වැනිදායි. එම පනත ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ විධිවිධාන ඇතුළත් ලංකා ස්වාධීනතා රාජාඥාව 1947 දෙසැම්බර් 19 දින නිකුත් විය. ඒ අනුව ලංකාවට ප්‍රදානය කරන නිදහස වෙනුවෙන් උත්සව රටපුරා පැවැත්වීමට තීරණය කෙරිණි. 1948 පෙබරවාරි 4 වැනිදා නිදහස ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කිරීම සිදුවිය. පෙබරවාරි 4 වැනිදා සෑම පාසලකම නිදහස් උළෙලක් පවත්වා ක්‍රීඩා උත්සවයක්ද පැවැත්විය යුතු බව නිවේදනය කළ අතර ඒ සඳහා රසවත් ආහාර පානද අලංකාර සැරසිලිද එකතු විය යුතු බවට අදාළ ප්‍රදේශ භාර ආණ්ඩුවේ නිලධාරීන්ව දැනුවත් කර තිබේ. පෙබරවාරි 4,10,11 හා 12 යන දින රජයේ නිවාඩු දින බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කෙරිණි.

ඒ අනුව සෑම රාජ්‍ය ආයතනයකම සහ නගරවල පෞද්ගලික ආයතන සියල්ලකමද සිංහ කොඩිය ඔසවා තිබුණි. එවකට ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය වූයේ පුවත්පත් නිසා නිදහස් උත්සවය ගැන සියලු ප්‍රවෘත්ති ජනතාව දැනගත්තේ පත්තරවලිනි. පෙබරවාරි 04 වැනිදා පැවැත්වීමට නියමිත වැඩසටහන්, ග්ලොස්ටර්හි ආදිපාදවරයා වන හෙන්රි කුමාරයාගේ පැමිණීම, පිළිගැනීම ආදිය සියලු කරුණු රටට සන්නිවේදනය කර ඇත්තේ පුවත්පත් මගිනි.

පෙබරවාරි 4 නිදහස්දා පළමුවෙන්ම සිදුවූයේ එතෙක් පැවති ආණ්ඩුකාර තනතුර අහෝසි වී මෙරට ප්‍රථම අග‍්‍රාණ්ඩුකාරවරයා ලෙස සර් හෙන්රි මන්ක් මේසන් මුවර් දිවුරුම් දීමයි. ඔහු දිවුරුම් දෙන්නේ එවකට අග්‍ර විනිශ්චකාරවරයා වූ සර් ජෝන් හොවාර්ඩ් ඉදිරියේය. නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමද සිදුවිය. එම සිරිත එදා සිට අද දක්වාත් ක්‍රියාත්මකය.

1961දී මෙරට මෙන්ම සමස්ත ලෝකයේද ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් නිදහස් උත්සවය සමරන ලද්දේ මහනුවරදීයි.

1978 වසර මෙරට පළමු විධායක ජනාධිපතිවරයා දිව්රුම් දුන් වසර විය. ජේ.ආර්. ජයවර්ධන මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලද්දේද 1978 වසරේ පෙබරවාරි 4 දාය.

1998 වසරේ මෙරට නිදහස් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ මහනුවරදීය. නමුත් නිදහස් දිනයට දින කිහිපයකට පෙර දළදා මාළිගාවට මරාගෙන මැරෙන කොටි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එබැවින් මහනුවර පැවැත්වීමට නියමිතව තිබූ නිදහස් උළෙල කොළඹදී චාම්ව පැවැත්විණි.

කොටි ත්‍රස්තවාදය  පරාජය කිරීමෙන් පසුව 2010 වසරේ සැමරූ මෙරට 62 වැනි නිදහස් සමරුව අභිමානයෙන් යුතුව සැමරෑ තවත් නිදහස් දිනයකි. ඒ සඳහා විශාල ජන සහභාගිත්වයක්ද දැකගත හැකිවිය. සෑම වාහනයකම නිවසකම පාහේ ජාතික කොඩි දැකගත හැකි විය. මහනුවර ශ්‍රී දළදා මාළිගාව මුල් කරගෙන එම නිදහස් දිනය උත්කර්ෂයෙන් යුතුව සැමරුණි.

එසේ විවිධ කඩයිම් පසුකරමින් පැමිණි ශ්‍රී ලංකාව 75 වැනි නිදහස සමරන්නේ පසුගිය අවුරුදු 75 තිස්සේම රට වැනසූ දේශපාලනඥයන්ගේ අදූරදර්ශී ණයවීම් සහ දූෂණ නිසා  බංකොලොත්වුණු පසුබිමකය. බොහෝදෙනා පවසන්නේ ගෙවුණු අවුරුදු 75 තුළ ලංකාව කිසිම දියුණුවක් නොලබා පිටරටට අතපාන රටක් බවට මේ දක්වා සිටි පාලකයන් විසින් පත්කර ඇති බවය. මේ නිසා ඉදිරියට හෝ රටේ සැබෑ නිදහසක් සැමරීමට අවස්ථාවක් උදාකරදීම පාලකයන්ගේ වගකීමකි.

I කුසුම්සිරි විජයවර්ධන