2023 පෙබරවාරි 05 වන ඉරිදා

මහ පාරටම ඇදෙන සුදු කරපටි බදු සටන

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 105

දැන් ඇරඹී ඇත්තේ මහ පාරේ බදු සටනයි. ආණ්ඩුවේ නව බදු සංශෝධනයන්ගෙන් පීඩාවට පත් පිරිස් බදු සටන මහ පාරට රැගෙනවිත් තිබේ. එහෙත් ආණ්ඩුව ඊට සංවේදී නොවන සෙයකි. බදු සටන පුපුරා යයිද?  සේදී යයිද? විමසා බැලීමට අපි තීරණය කළෙමු.

ආණ්ඩුවේ නව බදු සංශෝධනයන්ට විරෝධය පාමින් මෙරට පිළිගත් වෘත්තීය කණ්ඩායම් රැසක් ගෙවී ගිය දෙසතිය තුළදී මහ මග විරෝධතාවන්ට එක් විය. ඒ අතර වෛද්‍යවරු, ඉංජිනේරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, වරාය සේවකයෝ, ඉදිරි පෙළ සටන්කරුවෝ වූහ. බැංකු නිලධාරීහු සහ රාජ්‍ය පරිපාලන නිලධාරීහු ද මෙම සටනට සහාය පළ කළහ.

ජනවාරි අවසන් සතියේ කළු විරෝධයට පණ දුන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. රජයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කළු පටි බැඳ සේවයට වාර්තා කර සිටි අතර රජයේ රෝහල් පරිශ්‍රවල කළු කොඩි ඔසවා තිබුණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ද මහ මගට බැස විරෝධය පළ කළේය. මහ බැංකු සේවකයන් ද විරෝධතා සංවිධානය කර තිබුණි. මෙම විරෝධතා තීව්‍ර වූයේ ජනවාරි 25 වැනිදායින් පසුවයි. එදින බදු කප්පාදුව සහිතව රජයේ ඉහළ ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන් අතට පඩි පත ලැබී තිබුණි.

පසුගිය සතියේ අධික බදු බරට එරෙහිව පෙබරවාරි  පළමුවැනිදා සිට 28 වැනිදා දක්වා අඛණ්ඩ විරෝධතා මාසයක් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය තීරණය කළේය. බදු බරට අමතරව ඖෂධ හිඟය ද ඔවුන් සටන් පාඨයක් ලෙස තෝරාගෙන තිබේ. ඒ අනුව සෑම රෝහලක ඉදිරිපිටම දහවල් කෑම පැයේ විරෝධතාවක් පැවැත්වීම ඔවුන්ගේ සැලසුමයි.

කුඩා පරිමාණයේ විරෝධතා රැසක් ගෙවී ගිය දෙසතිය තුළ රට පුරා සංවිධානය විය. තවත් විරෝධතා රැසක් ඉදිරි සති කිහිපය තුළ සංවිධානය කිරීමට ද මෙම පිරිස් සැලසුම් කොට ඇත. කෙසේ වෙතත් සාකච්ඡා සහ බලපෑම් මගින් තවදුරටත් එම ගැටලුව ගැටලුව විසඳා ගැනීම පිළිබඳ අපේක්ෂාවක් මෙම වෘත්තීය කණ්ඩායම සතුව ඇති බව පැහැදිලිය. එය බිඳ නිසැක වශයෙන්ම ඔවුන් දැවැන්ත වර්ජන රැල්ලකට අවතීර්ණ වනු ඇතැයි කියැවේ.

මේ අතර බදු විරෝධතා තවදුරටත් පවත්වාගෙන යනු පිණිස සිය කණ්ඩායම් රැසක් ඒකාබද්ධ වී කටයුතු කරන බව දැනගන්නට ලැබේ. ඒ අනුව පසුගිය සතියේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව රැස්වී ඉදිරි විරෝධතා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කොට තිබේ. තිබූ සාකච්ඡා සඳහා පිළිගත් වෘත්තීය සමිති තිහක පමණ නියෝජිතයෝ පැමිණ සිටියහ. ඔවුන් විරෝධතා අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ. ඉදිරි සතියේ දී මෙම සාකච්ඡාවල ප්‍රතිඵලය අපට බලාගත හැකිය.

තවද, බදු පනතේ අහිතකර බලපෑම් පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා වෘත්තීය සමිති 27ක අත්සනින් ලිපියක් යොමු කර ඇතැයි ද දැනගන්නට ලැබේ. මෙම බදු ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම තිරසාර විසඳුමක් නොවන බව පෙන්වා දෙන මෙම පිරිස, බුද්ධිගලනය වැඩිවීම හරහා ආර්ථිකය තවදුරටත් හැකිලෙනු ඇතැයි ජනාධිපතිවරයා වෙත අවධාරණය කර තිබේ. කෙසේ වෙතත් ඔවුන් ඉල්ලා ඇති මෙම සාකච්ඡාව කවදා කෙසේ පැවැත්වේදැයි තවමත් පැහැදිලි නැත.

මෙවන් වටපිටාවක් තුළ බොහෝ වෘත්තීය කණ්ඩායම් අනතුරු අඟවා සිටින්නේ බදු බර හේතුවෙන් ඉහළ වැටුප් අපේක්ෂාවෙන් බොහෝ වෘත්තිකයන් විදෙස්ගතවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බවයි. විශේෂයෙන්ම වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රැසක් විදේශගතවීමට සැලසුම් කරමින් සිටින බව ඔවුහු සඳහන් කරති.

ඒ අනුව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, පසුගිය වසර ආරම්භයේ සිට මේ දක්වා වෛද්‍යවරුන් 1000 කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා යොමු වී ඇති බවය. එසේම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 50 කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේ විදේශ රැකියා සඳහා යොමු වී ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.

මෙම විරෝධතා හමුවේ රජය කියා සිටින්නේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැමිණි එකඟතාවයන්ට අනුකූලව මෙම බදු සංශෝධනය සිදු කර ඇති බවකි. පසුගියදා ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ හා සම්බන්ධ පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි.

“ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සාකච්ඡාවලදී ලංකාවට කියලා තියෙන්නේ, රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනාගෙන් බදු වශයෙන් අයකරන්න ඕන කියලා. දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මේක කොහොමත්ම කරන්න බෑ කියලා. එහෙම කරලා තමයි ලක්ෂය දක්වා බද්දෙන් නිදහස් කරලා ලබාගෙන තිබෙන්නේ. අපිට මේ බදු අඩු කරලා බදු වෙනස් කළොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මේ මුදල ලබාගන්න බැරි වෙනවා."

මේ අතර නව බදු ප්‍රතිපත්තිවල යම් සංශෝධනයක් පිළිබඳ ඉඟියක් ලබා දී තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂය.

“කොහොම වුණත් මේ කාරණාවලදී ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැනගන්න ලැබුණා ඉදිරි කාලසීමාව තුළ යම් සංශෝධනයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා සමහර ක්ෂේත්‍රවල. පැහැදිලිව බදු ප්‍රමාණයේ යම් සංශෝධනයක් විය යුතුයි." 

විපක්ෂය පාර්ශ්වයෙන්ද බදු සටනට සහාය පළ කරන ප්‍රකාශ රැසක් පසුගිය සතියේ අසන්නට ලැබුණි. ඉකුත්දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හේතුවක් කොට දක්වා ජනතාව පිට බදු බර පැටවීම අසාධාරණ බවයි. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කළ යුත්තේ මිනිසුන්ගේ පැත්තෙන් සිතා සාමාන්‍ය ජනතාවට අඩු පීඩනයක් ලබා දීමෙන් වුවත්, වත්මන් රජය විසින් ජනතාව මත බදු පිට බදු පටවමින් රාජපක්ෂලා විසින් සොරකම් කරන ලද මුදල්වල වන්දි ජනතාවටම පවරමින් සිටින බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පක්ෂ දේශපාලන මතවාද, සංවාද කවරක් වෙතත් පෙනී යන ලෙසට මහ පාරේ බදු සටන තවදුරටත් දික් ඇදෙනු ඇත. මෙම වෘත්තීය කණ්ඩායම් බහුතරය ඉහළ සමාජ ස්ථරයක සිටින පිරිස් බැවින් ඔවුන් තමන් සතු සිවිල් බලය බදු ප්‍රතිපත්තීන්ට එරෙහිව නුදුරේදීම ක්‍රියාත්මක කරනු ඇත. එහෙත් ආණ්ඩුවේ අපේක්ෂාව සමාජයේ ඉහළ ස්ථරවල සිටින වෘත්තිකයන් මෙම සටන දිගින් දිගටම පවත්වාගෙන නොයනු ඇති බවයි. වරද්දා ගන්නේ කවුද, වරදින්නේ කාටද, අපි බලා සිටිමු.

I  චමිඳු නිසල් ද සිල්වා