2023 පෙබරවාරි 05 වන ඉරිදා

අන්තර්ජාලය ඇතුළේ දරුවන්ගේ රෙදි ගලවන අමනයෝ

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 523

වත්සලා නවය වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියකි. දෙමව්පියන්ගේ දික්කසාද වීමත් සමඟ වත්සලා ජීවත් වූයේ ඇගේ මිත්තණිය සමඟය. පියා වෙනත් විවාහයක් කරගත් අතර වත්සලාගේ මව විදෙස්ගත වූයේ නඩු වාර කිහිපයකින් පසුව ඇයට දික්කසාදය ලැබීමත් සමඟිනි.

පවුලේ එකම දරුවා වුණු වත්සලාට මිත්තණියගේ ආදරය ලැබුණද රැකවරණය හා ආරක්ෂාව උපරිමයෙන්ම ලැබුණාදැයි සැකයක් පවතී. තම මව වියදමට එවන මුදලින් තුන්වේලම කන්න අඳින්න ලැබුණද මවකගේ සෙනෙහස, පියකුගේ රැකවරණය වත්සලාට ලැබුණේ නැත. ඒ නිසාම ඇය ජීවත් වූයේ තටු ලද කිරිල්ලියක සේය. අධ්‍යාපන කටයුතුවලට වුවද වත්සලාට එතරම් හැකියාවක් හා උනන්දුවක් නොවීය.

වත්සලාට පියුමන්තව මුණගැසී තිබුණේ මුහුණුපොත හරහාය. ඇයට වඩා අවුරුදු දහයක් පමණ වැඩිමහල් අයකු වූ පියුමන්ත සාමාන්‍ය මිතුරකු සේ මුහුණුපොත හරහා කලක් තිස්සේ ඇය සමඟ කතාබහ කරමින් අදහස් හුවමාරු කරගෙන තිබුණු අතර ඒ මිතුරුකම ආදරයකට පෙරළුණේ දෙදෙනා එක් දිනක් හෝ මුණගැසීමකින් තොරවය. කාලයත් සමඟ පියුමන්ත වත්සලාගේ හිත දිනාගැනීමට සමත් විය. නොබෝ දිනකින්ම වට්ස්ඇප් ජාලය ඔස්සේ වීඩියෝ ඇමතුම් ගෙන ඔවුහු පැය ගණන් කතාබස් කළහ. ඡායාරූප හුවමාරු කර ගත්හ. ඒ අතරතුර වත්සලාගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට කිහිපයක්ද පියුමන්තට ලැබී තිබිණ. මොවුන් දින කිහිපයක් මුණගැසුණු අතරතුර පියුමන්ත වත්සලාගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට ලබාගත්තේය. කාලය ගෙවෙද්දී පියුමන්ත විවාහක දියණියකගේ පියකු බව දැනගන්නා විට වත්සලාගේ ඡායාරූප හා වීඩියෝ පට කිහිපයක්ම පියුමන්ත විසින් තම මිතුරන් අතරේ හුවමාරු කරගෙන අවසන් වි තිබිණ.

අවුරුදු 18ට වඩා අඩු ගැහැනු හෝ පිරිමි දරුවකුගේ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ පට ළඟ තබාගැනීම, හුවමාරු කිරීම, බෙදාහැරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ 372 වගන්තියට අනුව වැරුද්දකි. මෙය අවුරුදු දහයක බන්ධනාගාර ගත කිරීමක් දක්වා දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි. අවුරුදු 18ට අඩු දරුවන් එවැනි අසභ්‍ය දර්ශන සඳහා යොදවා ගැනීම, පොළඹවා ගැනීම මෙන්ම ඒ සඳහා බල කරන අය මෙන්ම දරුවන්ගේ භාරකරුවෝද මේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව වැරදිකරුවෝ වෙති.

බී.බී.සී. සේවය වාර්තා කරන පරිදි ඉන්ටර්නෙට් වොච් පදනම (IWF) සඳහන් කර තිබුණේ ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයත් සමඟ කුඩා දරුවන් කැමරා ඉදිරිපිට ලිංගික ක්‍රියාවල යෙදෙන ඡායාරූප හා වීඩියෝ පට දස ගුණයකට වඩා වැඩිවීමක් පවතින බවය. වසංගතය ආරම්භ වීමත් සමඟ සමාජ මාධ්‍ය වෙබ් අඩවි බොහෝ ජනප්‍රිය විය. ඔවුන් පෙන්වා දෙන ආකාරයට ලෝකය පුරා ස්වයං නිෂ්පාදිත ළමා අපයෝජන වීඩියෝ සහ ඡායාරූප දක්වන වෙබ් පිටු 63,000කට වඩා අධිකය. ඉන්ටර්නෙට් වොච් පදනමට අනුව වසංගතයට පෙර සමයේදී මෙම අගය සඳහන් වී තිබුණේ 5000 ක් ලෙසය. 

වත්සලාටද සිදුවූයේ ඇයගේ පෙම්වතා යැයි පැවසෙන පුද්ගලයාගේ වුවමනා හේතුවෙන් ජංගම දුරකථනයේ තිරය ඔස්සේ නිරුවත්ව සිට ඔහු සමඟ කතාබහ කිරීමටය. දරුවන් සමඟ කාමයෙහි යෙදීමට ප්‍රියතාවයක් දක්වන පියුමන්ත වැනි පිරිස් එම සජීවී දුරකථන සංවාද (live chat) තම ජංගම දුරකථනයෙන් පටිගත කර ගනිති. ඒ මොහොතේදී පමණක් නොව, ඔවුහු නැවත නැවතත් මෙම ඡායාරූප හා වීඩියෝ පට නරඹා වින්දනයක් ලබමින් ඒවා තවත් එවැනි පුද්ගලයන් අතර බෙදාහරිමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ හුවමාරු කර ගනිති.

''මේ අසභ්‍ය දර්ශන හා ඡායාරූප බොහෝ විට පෙම්වතුන් පෙම්වතියන් තමන් විසින්ම තම ජංගම දුරකථනය ඔස්සේ හුවමාරු කරගත් අවස්ථා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වෙනවා. තමන් ආශ්‍රය කරන අයම සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි අවස්ථා තියෙනවා. නමුත් දරුවකු මේ සඳහා යොදවාගත් අවුරුදු දහඅටට වඩා වැඩි අයයි වැරදිකරුවන් වෙන්නේ. මේ ගැටලු පිරිමි දරුවන්ටත් වඩා ගැහැනු දරුවන්ට වැඩි වශයෙන් බලපානවා. මේ ඡායාරූප හෝ වීඩියෝ පට ගැනීමෙන් පසුව ඒවා ''සමාජයට හෝ අන්තර්ජාලයට මුදාහරිනවා.'' කියමින් ඒ දරුවන්ට තර්ජනය කර හෝ බිය වද්දවන අවස්ථාද වාර්තා වෙනවා. මේ නිසාම එම දරුවන් අප ආයතනයට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා මේ තර්ජන හා බිය වැද්දීම් නතර කර ගැනීම අවශ්‍ය බව පවසනවා. මේ නිසා දරුවන් මේ සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතු වෙනවා. දරුවන් ශාරීරිකව හා මානසිකව නොමේරූ අය නිසා දරුවන්ගේ දෙමව්පියන්ද තම දරුවන් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම අධීක්ෂණය කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ අනවශ්‍ය මිතුරුකම් හා ක්‍රියාවන් හේතුවෙන් සිදුවන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දරුවන්ට අවබෝධයක් ලබා දිය යුතු වෙනවා. ඒ නිසා එවැනි ඡායාරූප හෝ වීඩියෝ පට එවන්න කියමින් ඒ සඳහා පොළඹවා ගැනීම දණ්ඩ නීති සංග්‍රහය අනුව වැරුද්දක්. මුහුණුපොත, වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා හෝ දරුවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගැනීම හෝ ඒ සඳහා ඇවටිලි කිරීමත් අපරාධයක්. ඒ විතරක් නෙමෙයි. ඒවා ළඟ තබාගැනීම, බෙදාහැරීම වැරුද්දක්. බොහෝ විට මෙවැනි අකටයුතුකම් සිදු කරන්නේ තමන්ගේ පෙම්වතා හෝ කලක් තම ජීවිතයේ සමීපතමයෙක් ලෙසින් සිටි අයයි. අවසානයේදී සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීම හෝ සියදිවි හානිකර ගැනීම දක්වා මේ තත්ත්වය උග්‍ර වෙන්න පුළුවන්.'' 

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීති බලගැන්වීමේ අධ්‍යක්ෂක නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.

ඇතැම් පිරිස් පරිගණකය මගින් දරුවන්ගේ මුහුණු වෙනත් ලිංගික ඡායාරූපයකට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීමට උත්සාහ ගනිති. කිසියම් හේතුවක් මත දෙමව්පියන් හෝ භාරකරුවන් අතර ඇතිවන මතභේදාත්මක කරුණක් මුල් කරගෙන දරුවන්ගේ ජීවිත සමඟ අවදානමක් ගෙන කටයුතු කරන අතර සමාජයට මුහුණ දීමට නොහැකිව ජීවිතය හැර යාමට උත්සාහ දරණ දරුවන්ද සමාජයේ නැතිවාම නොවේ. මෙවැනි දරුවන්ගේ ඡායාරූප නැවත සංස්කරණය කර හෝ අසභ්‍ය ප්‍රකාශන සමඟ එකතු කිරීමද වරදකි. මෙවැනි ඡායාරූප හෝ වීඩියෝ පට පෙන්වා බියගන්වා මුදල් ඉපයීම ද දණ්ඩ නීති සංග්‍රහයේ 372 වගන්තියට අනුව බලෙන් ලබාගැනීම යන අපරාධ වැරුද්දට අයත් වේ. යමකු ලිංගික වශයෙන් අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් ලිංගික ඡායාරූප හෝ වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙබ් අඩවිල පළ කරන්නේ නම් එය දණ්ඩ නීති සංග්‍රහයේ ''ලිංගික අතවරය'' නම් අපරාධයට අයත් වේ.

2022 වසර තුළදී සමාජ මාධ්‍ය ආශ්‍රිතව දරුවන්ට සිදුව ඇති යම් යම් පීඩනයන් සම්බන්ධයෙන් පැමිණිලි හා ප්‍රකාශයන් 285ක් පමණ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා වී තිබේ.

I දිශානි ජයමාලි කරුණාරත්න