2023 ජනවාරි 22 වන ඉරිදා

අඳුරේ අතපත ගාන අපේ අපනයනය

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 94

ශ‍්‍රී ලංකාවේ අපනයන ප‍්‍රවර්ධනය කරන වැඩසටහනකට ව්‍යවසායකයෝ සහභාගී වූහ. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජපානයේ ඔසාකා නගරයේ පැවැති ප‍්‍රදර්ශනයට මෙරට ව්‍යවසායකයන් අට දෙනකු සහභාගී කරවීය. තොරතුරු තාක්ෂණික අංශයේ අපනයනවලට ජපානයෙන් අවස්ථාවක් ලබාගැනීම අරමුණ වී තිබුණි. යහපත් උත්සාහයකි. 1979 දී පිහිටුවන ලද අපනයන සංවර්ධන මණ්ඩලය ලබාගත් ජයග‍්‍රහණ මෙහිදී අවධානයට යොමු කළ යුතුය. දශක හතරකටත් වඩා වැඩි කාලයක් අවසානයේ දී ආරම්භ කරන ලද තැනම පසු වේ. තවමත් අපනයන දිරිගන්වන එකම පාඩමම රටට උගන්වමින් සිටී.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී අපනයන ආදායම පහතට වැටිණ. එය හුදෙක් අපනයන මණ්ඩලයේ වරදක් නොවේ. අවුරුද්දේ මාස හතක් අඛණ්ඩව අපනයන ආදායම මාසයකට අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවන ලද නමුත් අවසන් මාස දෙක තුළ එය පහත වැටීම අවධානයට පත් විය යුතුය. ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය අවශ්‍යය. අපනයන යනු විනිමය උපයන ප‍්‍රධාන මාර්ගයකි. අපනයන ආදායම අඩුවන විට විදේශ විනිමය සංචිත සීමා වේ. එය අයහපත් ප‍්‍රවණතාවයකි.

• අපනයන ආදායම පහත වැටී ඇති තරම

2022 වසරේ අපනයන ආදායම ජනවාරි සිට නොවැම්බර් කාලය දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 994 කි. කලින් වසරට සාපේක්ෂව 17.9% කින් අඩු වී ඇත. නොවැම්බර් මාසයේ දී කර්මාන්ත අපනයන ආදායම 15.4% කින් හා කෘෂි අපනයන ආදායම 25.9% කින් පහතට වැටී තිබේ. රෙදිපිළි හා ඇඟලුම් අපනයනයෙන් කලින් වසරේ දී ලබා ඇති ආදායමට සාපේක්ෂව 2022 නොවැම්බර් මාසයේ දී ආදායම 9.7% කින් අඩු වී ඇත. තේ අපනයන ආදායම 10.2% කින් පහත වැටී ඇති අතර රබර්, පොල් හා කුළුබඩු අපනයනය ද සීමා වී ඇති බව මුදල් අමාත්‍යංශ වාර්තා දක්වයි. එය සතුටු විය හැකි කතාන්දරයක කොටසක් නොවේ. 

ශ‍්‍රී ලංකාව කවර ආකාරයකින් හෝ විනිමය උත්පාදනය කර ගත යුතුය. රටට ගෙන්වන දේ සඳහා විදේශ මුදල් අවශ්‍යය. විනිමය රහිතව පැවැත්මක් නැත. අරගලය හටගැනුණේ විනිමය ප‍්‍රශ්න මුල් කරගෙනය. විදුලිය උත්පාදනය අඩාල වූ අතර ඛණිජ තෙල්, ගෑස් ගෙන්වන්නට ඩොලර් හිඟය බලපෑවේය. නිතිපතා අවශ්‍ය බලශක්ති අවශ්‍යතා සපුරන්නට අසමත් වූ ආණ්ඩුවට විරුද්ධව ජනතා විරෝධය හටගැනිණ. දස දහස් ගණනින් ජනතාව ආණ්ඩුව පළවා හරින විරෝධතාවලට එකතු වූහ. විනිමය හිඟ රටකට අවශ්‍ය ද්‍රව්‍ය පිටරටවලින් මිල දී ගත නොහැකි විය. ඉන්දියාව ඉන්ධන, ඖෂධ, ආහාර සඳහා ආධාර නොකළේ නම් රට තවත් භයානක තැනකට යොමු වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ගෑස් මිල දී ගැනීමට විනිමය ප‍්‍රමාණයක් නිකුත් කළේය. විදේශ විනිමය ගැටලුව කොපමණ සංකීර්ණ එකක් වීද යත් ශ‍්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවිය නොහැකි බව ප‍්‍රකාශයට පත් කළ බව මතක් කළ යුතුය. ඉතිහාසයේ කිසිම අවස්ථාවක මෙවැනි අභාග්‍යයකට මුහුණ පා නැත.

ශ‍්‍රී ලංකාව මොනවා හෝ නිෂ්පාදනය කර අපනයනය කළ යුතුව ඇත. අපනයනයෙන් තොරව පැවැත්මක් නැති බව ජනතා විරෝධය අපට අනතුරු අඟවා ඇත. දේශපාලන ක‍්‍රමය ජනතාව ප‍්‍රශ්න කරන ලද අතර එහි පසුබිම විනිමය බව නොතකනු නොහැක. අඩුම තරමින් මෙවැනි හදිසි අවස්ථාවක විදේශ සම්පත් නැවත උත්පාදනය කර ගන්නා තෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගත හැකි නමුත් අදූරදර්ශීව එය ද ප‍්‍රතික්ෂේප කළේය.

• අනාගතයට ප‍්‍රයෝජනවත් උගත් පාඩම්

ශ‍්‍රී ලංකාවේ විනිමය අවශ්‍යතා සඳහා අඩුම තරමින් අමෙරිකානු ඩොලර් බිලියන විස්සක් අවුරුද්දකට අවශ්‍ය කෙරේ. අපනයනවලින් අඩක්වත් ලැබෙන්නේ නැත. සංචාරක කර්මාන්තය, විදේශ රැකියා කරන පිරිස් එවන විනිමය ගෙවුම් ශේෂය පාලනය කරයි. විනිමය සඳහා අධික ඉල්ලුමක් ඇතිවන අවස්ථාවක අනතුරක් ද තිබේ. රුපියලේ අගය අවප‍්‍රමාණය වේ. පසුගිය වසරේ දී ඉතාම බරපතළ අවප‍්‍රමාණයකට ලක් වූ විනිමය අනුපාතිකය මෙරටට ගෙන්වන සියලු දේ සම්බන්ධ ඉරණම තීන්දු කර ඇත. එදිනෙදා ජන ජීවිතය දුෂ්කර තැනකට පත් කරන්නට එය හේතු සාධක විය.

අපනයන සංවර්ධන මණ්ඩලය දක්වන පරිදි 2015 දී ජපානයට අපනයනය කරන ලද දෙයින් උපයා ගත හැකි වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 213 කි. 2018 දී එය අමෙරිකානු ඩොලර් මිලියන 281 කි. වර්ධනය ඉතාම සුළුය. 2019 ජනවාරි - ජුනි කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 181 ක් උපයා ඇති නමුත් 2021 එම කාලය තුළ ජපානයෙන් ලැබුණු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 88 කි. හරි අඩකින් පහත වැටී ඇත. ජපානය මිල දී නොගත් අංශ ගැන අපට අවධානයක් තිබේද? අපනයන ආදායම හරි අඩකින් පහත වැටෙන තරමට ජපානය සමඟ ශ‍්‍රී ලංකාවට පැවැති සබඳතා ගිලිහී ගියේ ඇයි? මෙම තත්ත්වය එක රටක් ගැන පමණක් නොවේ. සෑම රටක් ගැනම වෙන් වෙන්ව සලකා බැලිය හැකිය. අමෙරිකානු මැදිහත්වීම් ගැන අප‍්‍රමාණ විවේචන ඇති නමුත් එම රට මෙරට අපනයන සඳහා කොන්දේසියක් පැනවුවහොත් ශ‍්‍රී ලංකාව ඉතාම දුෂ්කර තැනකට පත්වනු ඇත. පසුගිය කාලයේ යුරෝපා කොමිසම මෙරට අපනයනවලට පනවන ලද කොන්දේසි රටට ඇති කරන ලද හිරිහැරය අමතක කළ යුතු නැත. ඉන්දියාව හා චීනය ශ‍්‍රී ලංකාවේ ගජ මිතුරන්ය. එහෙත් මෙම රටවල් දෙක සතු දැවැන්ත වෙළෙඳපොළ අප අමතක කර ඇත. ඉන්දියාව ඉතාම සමීප රටකි. නවදිල්ලිය ශ‍්‍රී ලංකාවේ ජනගහනයට වැඩි ජනගහනයක් වෙසෙන කුඩා කලාපයකි. තමිල්නාඩුවේ සංවර්ධන වේගය අනුව එහි වැසියන්ගේ මිල දී ගැනීමේ හැකියාව වේගයෙන් වැඩි වෙමින් පවතී. මෙම වසරේ දී ලෝකයේ වැඩිම ජනගහනය සහිත රට බවට ඉන්දියාව පත්වනු ඇතැයි ගණන් බලා ඇත. මෙම රටට සැපයිය හැකි නිෂ්පාදන ගැන අපට අවබෝධයක් නැත.  

• පදනමක් අනුව රටට විනිමය 

ශ‍්‍රී ලංකාව ලෝක තරගකාරීත්වයට ඇතුළු විය යුතුය. අපනයන දුබල වෙන්නට හේතු පැහැදිලි කර ගත යුතුය. පිටරට පටවන්නට නිපදවන දෙයක් ලෝකයේ අනෙක් රටකට වඩා අඩු වියදමකින් ඉතාම සාර්ථක භාණ්ඩයක් විය යුතුව තිබේ. මෙරට නිෂ්පාදකයන්ට ආර්ථික විෂමතා බලපා ඇත. විනිමය අගය අනුව ආනයනය කරන අමුද්‍රව්‍ය මිල ඉහළය. රේගු බදු තවත් පැත්තකි. මෙම අවුරුද්දේ සිට අපනයන භාණ්ඩවලට වැට් පැනවේ. ඉන්ධන හා විදුලිය බිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි රටක අපනයනකරුවන්ට ද ගැලවීමක් නැත. බැංකු පොලී අනුපාත, රජයේ බදු ඉතා ඉහළ ප‍්‍රතිශතයක වන අතර ඒවා අපනයනකරුවන්ට සංකීර්ණ තත්ත්ව ඇති කර තිබේ. ලෝකයේ අනෙක් රටක ප‍්‍රදර්ශන පවත්වා අපනයන සඳහා ඇති අවස්ථා පිළිබිඹු කරන්නට කලින් මිල හා තත්ත්වය පිළිබඳ පරීක්ෂාකාරී වීම සුදුසුය. ලෝකයේ අනෙක් රටක නිපදවන දෙයට වඩා අඩුවෙන් විකිණිය හැකි නම් රටට විශාල ඉල්ලුමක් ඇති වේ. එය අපනයනය දිරිගැන්වීමකි. රටට විදේශ විනිමය ලබන මාර්ගයකි. 
තේ, රබර්, පොල් හෝ ඇඟලුම් පමණක් රටට අපනයන අංශ නොවේ. අලුත් පැති සොයා ගත යුතුය. තොරතුරු තාක්ෂණ අංශය හොඳ අවස්ථාවකි. පළමු වතාවට පසුගිය වසරේ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා තිබේ. අනාගතයේ දී තවත් අවස්ථා ඇත. ලෝකයේ රටවල් රියැදුරන් රහිත වාහන, ඩ්‍රෝන තාක්ෂණය, පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය සඳහා ඇතුළු වේ. මෙහි සංකීර්ණ වැඩසටහන් සහිතය. දක්ෂ ශ‍්‍රී ලාංකිකයන්ට ව්‍යවසායක අවස්ථා තිබේ. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය වේගයෙන් පැතිරෙන අතර මෙම දක්ෂ පිරිස් පිටරට යැවීම සුදුසු නැත. අඩුම තරමින් දිස්ත‍්‍රික්ක මටට්මින් ව්‍යවසාය පුනරුදයක් ඇති කළ යුතුව තිබේ. දරුවන් තෝරාගෙන ඔවුන් පෝෂණය කරන පිළිවෙළක් අවශ්‍යය. පුවත්පත්වල දැන්වීම් පළ කර ඒවාට එන පිරිසට පොදුවේ සැසිවාර පැවැත්වීම යල්පැන ගිය ක‍්‍රමයකි. ගම් මට්ටමින් නොයෙක් දේ සදහා නිරත වන පිරිස් ප‍්‍රාදේශීය ලේකම්වරුන් මගින් හඳුනාගෙන ඔවුන්ට කෙළින්ම ආධාර කරන සැලැසුම් සකස් කළ යුතුය. අලුත් දේ නිපදවීම එකකි. නිපදවන දේ ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැලපීම සංවිධානාත්මකව කළ යුතු දෙයකි. මගපෙන්වීම, වෙළෙඳපොළ සැකසීම, ගිණුම් හා බැංකු අවස්ථා පාදා දීම ඇතුළු සම්පූර්ණ ක‍්‍රියාවලියකට පුද්ගලිකව ඇතුළු වන අතර විශිෂ්ට පසුවිපරමකින් අපනයනයට අලුත් දෙරටුවක් විවර වේ. 

I සාරා කන්දෙගොඩ