2023 ජනවාරි 22 වන ඉරිදා

මේ අවුරුද්දේ අලුතින් ගැසට් කරන පූජා භූමි 26

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 49

2023 වසරේදී පූජා භූමි 26ක් ගැසට් කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දෙන්නේ පූජා භූමි ප්‍රකාශයට පත් කිරීමේදී නිර්ණායක 03ක් අනුව එය සිදුකෙරෙන බවයි. ඒ අනුව ජාතික වශයෙන් කාලපීය වශයෙන් හා ප්‍රාදේශීය වශයෙන් වැදගත් වන ස්ථාන මෙලෙස තෝරාගැනීම සිදුවේ.  

පූජා භූමි ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශ්වවලින් ලැබෙන ඉල්ලීම් අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ඒ ගැන ක්ෂෙත්‍ර පරීක්ෂණයක් සිදුකරයි. ඒ අතරම බුද්ධ ශාසන අමාත්‍යංශයේ පූජා භූමි සහ බෞද්ධ කටයුතු අංශයෙන්ද පරීක්ෂණයක් කර වාර්තාවක් සකස් කෙරේ. මේ පිළිබඳව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් මෙසේ සඳහන් කළේය.

"පූජා භූමියක් ලෙස ප්‍රකාශ කිරීමේදී බුද්ධ ශාසන අමාත්‍යංශය මූලික කරුණු කිහිපයක් සලකා බලනවා. ආගමික සහ ශාසනික වැදගත්කම වගේම පෞරාණික වැදගත්කමත් එහිදී සලකා බලන කරුණක්. ගංගාරාමය පූජා භුමියක් ලෙස ප්‍රකාශ කළේ එහි ජාතික වශයෙන් වැදගත්කම සලකලයි. යම් පූජනීය ස්ථානයක් පූජා භූමියක් බවට පත්වුණහම එයට රජයේ විශේෂ අවධානයක් හිමිවෙනවා. බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් මුලින්ම විහාරයේ මායිම්වල ගැටලු, ඉඩම් ප්‍රශ්න වගේ ඒවා තිබුණොත් මිනින්දෝරු සැලසුම පාදක කරගෙන ඒවා නිරවුල් කරනවා. පසුව නව මිනින්දෝරු සැලසුමක් සකස් කරනවා. ඊට පසු එයට සංවර්ධන සැලසුමක් සකස් කරනවා. එය පාදක කරගෙන තමයි සංවර්ධන කටයුතු සිදුවන්නේ. 

මෙරට පූජා භූමි 101ක් මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර පළමු පූජා භූමිය වන්නේ 1961 ඔක්තෝබර් 16 දින ප්‍රකාශයට පත්කළ කතරගම පූජා භූමියයි.   ඉන්පසු කතරගම බැතිමතුන්ට අවශ්‍ය අංගෝපාංග රාශියක් රජයේ ප්‍රතිපාදන මත ඉදිකෙරිණි. දෙවැනි පූජා භුමිය ලෙස 1979දී මහනුවර දළදා මාලිගා පූජා භුමියත්, ඉන්පසුව 1981දී දඹුල්ල රජමහා විහාරයත්, 1985දී මුතියංගනය සහ 1988දී කළුතරත් නම් කෙරිණි. ඉන්පසුව වාර්ෂිකව විහාර රාශියක් පූජා භුමි බවට සංවර්ධනය කර තිබේ. 

මෙම වසරේදී පූජා භූමි වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ මූලික ලැයිස්තුවේ ඇති විහාර 26 වන්නේ තිස්සව රජ මහා විහාරය, වෙල්ගම් වෙහෙර රජ මහා විහාරය, මහසෙන් රජ මහා විහාරය, මැදගොඩ සිද්ධ පත්තිනි දේවාලය, බියගම සුධර්මාරාම මහා විහාරය, පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන, කඹලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාමය, පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය, කිරිමැටියාන ශ්‍රී සුධම්මවංශාරාම රජ මහා විහාරය, කප්පින්න මහා විහාරය, මාගල්ල කච්චිවත්ත පුරාණ රජ මහා විහාරය, බුද්ධියාගම සීගල රජ මහා විහාරය, ගංගොඩවිල ශ්‍රී විජයාරාම විහාරය, රත්මලාන පුෂ්පාරාමය, අස්ගිරිය පුරාණ රජ මහා විහාරය, මදුරාවෙල බැල්ලපිටිය විද්‍යාසේකර පිරිවෙන, පොතුවිල් මුහුදු මහා විහාරය, මහසෙන් රජ මහා විහාරය, බුදුරුවයාය රජ මහා විහාරය, ඓතිහාසික පුරාණ හබරණ ටැම්පිට විහාරය, සෝමාවතිය රජ මහා විහාරය, කන්දෙගම ධංනජය රජ මහා විහාරය, කන්දෙගම නාමළුව සිංහගිරි රජ මහා විහාරය, බිබිල ඓතිහාසික කොටසර පියංගල රජ මහා විහාරය, කන්දෙගම ධංනජය රජ මහා විහාරය යන විහාර වේ. මේ විහාර සියල්ලම පාහේ පුරාවිද්‍යා වැදගත්කමක් සහිත විශාල බැතිමතුන් පිරිසකගේ වන්දනාවට ලක්වන පූජනීය ස්ථාන වේ. නමුත් පූජා භුමියක් බවට පත් කිරීමේදී මේ සෑම පුදබිමක් ගැනම ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තා සකස් කිරීම සිදුවේ. 

මේ වනවිට බොහෝ විහාරස්ථාන පූජා භූමි වශයෙන් නම්කරන ලෙස ඉල්ලීම් ලැබී ඇති බවත්  එම ඉල්ලීම් අධ්‍යයනය කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙත දැනටමත් උපදෙස් දී ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි. පූජා භූමි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශ අනුමැතියද නිරවුල් මිනින්දෝරු සැලැස්මද අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා මුල් වන ජාතික   භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද ආයතනයකි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කරන්නේ 2022 වසරේදී පූජා භූමි 16ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවය. මෙරට අලුත්ම පූජා භුමිය ලෙස දෙසැම්බර් 23 වැනිදා මහියංගනය රජ මහා විහාරය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණි. එය 101 වැනි පූජා භූමිය වේ. පූජා භූමි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යංශ අනුමැතියද මිනින්දෝරු සැලැස්මද ඊට අත්‍යවශ්‍ය බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

අලුත් පූජා භුමි කිහිපයක වැදගත්කම අපි දැන් සලකා බලමු.

පූජා භුමි ලැයිස්තුවේ ඇති වෙල්ගම් වෙහෙර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි අනුරාධපුර යුගය දක්වා ඇදී යන ඉතිහාසයක් සහිත පුරාවිද්‍යා ස්ථානයකි. එය ක්‍රි.ව. පළමු සියවසයේදී පමණ කරවන ලද බවට ඓතිහාසික සාධක සහිතය. ආසන්නව පිහිටි කඳුගැටයක වූ භාතික තිස්ස රජුගේ (ක්‍රි.ව.143-167) සෙල්ලිපියකට අනුව මෙම විහාරය වෙලගම අබහර විහර යනුවෙන් දක්වා තිබේ. අනුරාධපුර සමයේ අග භාගයට අයත් සිව්වැනි මිහිදු රජුගේ (ක්‍රි.ව. 975–991) වේවැල්කැටිය සෙල් ලිපියේ පිටපතක් විහාරයේ පිළිම ගෙය ආශ්‍රිතව හමුවී තිබේ. මෙහි දෙමළ සෙල්ලිපිද හමුවී තිබීම විශේෂයකි.

අවිස්සාවේල්ලට කි.මී. 10ක් දුරින් කැලණි ගංගා ඉවුරේ පිහිටි මැදගොඩ දේවාලය සීතාවක රාජසිංහ යුගයේ ආරම්භ වූ පුදබිමකි. එහි අදටත් දේවාලගමක් ක්‍රියාත්මක වේ. සීතාවක පළමුවැනි රාජසිංහ රජු තඹ සන්නසකින් අක්කර 631 රූඩ් 1 පර්චස් 18ක බිම් ප්‍රමාණයක පිහිටි මැදගොඩ ගම, දේවාලයට රාජකාරි කිරීමට නින්දගමක් වශයෙන් පූජා කර තිබේ. 

පැපිලියානේ සුනේත්‍රා මහදේවී පිරිවෙන හයවැනි පැරකුම්බාවන් විසින් අලුතින් පිහිටුවන ලද විද්‍යායතනයකි. රජු විසින් තම මව්තුමිය වූ සුනේත්‍රා මහා දේවිය වෙනුවෙන් පිරිවෙන කරවා ඇත. මේ පිළිබඳව මහාවංශයේ 91 වැනි පරිච්ඡේදයේ 24 – 25 යන ගාථාවන්හි සඳහන් වේ. සිරි රහල් හිමියන්ගේ පරවි සන්දේශයේද ඒ පිළිබඳව සඳහන් වේ. පැපිලියාන ශිලා ලිපිය මේ පිරිවෙනේ ඓතිහාසිකත්වට හෙළිකරන තවත් සාධකයකි.

අවිස්සාවේල්ලට නුදුරු මානියංගම රජමහා විහාරය පුරාණ ලෙන් විහාරයකි. මහාවංශයේ මෙගම මහානියාග්ගරට්ඨ ලෙස හැඳින්වේ. සීතාවක රාජධානි සමයේදී (1521-1592) රජ මාලිගයට නුදුරින් පිහිටි මේ විහාරයට නොමඳ රාජ අනුග්‍රහයක් ලැබෙන්නට ඇත. සීතාවක මායාදුන්නේ රජු මෙන්ම මහනුවර රජ සමයේදී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ සහ කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුද විහාරයට අනුග්‍රහය දක්වා තිබේ.

I කුසුම්සිරි විජයවර්ධන