2022 නොවැම්බර් 27 වන ඉරිදා

ලාභ ලබන්න පුළුවන් විදුලිබල මණ්ඩලය පාඩුවට යනවා!- චම්පික රණවක

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 101

ලංකා විදුලිබල මණ්ඩලය සැබැවින්ම පාඩු ලබන්නේද? ලංවිම අනාගතය කුමක්ද? මෙරට බලශක්ති ක්ශේත්‍රය මෙම ගැටලු කිහිපය පිළිබඳ සංවාදයක් ඇතිකර ගැනීමට අපි උත්සාහ කළෙමු. අප මෙම සංවාදයට කැඳවා ගත්තේ හිටපු විදුලිබල අමාත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාය.

“පසුගිය දශකයේ අපි පෙන්වා දීලා තියෙනවා විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි නොකොට ලංවිම ලාභ කරන්න පුළුවන් කියලා. දේශපාලන නායකයෝ සියලු දෙනාම පාහේ මේ කාරණාවේදී අවංක වෙන්න ඕනෑ. ඉහළින් ඉන්න අය මේ සඳහා මැදිහත් වෙන්න පටන් ගත්ත නිසා තමයි, අපි ගත්ත ඇතැම් ක්‍රියාමාර්ග අසාර්ථක වුණේ. ඒ වගේම මේකෙන් හම්බ කරන විශාල පිරිසක් ඉන්නවා. ඒ අය ඉඩ දෙන්නේ නැහැ මේක ඉදිරියට අරගෙන යන්න. ඒක තමා මාෆියාව කියල කියන්නේ."
විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම සම්බන්ධව පාඨලී චම්පික රණවක මහතා එලෙස කරුණු පැහැදිලි කරයි. කෙසේ වෙතත් ගාස්තු වැඩි කිරීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලය ඒ තරම් පාඩුවක් නොලබන හෙතෙම කියා සිටියි.

මෙහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධව පාඨලී චම්පික රණවක මහතා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරයි.

“ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 2001 දී වැඩසටහනක් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිබල මණ්ඩලය කොටස් හයකට පරිපාලනමය වශයෙන් වෙන් කළා. නමුත් ඒකෙ ඊළඟ පියවරවලට යන්න බැරි වුණා කරුණු දෙකක් නිසා. පළමු කාරණාව විදුලිබල මණ්ඩල පනත වෙනස් කළේ නැහැ." 

මෙහිදී මහජන උපයෝගීතා කොමිසම නිර්මාණය වීම, ඊට බලය ලැබීම සහ විදුලිබල මණ්ඩලය සහ කොමිසම් අතර ගැටුම් නිර්මාණය වීම සම්බන්ධව චම්පික රණවක මහතා කරුණු පැහැදිලි කරයි. එසේම පසු අවස්ථාවල පනත වෙනස්වීම පිළිබඳ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටුවීම පිළිබඳව ද ඔහු අදහස් දක්වයි.

“මේ පනත් වෙනස්වීම් ආදිය එක්ක ගැටලු සහගත තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මෑතකදීත් වෙනස් වුණා. දැන් නැවතත් ආණ්ඩුව පත් කරල තියෙනවා නිලධාරී කමිටුවක්. ඒ කමිටුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනාවක් සකස් කරගෙන යනවා. තාම අපි දන්නෙ නෑ මොකක්ද ඒ යෝජනාව කියලා. මෙතනදි අපි පෙන්වා දිය යුතුයි, මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව නිසා ඇතැම්විට ලංකා විදුලිබල මණ්ඩලයේ පරිපාලන වියදම් තව වැඩි වෙන්න පුළුවන්."
හිටපු විදුලිබල අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පරිපාලනමය අවශ්‍යතා පිළිබඳ සඳහන් කරමින් විදුලිබල මණ්ඩලය කොටස් කිරීමට සැරසුණහොත් පරිපාලන වියදම් ඉහළ යන බවයි. එවන් අවස්ථාවකදී වියදම් පියවා ගැනීමට තමන් සතු බර පාරිභෝගිකයන් වෙත හෙලීමට විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇතැයි ඔහු අනතුරු අඟවයි. මහජන උපයෝගීතා කොමිසමේ බලතල වැඩි කිරීමට රණවක මහතා යෝජනා කර සිටින්නේ මෙම අවස්ථාවේදීය.

“විදුලිබල මණ්ඩලය ප්‍රතිවිරෝධයක් පෙන්නනවා පුනර්ජනනීය බලශක්තිය ගැනීම පිළිබඳව. මණ්ඩලය ඇතුළෙත් ඒ සම්බන්ධ බෙදීමක් තියෙනවා. මේ වගේ කාරණා සම්බන්ධව රජයේ මැදිහත්වීමක් අවශ්‍යයි. දේශපාලන මැදිහත්වීමෙන් මේ වගේ කාරණා විසඳන්න පුළුවන් කියලා අපි ඔප්පු කරල තියෙනවා. උදාහරණයක් විදියට විදුලිබල මණ්ඩලයට කිසි අදහසක් තිබුණෙ නෑ "රූප් ටොප් සෝලා" පිළිබඳව. 2010 ජූනි මාසය අපි "රූප් ටොප් සෝලා" හඳුන්වලා දුන්නා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් එක්ක එකතු වෙලා. නමුත් ඒකට විදුලිබල මණ්ඩලයේ ලොකු පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒත් අද වන විට දිවා කාලය මෙගාවොට් 600 ක් ඒ හරහා නිෂ්පාදනය වෙනවා. 45000 ක පිරිසක් ඒකට දායක වෙලා තියෙනවා. 2016 දී ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ණය එක්ක ඒ සඳහා ලොකු ජවයක් ලැබුණා."

සුළං බලාගාර සහ සූර්ය බලාගාර සම්බන්ධව විදුලිබල මණ්ඩලයට තිබුණේ නරක අත්දැකීමක් බව චම්පික රණවක මහතා පැහැදිලි කරයි. 1997 දී හම්බන්තොට නිර්මාණය කළ සුළං බලාගාරය අසාර්ථක විය.

“නමුත් අපි පුත්තලම ප්‍රදේශයේ සුළං බලාගාර හදල පෙන්නුවා මේක වටිනා සම්පතක් කියලා. දැන් ඒකට ලොකු තරගයක් ඇතිවෙලා තියෙනවා දේශීය විදේශීය සමාගම් අතර. පසුගිය කාලයේ ඒ සම්බන්ධව ප්‍රශ්නයකුත් ඇතිවුණා "අදානි සමාගම" සම්බන්ධව. ඇත්තටම ලංකාව ඉතා පරිස්සමින් හසුරුවාගත යුතු දෙයක් තමයි වයඹ පළාතේ තියෙන මේ සුළං විදුලි සම්පත."

මෙවන් කරුණු සම්බන්ධයෙන් විධිමත් ජාතික ප්‍රතිපත්ති රාමුවක සිට කටයුතු කිරීම අතිශය වැදගත් බව ඔහු අවධාරණය කරයි. මේ අතර විදුලිබල මණ්ඩලය තමන්ට ඕනෑ ආකාරයට වියදම් පියවා ගැනීම පිළිබඳවම කතා කිරීම කොතරම් සුදුසු ද යන්න හිටපු විදුලිබල අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

“විදුලිබල මණ්ඩලය පැත්තෙනුත් ඉටුවිය යුතු යුතුකම් තිබෙනවා. තාක්ෂණික දේවල් තියෙනවා. විදුලිබල හානිය, බිඳවැටීම්, නිවැරදි කිරීම වෙනුවෙන් ගන්නා කාලය වගේ දේවල් තියෙනවා. ඒවත් මේ ප්‍රතිව්‍යුහගත කිරීමට ඇතුළත් කළොත් හොඳයි. එහෙම සිද්ධ නොවුණොත් 2002 දි වගේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සිද්ධ වෙන්නේ වියදම් අධික වීම විතරයි."

විදුලිබල මණ්ඩලයේ වර්තමාන පාඩුව පිළිබඳව සහ ප්‍රතිව්‍යුගත කිරීමේ සූදානම පිළිබඳව හිටපු විදුලිබල අමාත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අප හමුවේ තබන්නේ එවන් අදහසකි. බලශක්තිය පුරවැසියන්ගේ මූලික අවශ්‍යතාවයකි. මේ සම්බන්ධව ආණ්ඩුව ගනු ලබන සියලු තීරණ කෙරෙහි සංවේදී විම පුරවැසියන් වන අපගේ ද යුතුකමකි.

I සංවාද සටහන: චමිඳු නිසල් ද සිල්වා