2022 නොවැම්බර් 20 වන ඉරිදා

ඡන්ද තීන්දුව කොමිසම අතේ - මැතිවරණ කොට්ඨාස සීමානීර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 34

මේ දවස්වල ලොකුම කතාබහ ඇතිව තිබෙන්නේ මැතිවරණයක් ගැනය. පක්ෂ විපක්ෂ සියල්ලෝම මැතිවරණය සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් සිටිති. විපක්ෂයේ අය ඉල්ලන්නේ මැතිවරණයකි. ආණ්ඩුවේ අය ඉල්ලන්නේ මැතිවරණ කල්දාන්නටය. දෙපාර්ශ්වයම පවතින තත්ත්වය මත මෙම අදහස් ඉදිරිපත් කරන බව බැලූ බැල්මට පෙනෙන දෙයකි. කෙසේ වෙතත් දැනට තියෙන තත්ත්වය අනුව පළාත් පාලන ආයතනවල මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්විය යුතුය. මාර්තු 20 වනවිට සභිකයන් පත්විය යුතුය, සභාවන් පිහිටුවිය යුතුය.

කෙසේ වෙතත් මැතිවරණය ප්‍රකාශ කිරීමට ඔන්න මෙන්න තිබියදී ආණ්ඩුව විසින් මැතිවරණ සීමා අධ්‍යනය සඳහා කමිටුවක් පසුගියදා පත්කරනු ලැබීය. ඒ දැනට කොට්ඨාස මට්ටමින් පවත්වන පළාත් පාලන මැතිවරණය හරහා පත්වන 8000 කට අධික සභිකයන් පිරිස 4000ක සීමාවකට පහත හෙළීම ප්‍රධාන වශයෙන් අරමුණු කර ගනිමිනි. කෙසේ වෙතත් එය මෙවර මැතිවරණයට පෙර සිදුකළ හැකිද? එසේ සිදුකරනවා නම් මැතිවරණය කල් යා හැකිද? ආණ්ඩුව සූදානම් වෙන්නේ මේ හරහා මැතිවරණය කල්මැරීමටද යන්න අප මේ සම්බන්ධයෙන් දන්නා කෙනකුගෙන් විමසුවෙමු. ඒ මැතිවරණ සීමා නිර්ණය කමිටුවේ සභාපති සහ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙනි.

පළාත් මැතිවරණය කල්දැමීම සඳහා මේ මොහොතේ ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බවත් ඒ සඳහා මැතිවරණ සීමා නිර්ණය කමිටුව යොදාගැනීමට උත්සාහ දරමින් සිටිනා බවත් පහුගිය කාලයේ කතාබහක් ඇති විය. ඒ නිසාම පළමු ප්‍රශ්නය ලෙස අප මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසුවේ එවැනි ඉඩකඩක් ඇතිද යන්න ගැනය.

''මැතිවරණය කල්දැමීමට හෝ පැවැත්වීමට මැතිවරණ සීමා නිර්ණය කමිටුවේ වැඩකටයුතු අදාළ වෙන්නේ නෑ. මැතිවරණය තියන්න මැතිවරණ කොමිසම කටයුතු කරගෙන යනවා නම් අපිට කිසිම විදිහකින් බාධාවක් කරන්න බෑ. කොමිසමේ වැඩවලට ජාතික මැතිවරණ සීමා නිර්ණය කමිටුවේ වැඩ කිසිම විදිහකින් බලපෑමක් වෙන්නේ නෑ.''

එහෙනම් මැතිවරණය තියන්න ඕන කොයි කාලෙද? අප ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසුවෙමු.

''පළාත් පාලන මැතිවරණ ආඥා පනත අනුව පළාත් පාලන සභිකයන් තෝරා පත්කරගත් ලැයිස්තුව 2023 මාර්තු 20 වෙද්දී ගැසට් කරලා ඉවර වෙන්න ඕන. ඒක ගැසට් කරන්න සති දෙක තුනක් යනවා. සියලු දේවල් පරීක්ෂා කරලා නම් ලැයිස්තු හදලා භාෂා තුනෙන් ගැසට් 341ක් ගහන්න මාසයක කාලයක් යනවා. එහෙම නම් මැතිවරණය පෙබරවාරි අන්තිමවත් තියන්න ඕන. ඒත් කිසි කරදරයක් නොවී නිදහසේ තියන්න නම් අඩුම ගානේ පෙබරවාරි 20වත් ඡන්දය තියන්න ඕන.''

මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කිරීම සතු බලය කා සතුව ඇතිද යන්න අපි මෙහිදී විමසුවෙමු.

''මැතිවරණයේ දිනය වෙනස් කරන්න හරි, දිනය දැනුම් දෙන්න හරි බලය තියෙන්නේ කොමිෂන් සභාවට. මැතිවරණ දිනය කැඳවලා දිනය වෙනස් කරන්න පුළුවනුත් කොමිසමට. ආපදා මොහොතක වගේ කල්දාන්න පුළුවන්. ඒ ප්‍රදේශ වශයෙන්. ඒ සියල්ල කොමිසම සතුයි. පෙබරවාරි මාසයේ මැද හෝ අවසානයේ මැතිවරණය තියනවා නම් අනිවාර්යයෙන් නාමයෝජනා කැඳවීමේ දිනය තීරණය කරන්නෙත් කොමිසම.''

කෙසේවෙතත් බොහෝදෙනා බලාපොරොත්තු වූයේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස ක්‍රමය ඉවත්ව පැරණි මනාප ක්‍රමයට මැතිවරණය පවත්වනු ඇතැයි කියාය. ඒ 8000 ගණනක සභික සංඛ්‍යාව 4000 දක්වා අඩු වන බැවිනි. ඒ නිසා එම යෝජනාව මත මැතිවරණය කල් යයිද යන්න අප මෙහිදී විමසුවෙමු.

''4000 ගණනක සභික සංඛ්‍යාව සම්බන්ධයෙන් තීරණය ගන්න එක නෝටිස් දාන්න වෙන්නේ කොමිසමට අප්‍රේල් මාසයෙදී. මොකද අපේ වාර්තාව දෙන්නේ පෙබරවාරි අන්තිම වගේ. අපි බාර දුන්නමත් සමාලෝචන කමිටුවක් පත්කරන්න ඕන. ඒක පත්කරලා ඒ කමිටුව මාසයක් ගියා කියමු, අනිවාර්යයෙන් නෝටිස් කරන්න වෙන්නේ අප්‍රේල් මාසයේ. එතකොට වෙන්නේ කොමිසම තමන්ගේ වගකීම පැහැර හැරියා වෙන එක.''

අප මෙහිදී විමසා සිටියේ මැතිවරණය කල්දැමීමේ ඉඩකඩක් නැතිද යන්න ගැනය? විශේෂයෙන් නීතිමය ඉඩක් සම්බන්ධයෙන් අපි මෙහිදී විමසුවෙමු.

''ඇත්තටම මැතිවරණය කල්දාන්න පුළුවන් පාර්ලිමේන්තු විශේෂ පනතකින් හරි, බලය සහිත අධිකරණයකින් දෙන නියෝගයකින් හරි විතරයි. මැතිවරණ දිනය තීරණය කරන එකට කොමිෂන් සභා රුස්වීමට උඩින් කාක්කෙකුටවත් පියාඹන්න බෑ. අනික පාර්ලිමේන්තු පනතක් ආවත් ඒක අධිකරණයේ අභියෝග කරන්න පුළුවන්.''

මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ආණ්ඩු මෙහෙයුම මෙම සීමා නිර්ණය කමිටුව හරහා සිදුකරන බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් අපි මෙහිදී විමසුවෙමු.

''මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් මහින්ද දේශප්‍රිය කියන මුව හමට කොච්චර තැලුවත් තේරුමක් වෙන්නේ නෑ. මැතිවරණ කොමිසම යන ගමනට තිරිංග තද කරලා හරි, ගස් කපලා වට්ටලා හරි අපිට නවත්තන්න බෑ. ඒ තොරතුරු නොදන්න අය තමයි ඔය කතා කියන්නේ. ඔය මට බණින කවුරුත් මගෙන් අහලා නෑ. හැමදාම මුව හමට තලනවා. මතක තියාගන්න අපේ කාර්යය නිසා, මැතිවරණය ගාවගන්න එපා. මැතිවරණ කොමිසම මම හොඳටම දන්නවා. නියමිත වෙලාවට ඡන්දය තියෙනවා. මොකද ඒක නීතිය. ඒ වගේම අධිකරණ නියෝග දෙකකුත් තියෙනවා. ඒවත් එක්ක බලද්දී මැතිවරණ කල් දාන්න හේතුවක් නෑ.''

කෙසේ වෙතත් මැතිවරණ සීමා නිර්ණය කමිටුවේ සභාපතිවරයාගේ අදහස එයයි. එපමණක් නොව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයාද ඔහුය. ඔහු මැතිවරණ නීතිය දන්නේය. කළයුතු දේ දන්නේය. එය වෙනස් වෙනවා නම් වෙනස් විය හැක්කේද පාර්ලිමේන්තුවෙන් පමණි. සියලුදෙනාම මැතිවරණයක් ඉල්ලන මොහොතක එය නවත්වනු ඇතැයි සිතන්නේ නැත. ඒ නිසා සියලු බර මේ මොහොතේ මැතිවරණ කොමිසම සතුය. 


I ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00