2022 නොවැම්බර් 20 වන ඉරිදා

ඒලෝන් මස්ක්ට ගිය ට්විටරයේ අලකලංචිය!

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 42

ලෝකයේ ධනවත්ම කෝටිපති ව්‍යාපාරික ඒලෝන් මස්ක් ට්විටර් මිලදී ගැනීමත් සමඟ දැන් සිදුවන පෙරැළිකාර වෙනස්කම් රාශිය මහත් ආන්දෝලනයකට හේතු වී තිබේ.

මාස ගණනාවක හෙට්ටුවකින් සහ නඩු පැවරීමේ තර්ජනයකින් පසු ට්විටර් මිලට ගැනීමට බලකෙරුණු මස්ක් ඒ සමාගමට ආවේ එය ගිල්වන්නට ඒ වෙත යන බව කියමින් ‘සින්ක්’ එකක් උස්සාගෙන සිටින පින්තූරයක් ට්විට් කරමිනි. දැන් සිදුවන පෙරැළිය දෙස බලන ඕනැම කෙනකුට සැක සිතෙන්නේ ඇත්තටම ඔහු ට්විටර් ආයතනය ගිල්වා දමන්නට යනවාද කියාය.

මස්ක් ට්විටර්හි 7,500 පුද්ගල ශ්‍රම බලකායෙන් අඩක් කඩිනමින් කප්පාදු කළේය. කොන්ත්‍රාත්කරුවන් දහස් ගණනක් සේවයෙන් පහ කළේය. ඔහුව විවේචනය කළ සේවකයන් ඉවත් කළේය. යටිතල පහසුකම් පිරිවැය අඩු කළේය. කොඳු කැඩෙන සේවා මුර ඇරුඹීය. ඒ මදිවාට ට්විටර් වැඩිපුර මුදල් ඉපැයිය යුතු බව හෝ නැතහොත් එය බංකොළොත්භාවයට මුහුණ දෙන බවට අනතුරු ඇඟවීමක්ද ඔහු නිකුත් කර ඇත.

ට්විටර් මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 44 ක ගනුදෙනුව සම්පූර්ණ කළ වහාම වාගේ මස්ක් සමාගමේ සේවක කප්පාදුවට නියෝග කර ඇත. ඒ අතර සමහර කණ්ඩායම් අනෙක් ඒවාට වඩා කප්පාදු කිරීමට නියෝග කර තිබුණි.

අප්‍රේල් මාසයේදී මස්ක් සමාගම මිලදී ගැනීමට එකඟ වූ දා සිට ට්විටර්හි සේවක කප්පාදුවක් පිළිබඳ වාර්තා පැතිර ගියේය. ටෙස්ලා විදුලි මෝටර් රථ නිෂ්පාදකයා සහ ස්පේස්එක්ස් රොකට් සමාගමට නායකත්වය දෙන මෙම ප්‍රකෝටිපතියා සිය ආයෝජකයන්ට පවසා ඇත්තේ ඔහු ට්විටර් පුද්ගලිකව මිලදි ගන්නා බවත්, එහි ශ්‍රම බලකාය අඩු කරන බවත්ය. එහි අන්තර්ගත මධ්‍යස්ථ නීති ඉවත් කර නව ආදායම් ඉපැයීම් මාර්ග සොයා ගන්නා බවද ඔහු කියා තිබුණි.

51 හැවිරිදි මස්ක් ට්විටර් හිමිකාරිත්වය ලබාගැනීමෙන් පසු වේගයෙන් ක්‍රියාත්මකව ඇත. ඔහු සමාගමේ සැන් ෆ්රුන්සිස්කෝ මූලස්ථානයට පැමිණ සේවකයන් හමුවූ දාට පසුදාම කප්පාදුව ඇරුඹීය. එදින අග භාගයේදී ඔහු ට්විටර් හි ප්‍රධාන විධායක, ප්‍රධාන මුල්‍ය නිලධාරි සහ අනෙකුත් විධායකයන් සේවයෙන් පහ කළේය.  

මස්ක් දැනටත් වෙබ් අඩවියේ තබාගත යුතු සහ ඉවත් කළ යුතු පළ කිරීම් තීරණය කිරීම වැනි ට්විටර්හි අනෙකුත් අංශ ඇගයීමට කාලය ගත කරයි. ට්විටර් සියලු ආකාරයේ අදහස් දැක්වීම් සඳහා නිදහස් ස්ථානයක් වීමට අවශ්‍ය බවත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ඇතුළු තහනම් පරිශීලකයන් නැවත ගෙන්වා ගන්නා බවත් ඔහු මුලින් ප්‍රකාශ කළ අතර, එවැනි වෙනස්කම් වහාම සිදු නොවන බව මස්ක් ඒ හා සමඟම වාගේ පැහැදිලි කළේය. ඒ වෙනුවට ඔහු ප්‍රකාශ කළේ අන්තර්ගත ප්‍රශ්න හැසිරවීමට කවුන්සිලයක් පිහිටුවීමට තමා සැලසුම් කර ඇති බවත්, තහනම් කර ඇති පරිශීලකයන් වහාම යළි එක්කර ගන්නේ නැති බවත්ය.

ට්විටර්හි සේවක කප්පාදුව සිදුවන්නේ සේවකයන්ට ඔවුන්ගේ වන්දියේ කොටසක් ලෙස ආයතන කොටස් ප්‍රදාන ලැබීමට නියමිත නොවැම්බර් 1 දිනට පෙර සිටය. එවැනි දීමනා සාමාන්‍යයෙන් සේවකයන්ගේ වැටුපෙන් සැලකිය යුතු කොටසක් නියෝජනය කරයි. නමුත් එම දිනයට පෙර විවිධ හේතු මත කම්කරුවන් දොට්ට දැමීමෙන් ඒකාබද්ධ ගිවිසුමේ කොන්දේසි යටතේ සේවකයන්ට ඔවුන්ගේ කොටස් වෙනුවට මුදල් ගෙවිය යුතු වුවද, මස්ක් හට ඒ ප්‍රදාන ගෙවීමෙන් වැළකී සිටීමට වුවද හැකිය.

ප්‍රධාන විධායක පැරග් අග්‍රවාල් ඇතුළු ට්විටර් හි සේවයෙන් පහ කරන ලද ඉහළ විධායක නිලධාරීන්ට ලැබීමට නියමිතව තිබූ ඉහළ වන්දි ගෙවීමෙන්ද මස්ක් කර හැර ඇත. ඒකාබද්ධ ගිවිසුමට අනුව එම විධායකයන් හට ඔවුන් සේවයෙන් පහ කළහොත් ඩොලර් මිලියන 20 සිට ඩොලර් මිලියන 60 දක්වා වන්දි මුදලක් ලබාගැනීමට නියම කර තිබුණි.   

මස්ක් ඉතිරි සේවකයන් හට ද කොඳු කැඩෙන විවිධ රාජකාරි පවරන බවට වාර්තා ද නිකුත්ව ඇත. ට්විටර් හි ඉංජිනේරුවන් ද ඔහු සහ ඔහුගේ කණ්ඩායම මෙලෙස පරීක්ෂාවට ලක් කර ඇත. ඒ සමහරක් ව්‍යාපෘති කඩිනමින් සම්පූර්ණ කිරීමට පවරා දීමෙනි. ට්විටර්හි පිවිසුම් තිරයේ වෙනස්කම් ඇතුළත් කිරීම සඳහා වූ මෙබඳු එක් ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීම සඳහා සමහර ඉංජිනේරුවන් රාත්‍රිය දක්වා වැඩ කළ බවද වාර්තා වේ.

මේ අතර එලොන් මස්ක් ඉකුත් බදාදා පැවසුවේ ට්විටර්හි ගත කරන ඔහුගේ කාලය අඩුකර අවසානයේ මේ සමාජ මාධ්‍ය සමාගම පවත්වාගෙන යාම සඳහා නව නායකයකු සොයා ගැනීමට අපේක්ෂා කරන බවත්, මේ සතියේ ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

I සුගත්